වතුරට වැටුණු ජංගම දුරකථනය වේලාගන්නට අල්මාරියේ දුගඳ නැති කරන්නට හොඳම ක්‍රමයක්

වතුරට වැටුණු ජංගම දුරකථනය වේලාගන්නට අල්මාරියේ දුගඳ නැති කරන්නට හොඳම ක්‍රමයක්

එදිනෙදා අපි විවිධාකාර දේවල් වෙළෙඳපළෙන් මිලදී ගත්තත් ඒවා අසුරා ඇති ආකාරය පිළිබඳව හා ඒ බහාලුම් තුළ ඇති දේවල් පිළිබඳ සැලකිලිමත් වන්නේ නැහැ. විශේෂයෙන් සපත්තු, ප්ලාස්ටික් බෝතල් මේ ආදී දේ මිලදී ගැනීමේදී ඒවා අසුරා ඇති පෙට්ටි තුළ ඇති අනෙකුත් සියලු දේ ඉවත දමා අදාළ භාණ්ඩය පමණක් භාවිතා කළ ද වටිනාකමක් නැතැයි සිතා ඔබ ඉවත දමන ඇතැම් කුඩා දේවල තිබෙන ප්‍රයෝජනය සිතා ගැනීමටවත් නොහැකි වේවි.

ඔබ දැක තිබෙනවාද? ඇතැම් භාණ්ඩ අසුරා ඇති පෙට්ටි තුළ කුඩා සුදු පැහැති හෝ කහ පැහැති කුඩා විනිවිද පෙනෙන බෝල අඩංගු පැකට්ටු. ඒවා සිලිකා එසේත් නැතිනම් සිලිකන්ඩයොක්සයිඩ් ලෙසින් හඳුන්වනවා. බොහෝදුරට මෙම කුඩා ප්‍රමාණයේ පැකට්ටු අප අසා ඇති ආකාරයට ආහාරයට ගැනීමට නුසුදුසු නිසා වගේම ප්‍රයෝජනයක් නැති නිසා ඒවා ඉවත් කර දමනවා. එසේ වුවත් මෙම සිලිකා අඩංගු පැකට්වලින් නිවසේදී ඉටු කරගත හැකි වෙනත් ප්‍රයෝජන තිබෙන බව ඔබ දන්නවාද?

ඔබේ ව්‍යායාම ඇඳුම් පැළඳුම් දමන බෑගයේ දමන්න

ව්‍යායාමය කොතරම් ජීවිතයට වැදගත් ද? අපි ව්‍යායාම කරනවා වගේම ඒ සඳහා භාවිතා කරන ඇඳුම් පැළදුම් ගැන විතරක්ම නෙමෙයි උපකරණවල පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත් වෙන්න අවශ්‍යයයි. විශේෂයෙන් ඔබ ජිම් එකක ව්‍යායාම කරනවා නම් ඔබේ ව්‍යායාම උපකරණ මෙන්ම ඇඳුම් බහලන බෑගයේ පිරිසුදුකම පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුයි.

ඔබ දන්නවාද? සිලිකා අඩංගු කුඩා පැකට්ටු ඔබගේ බෑගය තුළ රඳවා ගැනීමෙන් බැක්ටීරියා වර්ධනය වීම ඉතා හොඳින් පාලනය කරනු ලැබෙන බව. ඒ වගේම මෙම සිලිකා ජෙල් බෑග් මඟින් එහි ඇති දුඟද පවා ඉවත් කිරීමට ද හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙම කුඩා පැකට්ටුව ඔබේ බෑගය වියළිව තබනවා පමණක්ම නොවෙයි පිරිසුදුවට තබා ගැනීමට ද උපකාරී වෙනවා.

ඔබේ අල්මාරිය තුළ දමන්න

අපි කවුරුත් ඇඳුම් අල්මාරිය පිළිවෙලකට පිරිසුදුවට තබා ගන්න. කැමතිනේ. හැබැයි කාලයක් ගත වෙන කොට ඒ තුළින් යම් අමුතු ගන්ධයක් ඇතිවන බව අපි කවුරුත් අත්දැකීමෙන්ම දන්නවා. නමුත් සිලිකා ජෙල් අඩංගු පැකට්ටු ඔබගේ අල්මාරිය තුළට දැමිමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ මඟින් අල්මාරිය තුළ තිබෙන දුඟද ඉවත් කරන්නට පුළුවන් වෙනවා විතරක්ම නෙමෙයි තෙතමනය පවා උරාගන්න නිසා පුස් වැනි දේවල් ඇතිවීම ගැන බියක් ඇති කරගන්න ඕනෙත් නැහැ.

වතුර නිසා ඔබේ හානි වූ දුරකථනයට

සිතන්න යම් හදිසි අනතුරකින් ඔබේ දුරකථනයට ජලයෙන් හානි වුණු බව. මෙම සිලිකන්ඩයොක්සයිඩ් අඩංගු කුඩා බෑග්වල තෙතමනය උරාගන්න ගුණ නිසා ඔබට ඇතිවුණු ගැටලුව විසඳා ගන්න එතරම් අපහසු වෙන එකක් නැහැ. සිලිකා ජෙල් බෑග් 4,5 ක් සමඟ ඔබේ හානි වූ දුරකථනය තබන්න. එමඟින් ඉතාමත් ලේසියෙන් තෙතමනය උරා ගන්නා නිසා දුරකථන වියළි කිරීම එතරම් අපහසුවෙන එකක් නැහැ.


 බිත්තර ශීතකරණයේ තියන්න හොඳ නැද්ද?

ලොව පුරා බොහෝදෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවා. නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි පිළිවෙල ගැන දැනුමක් ඇත්තේ නෑ.

බිත්තර අසුරා තබන ස්ථානය පිළිබඳ අපි එතරම් අවධානය යොමු නොකළත් ඒවා නිසිතැන නිසි තත්ත්ව යටතේ ඇසුරුම් නොකළොත් ඇතැම්විට සෞඛ්‍යමය අතින් හානිදායක වීමේ හැකියක් ද පවතිනවා. උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල් බොහෝදුරට බිත්තර ඇසුරා තැබීම සඳහා ශීතකරණ භාවිතා කරනු ලැබේ. නමුත් ඇතැම් රටවල් සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ බිත්තර අසුරා තබා ගනු ලබනවා.

අපි හැමදෙනාම දන්නා පරිදි බිත්තර ආහාරය එකතු කර ගැනීමේදි ප්‍රධාන තර්ජන ඇතිවන්නේ සැල්මොනෙල්ලා නැමැති බැක්ටීරියාවෙන්. යම් ලෙසකින් සැල්මොනෙල්ලා බැක්ටිරියාව බිත්තර කටුව අවට තැන්පත් වී තිබුණොත් ශීතකරණය නොවූ පරිසරයකට වඩා ශීතකරණයට ලක් වූ පරිසරයක් තුළ හොඳින් වර්ධනය වන බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් විසින් මත පළ කර තිබේ. නමුත් ඇමරිකානු රටවල මතය වී ඇත්තේ සැපයුම්කරුවාගේ සිට වෙළඳපල දක්වා බිත්තර ප්‍රවාහනය වන අතරතුර සැල්මොනෙල්ලා බැක්ටීරියාවට විරුද්ධව සිදුවන පිරිසුදු කරන ක්‍රියාවලි හරහා ඒවා බිත්තර තුළින් ඉවත්වන බවයි. යුරෝපීයන් බිත්තර ලබා ගැනීමේදී සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව සිදුකරන කුකුලන් එන්නත් කිරිමේ වැඩ පිළිවෙල නිසා එසේ බිය වීම අනවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඔබ ආහාරයට ගන්නා බිත්තර මිලදි ගන්නා ස්ථාන අනුව ඒවා ගබඩා කර තබන ස්ථාන තීරණය කිරීමේ වගකීම ඔබ සතු කාර්යයක්. ඒ වගේම බොහෝදුරට වෙළඳපලෙන් මිලදී ගන්නා බිත්තර ශීතරණයේ අසුරා නැවත සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ තිබෙන්නට හැරීමෙන් ද බැක්ටීරියා ගනනය තවදුරටත් වැඩිවන බව ඔවුන්ගේ අදහසයි.