දිලීරයක්ද? දදයක්ද? හඳුනා ගැනීමට සිදු කෙරෙන Fungal smear පරීක්ෂාව

දිලීරයක්ද? දදයක්ද? හඳුනා ගැනීමට සිදු කෙරෙන Fungal smear පරීක්ෂාව

අලුහම් හා වෙනත් දිලීර ආසාදන බොහෝදෙනෙකුට බලපාන චර්ම රෝග අතර ප්‍රමුඛව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

කුඩාවට ඇරැඹී පසුව යම් විටෙක දිගින් දිගටම පැතිරී යා හැකි මෙවැනි රෝග තත්ත්වයන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලැබීම වැදගත් වේ.

මොනවාද මේ දිලීර ආසාදන?

අප බොහෝදෙනෙකු හොඳින් හඳුනන දැක පුරුදු අලුහම් බොහෝවිට සමේ තැනින් තැන රවුම් ආකාරයට ඇති වේ පිටි වැනි ගතියක් ද එහි හඳුනාගැනීමට පුළුවන.

විශේෂයෙන්ම දහදිය දමන ස්ථාන ආශි‍්‍රතව ඇති වේ. මීට අමතරව අලුහම් නොවන වෙනත් දිලීර ආසාදන ද හඳුනාගත හැක. එම දිලීර ආසාදන බොහෝවිට සිරුරේ නැවෙන, දිගහැරෙන ස්ථාන ආශි‍්‍රතව හට ගැනීම දක්නට ලැබේ.

එනම් ඉකිලි, කිහිලි, පියයුරු යට උදරයේ එල්ලා වැටී ඇති ප්‍රදේශ ආදී වශයෙන් මෙවැනි දිලීර ආසාදන හටගනු අපට දැකිය හැකි වේ. නමුත් මෙම ස්ථානවලට අමතරව සිරුරේ ඕනෑම ස්ථානයක ද මෙවැනි දිලීර ආසාදන හට ගැනීමේ හැකියාව ඇත. තවද මෙවැනි සමේ රෝග ඇති කරන දිලීර එකිනෙකට වෙනස්ය. එබැවින් මෙවැනි රෝග තත්ත්වයකදී අදාළ රෝග කාරක දිලීරය හඳුනා ගැනීම ද නිවැරදි ප්‍රතිකාර සඳහා ඉතාමත් වැදගත් වේ.

මෙවැනි තත්ත්වයකදී එහි පැතිරීම නැතිනම් බෝ වීම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයකුට නැතිනම් සතුන් මාර්ගයෙන් පස් මාර්ගයේ ආදී වූ විවිධ ක්‍රම මඟින් ඇතිවිය හැකිය. සමට අමතරව නියපොතුවල ද හිසකෙස්වලද මෙවැනි තත්ත්ව හටගත හැකිය.

Fungal smear

චර්මරෝග පිළිබඳ වෛද්‍යරයෙකු වෙත යොමු වූ පසු මෙවැනි තත්ත්වයක් නිවැරදිව හඳුනා ගැනීම සඳහා යම් අවස්ථාවක ඒ පිළිබඳ පරික්ෂා කර බැලීමට සිදුවිය හැක. එවැනි අවස්ථාවක ආසාදනය පැතිරී ඇති ස්ථානය ආශ්‍රිතව සමෙන් සූරාගත් කොටසක් අන්වීක්ෂය මාර්ගයෙන් පරීක්ෂා කර බැලීම සිදු වේ. මෙය Fungal smear ලෙස හඳුන්වයි.

මෙම පරික්ෂණයේ ප්‍රතිඵල පැය 1/2ක් පමණ ඇතුළත ලබා ගැනීමේ හැකියාව පවතින අතර එම තොරතුරු ආශ්‍රයෙන් අලුහම්, දිලීර හෝ ඊට අදාළ අනෙකුත් තත්ත්ව පිළිබඳ වෛද්‍යවරයාට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

fungal smear පරීක්ෂාව වඩාත් ප්‍රයෝජනවත් වනුයේ දදයක්ද දිලීරයක්ද යන්න වෙන්කර හඳුනාගැනීම සඳහාය. ඊට අමතරව නිශ්චිතව දිලීරය හඳුනාගැනීමට culture පරීක්ෂාව වැදගත් වේ.

මෙවැනි තත්ත්වයක් හට ගැනීමට බලපාන හේතු

තෙතමනය, දහදිය උෂ්ණ කාලගුණය ඇඟට තදවන ඇඳුම් (ඩෙනිම් වැනි) ඇඳීම මීට බලපාන සුලබ හේතූන් වේ. එසේම පුද්ගලික සනීපාරක්ෂාව දුබල වීමෙන් බොහෝදුරට මෙවැනි තත්ත්ව ඇති වීමට බලපායි. ඒවා මෙසේය. තුවා හුවමාරු කර ගැනීමෙන් ආසාදිත පුද්ගලයෙකුගේ ඇඳුම් පැළඳුම් නිරෝගී පුද්ගලයකුගේ ඇඳුම් සමඟ ගෑවීමෙන්, ඇඳුම් තද අව්වේ වියළා නොගැනීමෙන්, සුළඟින් රෝග කාරක බීජ පැතිරීමෙන්, සුරතල් සතුන් මාර්ගයෙන් (එම සතුන් පුටු ඇඳන්වල ලැග සිටීමෙන් පසු පුද්ගලයකු එහි හිඳ ගැනීම හේතුවෙන් රෝග කාරක විසබීජ සමේ තැවරීම සිදුවිය හැක) එසේම දියවැඩියා රෝගය ද යම් අවස්ථාවල මේ තත්ත්වයට බලපාන හේතූන් වශයෙන් හඳුනාගත හැක.

ප්‍රතිකාර කිරීම

මෙවැනි තත්ත්වයකදී අදාළ රෝග කාරකය නිවැරදිව හඳුනාගැනීමෙන් ප්‍රතිකාර මඟින් මේ තත්ත්වයෙන් බොහෝදුරට සුවය ලබා ගැනීමේ හැකියාව ඇත. නමුත් අප බොහෝවිට දකින වැරදි පිළිවෙතක් නම්, මෙවැනි අවස්ථාවල වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව හිතුමතයේ ෆාමසි මඟින් විවිධ ආලේපන ටියුබ් ලබාගෙන ආසාදිත ප්‍රදේශයේ ආලේප කිරීමයි. නමුත් මෙය වැරදි පිළිවෙතකි. මෙමඟින් සුවපත් වීම වෙනුවට දිලීර ආසාදනය තව තවත් පැතිරීමේ හැකියාවක් හටගත හැකිය. එබැවින් මෙවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු වෙත ගොස් නිවැරදි ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත්ය.