හා... හා... බලාගෙනයි

හා... හා... බලාගෙනයි

සංවර්ධනය වෙමින් පවතින රටක කර්මාන්ත අංශය ඉතා උසස් දියුණු මට්ටමක පවතින බව සැබෑවකි. මහාමාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීම්, ගොඩනැගිලි, නිවාස, තට්ටු නිවාස ගොඩනැගීම් ආදියට සමගාමීව රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරෙන විවිධ වූ කර්මාන්ත අප රටේම ආරම්භවීම නිසා එයින් විපුල ඵල නෙලා ගැනීමට අපට හැකිවී ඇතිබව නොඅනුමානයි. තවද බත බුලතින් අප රට ස්වයංපෝෂිත කිරීමට ගන්නා වෙහෙසත් අනාගතයට සුබ පෙර නිමිති පළ කෙරෙන්නෙකි.

ශ්‍රමිකයන්ගේ නීරෝගීභාවයට තර්ජනයක්

මෙවන් වූ සංවර්ධනයක් කරා රටක් ගෙන යෑමේදී ශ්‍රමිකයන්ගේ ශ්‍රම දායකත්වය අපට නැතිවම බැරිය. නමුත් ගැටලුව වී ඇත්තේ මේ සා විශාල වූ ශ්‍රමිකයන් පිරිසකගේ, නිරෝගී භාවය පිළිබඳව තක්සේරුවක් කිරීමට අප කිසිවකුට නොහැකි වීමයි. කර්මාන්ත පුරවරයක සේවය කරන ශ්‍රමිකයන් පරිසරයට නිරාවරණය වීමේදී පරිසරයේ ඇති පිළිකා ජනකවලට ඔවුන් නිරාසයෙන්ම නිරාවරණය වීම වැළැක්විය නොහැක්කකි. පිළිකා ජනකයන්ට නිරාවරණය වීම සහ පිළිකාව වැළදුණු කාලය අතර සීමාව වසර 10ක් පමණ විය හැක. එබැවින් විශාල වැඩකොටසකට දායකවන ශ්‍රමිකයන්ගේ නිරෝගී භාවය ආරක්ෂා කිරිමට හාම්පුතුන් බැඳි සිටිය යුතුය.

සංවර්ධිත රටවල පුරුෂයන් 10%කට පිළිකා

විශේෂයෙන්ම සංවර්ධිත රටවල වෙසෙන පුරුෂයන් 10%ක්ම පිළිකාවලට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇත. එයට බෙහෙවින් බලපෑ හේතුවක් වී ඇත්තේ ඔවුන් වෘත්තියෙහි නියැලෙන ස්ථාන බොහෝදුරට පිළිකා ජනකවලින් යුත් පරිසරයක් වීමයි.

රැකියාව ආශ්‍රිතව වැළදෙන පිළිකා

පිළිකා ජනක පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් ඒවා ආශි‍්‍රත වෘත්තින් හි නියැලෙන්නන්ට පහත සඳහන් පිළිකා වර්ග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතින බව හඳුනාගෙන ඇත. සායම් වර්ග (ඩයි ආශි‍්‍රත) රැකියා කරන අයට මුත්‍රාශ පිළිකා ,රබර්, සම්, ආශි‍්‍රත රැකියාවල නියැලෙනන්නට ලියුකේමියා,රබර් ඇස්බැස්ටෝස් සහ ආසනික් අඩංගු කෘමි නාශක භාවිතා කිරීම් ආශි‍්‍රත රැකියාවල නියැලෙන්නන්ට පෙනහලු පිළිකා, විකිරණ ආශ්‍රිත රැකියා, ලියුකේමියා වර්ග, පෙනහලු පිළිකා, මොළය, තයිරොයිඩ්, පියයුරු පිළිකා ආදිය දැනටමත් හඳුනාගෙන ඇත.

පරිසර හානිය හා බැර ලෝහ

එසේම නගරාශි‍්‍රත ප්‍රදේශවල වායුගෝලය විවිධ හානිකර වායු වර්ග, සියුම් බැර ලෝහ කොටස් (උදා. ඊයම්) ආදිය මඟින් දූෂණය වී ඇති බැවින් බොහෝ පිළිකා රෝගීන් නගරබද ප්‍රදේශවලින් වාර්තා වේ.

දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් සමේ පිළිකා

තවද හිරුඑළියට අධිකව නිරාවරණය වීම නිසා එහි ඇති පාරජම්බුල කිරණ (උතබපචමඪධතඥබ අචරඵ) මඟින් සමේ පිළිකා ඇතිවිය හැක.හිරුඑළිය දැඩිව තිබෙන උදෑසන 11.00 සිට සවස 3.00 දක්වා කාලය තුළදී හැකි පමණ හිරුඑලියට නිරාවරණය වීමෙන් වැළකීම නුවණට හුරුය. අත්, පා, හොඳින් ආවරණය වන ඇඳුම්, හිස් වැසුම්, අව් කණ්ණාඩි මඟින් සමට වැටෙන හිරුඑළිය ප්‍රමාණය අවම කර ගැනීමට ඔබට හැකියාවක් ඇත.

විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නන් වගාවන් සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන විට මුඛවාඩම් හා අස්වැසුම් පැළඳීම, සුළං හමන දිශාවට මුහුණලා දියර ඉසීම ආදියෙන් වැළකීය යුතුය.

පලතුරු කහ පැහැ ගැන්වීමට ඉසින රසායනික ද්‍රව්‍යය

පලතුරු ආදිය ඉක්මණින් ඉදවා ගැනීම සඳහා ගොවීන් විසින් අස්වනු කාලයට පෙරාතුව රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සිදු කෙරේ. එසේම අස්වනු නෙළු පසුව ද පලතුරු එකවර කහ පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍ය ඉසීම ඇතැමුන් විසින් සිදු කෙරේ. මෙවැනි රසායනික ද්‍රව්‍ය නිසා පිළිකා අවදානමක් ඇති වීමට හේතුවිය හැක.

ආරක්ෂිත මෙවලම් භාවිතා කරන්න

එබැවින් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටක වෙසෙන ශ්‍රමිකයන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර මේවායේ අවදානම පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුය. විදෙස් රටවල මෙවැනි වෘත්තීන්හි යෙදෙන්නන් ආරක්ෂක මෙවලම් පැළඳිම අත්‍යාවශය වුවද ලංකාව වැනි රටක වෙසෙන ශ්‍රමිකයන් ඒ පිළිබඳ නොසැලකිලිමත්විම ඔවුන්ගේ සෞඛ්‍යට තර්ජනයක් වන බව ඔවුන් නොදැන සිටිම කණගාටුවට කරුණකි. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ හාම්පුතුන් මෙයට වඩා සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුය. එසේ නොවන්නට මෙවැනි වෘත්තින්හි නියැලෙන පුරුෂ පක්ෂය නිරායාසයෙන් පිළිකාවට ගොදුරුවිම වැළැක්විය නොහැක.