සල්ලි  මිටි ගණන්

සල්ලි  මිටි ගණන්

“කෙනෙකුට දෙයක් දෙන්නත් අපි ළඟ යමක් තියෙන්න එපැයි. යමක් තිබුණට වැඩක් නැහැ දෙන්න හිතක් නැත්නම්.දීලා විතරක්ම වැඩක් තියෙනවාද? යමක් ඉතිරි නොකර. ඉතිරි කළාට වැඩක් නෑ අවශ්‍ය වෙලාවට වියදම් කරන්නේ නැතුව. ඉතුරු කරන්නේ ලෝබ කමට ද? එහෙම නැත්නම් අරපිරිමැස්මටද? අරපිරිමැස්ම, ලෝබකම අතර වෙනස මොකක්ද? සමහරු කියනවා ලෝබකම කියන්නේ මානසික රෝගයක් කියලා.

අස්වාභාවික මානසික චර්යාවක්

ඇත්තෙන්ම මසුරුකම මානසික රෝගයකටත් වඩා අස්වාභාවික මානසික චර්යාවක් වශයෙන් හඳුන්වාදිය හැකියි. මිනිසාගේ පරිණාමයත් සමඟ ඔවුන්ගේ අවශ්‍යතාවලට සාපේක්ෂව ඒවා සපුරා ගැනීමට තිබෙන සම්පත් ප්‍රමාණය යම් යම් සීමාවන්වලට ලක් වෙනවා. මෙසේ පුද්ගලයාගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වන සම්පත් ආකාර දෙකකි. ඒවා නම් මිනිසාට පරිසරයෙන් ලැබෙන දේවල් හා මිනිසා විසින් උපයා ගන්නා දේවල් වශයෙන්. මිනිසා විසින් මේ දේවල්වල උපකාරීත්වය ඇතිව තම ජීවිතය පවත්වා ගෙන යනු ලබනවා. ඒ වගේම මේ සියලු දේවල් ලැබීම හෝ නොලැබීම මත ඔවුන්ගේ ජීවිතයේ සතුට මෙන්ම දුකද එක හා සමානව තීරණය වනවා.

එසේම ජනගහනය වැඩි වනවිට, පාරිසරිකව යම් යම් වෙනස් වීම් සිදුවීම මත මිනිසුන් භාවිතයට ගන්නා සම්පත්වල යම් යම් සීමාවන් ඇති විම ස්වභාවිකයි. මේ හේතුව නිසා අප විසින් සම්පත් භාවිතා කිරීමේදී යම් පාලනයක් ඇති කරගත යුතුයි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ අරපිරිමැස්ම ලෙසින් හඳුන්වනවා.

සමාජයෙන් කොන්වෙනවා

මොවුන්ගේ ජීවිතයේ එක්තරා ආකාරයක අස්වාභාවික හැසිරීම් රටාවක් ඇති කර ගනු ලැබේ. මෙම චර්යාව සමාජය විසින් පිළිගත් හැසිරීම්වලට වඩා පටහැනි වේ. මේ නිසාම ඔවුන් සමාජයෙන් කොන් වීමකට ද ලක් වේ.

ජිවත්වන්නේ බියෙන්

මසුරු තැනැත්තන් නිතරම යම් බියකින් ජිවත් වේ. තමා උපයාගත් දේ නැති වේවිද? තව අයෙක් තමාගෙන් දෙයක් ඉල්ලාවිද? එසේ පැමිණියහොත් මා කියන්නේ, මොකක්ද වැනි ගැටලු රාශියක ඔහු පැටලිය හැකියි.මේ ගැටලු නිසා මසුරු පුද්ගලයෙකු යම් ආතතියකට ලක්විය හැකියි. මෙවන් පුද්ගලයන් මුදල් නිසා යම් සතුටකට පත් වුණත් ඒවා වියදම් වේ යැයි දැඩි බියකින් ජීවත් වීම නිසා මසුරු තැනැත්තා යනු ඇත්තෙන්ම සතුටින් ජීවත් වන අයෙකු නොව බියකින් ජීවත්වන තැනැත්තෙකු වශයෙන් හඳුන්වාදිය හැකියි.

අරපිරිමැස්මේ සහ මසුරුකමේ වෙනස හඳුනාගන්න

නැහැ. ඇත්තෙන්ම ජිවිතයට මුදල් ඉපයීම අත්‍යවශ්‍ය දෙයක්. ජිවිතයේ සතුටින් ජීවත් වීමට මුදල් ඉපයිය යුතුයි. නමුත් අපගේ අවශ්‍යතා ඉටු කර ගන්නා ගමන්ම අන් අයටත් යම් දෙයක් දීම මඟින් ජීවිතය තුළ අපට යම් නිහතමානි සතුටකට පත්විය හැකියි. නමුත් මසුරු අය තමන්ගේ මුදල් තවත් අයෙකුට දීමට සිදු වූවොත් යන සිතුවිල්ල නිසා පීඩාවකට පත් වේ. ඒ වගේම අරපිරිමැස්ම හා මසුරුකම අතර වෙනස හඳුනාගත යුතුයි. ඒ වගේම මුදල් උපයනවා වගේම ඒවායින් කොටසක් ඉතිරි කිරීම ද ඉතා වැදගත්. නමුත් එසේ මුදල් ඉතිරි කිරීම මසුරුකමක් ලෙසින් හැඳින්විය නොහැකියි. නමුත් යම් අයෙක් එසේ මුදල් ඉතිරි නොකර හිතුමතේ වියදම් කිරීම ද එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අතෘප්තිකර ජිවිතයක්

මසුරුකමින් මුදල් ගොඩ ගසන්නා කිසිසේත්ම තමාට ලැබුණු දෙයින් සෑහීමකට පත් නොවේ. සෑමවිටම තමාට හිමි වූ දේ තව තවත් වැඩි කර ගන්නවා හැරුණු විට ඉන් තෘප්තිමත් වන්නේ කෙසේද කියා සිතන්නවත් ඔවුන්ට වුවමනාවක් නොමැති තරම්ය.

කෙසේ වෙතත් මෙවැනි හේතු නිසා මසුරු පුද්ගලයින්ට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය එතරම් යහපත් නොවන බවද විශේෂයෙන් පැහැදිලි කළ යුත්තකි.

මුදලට කෑදරයි

එදිනෙදා ජීවිතය තුළ අප විසින් භාවිතයට ගන්නා සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කළ යුත්තේ ඒවා භාවිතා කිරීමේදී ක්‍රමයෙන් හිඟ වෙමින් යන නිසයි. මෙහිදී අප ජීවිතය තුළ අපට අවශ්‍ය දේ ඉටු කර ගත්තත් එය අනවශ්‍ය ලෙස විනාශ කිරීමක් මෙහිදී සිදු වන්නේ නැහැ. නමුත් මසුරුකම කියන්නේ අරපිරිමැස්මට වඩා හාත්පසින් වෙනත් තේරුමක් සහිත දෙයක්. මසුරුකම යන්නෙන් අදහස් වන්නේ යම් තැනැත්තෙක් විසින් අප භාවිතයට ගන්නා සම්පත් එකතු කිරීමක් පමණක් සිදු කිරීමයි. නමුත් ඒවා භාවිතා කිරීමක් හෝ ඒවා තමන්ගේ මූලික අවශ්‍යතාවලට යොදා ගැනීමක් සිදු කරන්නේ නැහැ. මෙහිදී විශේෂයෙන් සමාජය තුළ සිටින මසුරු පුද්ගලයන් තුළ දැකගත හැක්කේ හැකි තරම් මුදල් තමා ළඟ කෑදර ලෙස රඳවා ගැනීමයි. එක් අතකට මෙය පෞරුෂත්ව ගැටලුවක් ලෙසින් ද හැඳින්විය හැකියි. වර්තමාන සමාජය පිළිබඳ කථාබහ කිරීමේදී මසුරුකම මුළුමනින්ම රඳා පවතින්නේ මුදල් හා සම්බන්ධවයි. මොවුන් මෙසේ මුදල් එකතු කිරීම මත එක්තරා ආකාරයක සතුටක් ද අත් විඳිනු ලබනවා..

මසුරුකම පෞරුෂ දුබලතාවක්

අපගේ ජීවිතයේ සතුට අප සෑම විසින් අත්විඳීය යුත්තක්. එසේ සතුට ලබා ගන්නා නිවැරදි ක්‍රම ද අප සතුයි. නමුත් මෙවැනි අය ද මුදල් කෑදර ලෙස ගොඩගසා ගැනීම මඟින් යම් සතුටක් අත්විඳිනු ලැබේ. එසේ වුවත් එම සතුටින් ඵලක් ඇති නොවේ. ඔවුන් කෙතරම් මුදල් ඉපැයුවත් ඉන් කිසිදු තෘප්තියක් ද නොලබනු ලබන අතර එයද එක්තරා ආකාරයක පෞරුෂ දුබලතාවක් ලෙසින් ද හඳුනාගත හැකියි.

සමිපතමයන්ගේ ජීවිතද දුකට පත්කරවනවා

මෙම පුද්ගලයන් ජිවිතයේ එකම පරමාර්ථය වන මුදල් ඉතිරි කර ගැනීම වෙනුවෙන් අනෙකුත් අවශ්‍යතා පවා කැප කරයි. මේ සඳහා උදාහරණ අවස්ථා දක්වනවා නම් මසුරු පුද්ගලයින් තමාගේ ආහාරපාන, ඇඳුම් පැළදුම් පමණක් නොවේ. තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් ද මුදල් වියදම් කරන්නේත් ඉතාම කරදර ලෙසිනි. මේ නිසා ඔවුන්ගේ ජිවිතය පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිතයේ සමීපතමයන්ගේ ජීවිත ද දුකට පත්විය හැකියි. අවම වශයෙන් තමාගේ අවශ්‍යතාවලට පවා මුදල් වියදම් වේ යන බිය නිසා වියදමක් නොදරන මෙවැනි පුද්ගලයන් අතින් සමාජයට ද කිසිදු ප්‍රතිලාභයක් කිසි විටෙකත් බලාපොරොත්තු වීමට හැකියාවක් ඇත්තේ නැහැ.