නාසයේ මැද බිත්තිය ඇදවෙලා

 නාසයේ මැද බිත්තිය ඇදවෙලා

අපේ පණනළ රඳා පවතින්නේ ආශ්වාස ප්‍රශ්වාසය මතය. යම්කිසි විටෙක ආශ්වාස ප්‍රශ්වාසය නැවතුන කල අපේ ජීවිතය එතැනින් නිමාවට පත්වන්නට ගත වන්නේ නිමේෂයකි. පුදුමයක මහතනම් අපගේ ආශ්වාස ප්‍රශ්වාසය සිදුවන්නේ අපගේ අනුදැනුමෙන් තොරව වීමයි.නමුත් අපේ හෘද වස්තුව ක්‍රියා කරන සෑම මොහොතකම මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වයේ ස්වභාවය අනුව අපි අපගේ අනුදැනුමින් තොරව හෝ වේවා ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමු.ස්වසනය සිදු වන්නේ ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අනුකුලව වුවද, ස්වසනය ඇරඹෙන්නේ නාසයෙනි.

නිරීගී නාසය අපි ආශ්වාස ප්‍රශ්වාස කරන බව අපට නොදන්වා සිටියද අපගේ නාසය රෝගී වූ විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගනී. එවන් වූ අවස්ථාවක අප ආශ්වාස ප්‍රශ්වාස කරන බව අපට හොඳින් දැනේ.

නාසය ලෙඩවී ඇති බව කියා පාන්නට හේතු කිහිපයක් ඇත. ඒ නාසය අභ්‍යන්තරයේ පවතින ගැටලු සහගත තත්ත්වයන්ය. එය ආශ්වාස ප්‍රශ්වාසයට පීඩා ඇති කරවන බාධකවේ. ඒ බාධක හමුවේ ස්වසනය අපට පීඩා කරන ක්‍රියාවලික් බවට පත්වේ.මේ භාධක මත නාසයේ අභ්‍යන්තරය මදක් අවහිර වූ විට රෝගියාට දැනෙන අපහසුතා ක්‍රමයෙන් ස්වසනයට අධික බාධා පමුණුවන තත්ත්වය දක්වා උග්‍ර වේ.

එය රෝගියාට දරාගත නොහැකි තත්ත්වයකි. එවිට බැරෑරුම් සංකුලතා සහිත තත්ත්වයක් උදාවන තරමට රෝගය වර්ධනය වේ. නාසය, හිස ,නළල අවහිරවි දැඩි පීඩනයක් රෝගීයාට දැරිමට සිදුවේ.ිිඑබැවින් විවිධ මට්ටමේ ස්වසන අවහිරතා ඇතිවීමට නාසයේ තිබෙන ව්‍යුහමය සාධක බලපෑ හැකිය. එබැවින් අද සාකච්ඡාවට බඳුන් කරන්නේ නාසයේ ඇති ව්‍යුහමය බාධක තත්ත්වයන් පිළිබඳවයි. මේ සඳහා අප සම්බන්ධ කරගත්තේ මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මියයි.

නාසයේ අවහිරතා ඇතිවන්නට හේතු

නාසයේ අවහිරතා අප ලඝුකොට සැලකුවද, උපතේදී ඇතිවන මෙවැනි අවහිරතා ජීවිතය පවත්වාගෙන යාමට ඍජුවම බලපෑ හැක. ඇතැම් විට උපතේදී ඇතිවන නාසයේ ව්‍යුහමය අවහිරතා වනුයේ නාස් කුහර දෙකම පිටුපස ද්වාරයක් රහිතව පිහිටීමයි. (ඛ්ඩධචදචත චබපඥබඪච) බාහිර පෙනුමෙන් නාසය මනාව පිහිටා ඇතිමුත් ඇතුළත කුහරය පටලයකින් හෝ අස්ථියකින් සම්පූර්ණයෙන් වැසී පැවතීම මෙයට හේතුවය.

කළලය ගර්භය තුළදී විකාශනය වනවිට ඇතිවන වර්ධනයේ අසම්පූර්ණතා හෝ කළල විකෘතිතාවයක් නිසා මෙය සිදුවන අතර එහිදී ඒ හා බැඳි තවත් රෝගී තත්ත්වයන් (CHARGE syndrom) දරුවන්ට ඇතිවිය හැකිය. මෙවැනි අවස්ථාවලදි ඉතා ඉක්මනින් ස්වසන මාර්ගය ශල්‍යකර්මයක් මඟින් විවෘත කිරීමෙන් ජීවිතය පවත්වා ගැනීමට බිළිඳු දරුවන්ට හැකිවනු ඇත.

නාසයේ බිත්තියේ ඇති වෙනස්කම්

අප සරලව දන්නා අයුරින් නාසය කුටීර දෙකකින් යුක්ත වන අතර එලෙස බෙදා වෙන් කිරීමට අවශ්‍ය බිත්තියක් නාසයේ මාධ්‍යයේ පිහිටා තිබේ. නමුත් කුඩා කල දරුවන් ක්‍රීඩා කිරීමේදී හෝ වැඩිහිටියන් අඩදබර කර ගැනීමේ දී හෝ උපතින් නිර්ණය වූ ලෙස මෙම බිත්ති ඝන රේඛාවක පිහිටීම වෙනුවට ඇදකුද සහිතව පිහිටිය හැක. එලෙසම එම බිත්තිය අස්ථි හා කාටිලේජ යන දෙවර්ගයෙන් සෑදී ඇති නිසා එය අනවශ්‍ය වර්ධනයක් ඇතිවී බිත්තියේ අසමතුලිතාවයන්ට හේතුවේ.

නාසය තුළ ඇති ගැටිති විශාල වීම. (Turbinates)  

පීනස් තත්ත්වයන් නිසා හෝ ආසාත්මිකතා හේතුවෙන් මෙම ගැටිති ප්‍රමාණයෙන් විශාල විය හැක. එලෙසම මෙම ගැටිති තුළ වාතය පිරුණු කුටීර ඇතිවිය හැකි අතර ප්‍රමාණයෙන් විශාල වන මෙම ගැටිති නිසා ස්වසනයට බාධා ඇතිවී විශේෂයෙන් රාත්‍රියට මුඛයෙන් හුස්ම ගැනීමටත් අධික ලෙස ගෙරවීමටත් ඉඩ ඇත.

නාසය තුළ මස් දළු ඇතිවීම හා ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාල වීම.

මෙම තත්ත්වයන් ඉතා සුලබව දක්නට ලැබෙන අතර ඇඩිනොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම සුලබව දරුවන් තුළද දැකිය හැකිය. කෙසේ නමුත් මෙලෙස අසාත්මිකතාවයන් සහ පීනස් තත්ත්වයන්ගේ සංකූලතාවයන් ලෙස මස්දඵ ඇතිවීම මෙන්ම ඇඩිනොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමද ඇතිවිය හැක. මේ හේතුන් නිසා නාසය තුළ ඉතා තද අවහිරතාවයක් මෙන්ම ගඳ සුවඳ නොදැනීමද කටහඩ වෙනස් වීමද සිදුවේ.

ප්‍රතිකර්මයන්

නාසය හිරවීම, රාත්‍රියට ශ්වසනයට ඇති බාධා, ගෙරවීම, නිතර හිසරදය, කන අගුල්වැටීම වැනි විවිධ රෝග තත්ත්වයන් මෙලෙස නාසය තුළ අධික ඇද කුද පවතින බිත්තියක් තිබීමෙන් ඇතිවිය හැක. නමුත් මෙවැනි ව්‍යුහමය වෙනස්කම් බොහොමයක් ඖෂධ මඟින් යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතා අපහසුය. නාසයේ මස් දළු, ඇඩිනොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමෙන් හා පීනස තත්ත්වයන් යම්තාක් දුරකට පාලනය කළ හැකිමුත්, නාසයේ මැද බිත්තියේ ඇතිවන ව්‍යාකූලතා යථාතත්ත්වයට පත්කළ යුත්තේ ශල්‍යකර්මයකින් පමණි.

මේ සඳහා (Endoscopic Assisted Septoplasty)

ශල්‍යකර්මය නවීන ප්‍රතිකර්ම අතර ඉතා වැදගත් තැනක් උසුලයි. මෙම ශල්‍යකර්මය මගින් .(Endoscopic Assisted Septoplasty) නාසයේ බිත්තිය ඇදවිම යථා තත්ත්වයට පත්කෙරේ.

වෛද්‍යවරයා විසින් මෙවැනි රෝගීන්ගේ යථා තත්ත්වයට පත්කිරිම සඳහා. ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයැයි තීරණය කරනු ඇත. ඉහත සඳහන් කළ එන්ඩොස්කොපි ආධාරයෙන් මෙම ශල්‍යකර්මය සිදුකිරීමෙන් පිටතින් පෙනෙන කිසිදු කැළලක් හෝ මැහුමකින් තොරව රෝගියාට ඇතිවන සංකුලතාවයන්ද අවම කළ හැකි අතර මෙම සැත්කම සඳහා රෝහලේ නේවාසිකව සිටිය යුතු වන්නේද එක් දිනක් පමණි.