ඉරුවාරදය නිට්ටාවට සුවකළ හැකියි

ඉරුවාරදය නිට්ටාවට සුවකළ හැකියි

ජීවිතයේ අපට මුහුණ දෙන්නට වෙන සමහර අත්දැකීම් කරදරයක් කියලා හිතුණ වෙලාවට “මේක නම් මහා හිසරදයක් කියලා” බොහෝ දෙනෙකුට කියවෙන්නේ ඉබේටම වගේ කරදර ඇති වුණාම ඒ විදිහට කිව්වට හිසරදයක් ඇත්තටම ඇති වුණාම සමහර අයට ඒ විදිහට කියනවා තබා කථා කරගන්නවත් බැහැ. එහෙම කථා කරගන්න බැරි වුණාට කථා නොකරම බැරි හිසරදය ප්‍රධාන රෝග ලක්ෂණයක් වුණු “ඉරුවාරදය” පිළිබඳව මෙවර ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාවේ අවධානය යොමු කරමු.

මූලිකව සිදුකරන්නේ රක්ත ශෝධන ප්‍රතිකාරයයි

මානසික ආතතිය, අධික මත්පැන් පානය හොඳ නැහැ

ඉරුවාරදය යනු රෝගයකට වඩා රෝග ලක්ෂණයකි. මෙහිදී දැකගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණය බවට පත්වන්නේ අධිකව ඇතිවන හිස කැක්කුමයි. ඇතැම් අවස්ථාවල මෙසේ ඇතිවන හිස කැක්කුම් තත්ත්වයේ විශේෂත්වය වන්නේ හිසේ එක් පැත්තකට වන්නට කැක්කුම ඇතිවීමයි. ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය “අර්ධාවභේදය” යන නමින් හැඳින්වේ.

ඉරුවාරදය ඉතාමත් දිගු ඉතිහාසයකට හිමිකම් කියන රෝගී තත්ත්වයකි. ඒ වගේම බොහෝ දෙනා අතර ඉතා සුලබව දැකගත හැකිවීම ද තවත් විශේෂත්වයකි.

රෝගය ඇතිවීම සඳහා බලපාන හේතු

නිදි වැරීම.

මානසික ආතතිය.

අධික මත්පැන් පානය.

උෂ්ණ, කටුක, ආම්ලික ආහාර පමණ ඉක්මවා ආහාරයට ගැනීම.

ආහාර ජීර්ණයේ පවතින විවිධාකාර දුර්වලතා.

අධිකව පවතින මලබද්ධ තත්ත්වයන්.

විශේෂයෙන් කුඩා දරුවන්ට උදෑසන ආහාරය පරිපූර්ණව නොදීම නිසා ඇතිවන පෝෂණ ඌණතා.

කුඩා දරුවන් මෙන්ම ඕනෑම අයකුට නිසි ආකාරව සුදුසු වේලාවන්වල පෝෂ්‍යදායී ආහාර නොලැබුණහොත් මේ තත්ත්වයට මුහුණදීමට සිදුවිය හැකියි.

තවද ගැස්ට්‍රයිටීස් වැනි ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්ව වලදී අධික ලෙස අම්ල පදාර්ථ රුධිරයට මිශ්‍ර වන අතර ඒවා මොළය දක්වා ගමන් කරන ස්නායුවලට බලපෑම් ඇති කරනු ලැබේ. එවිට එම ස්නායුවලට අදාළ සංවේදනයන් නිසි පරිදි සිදුනොවේ. මේ නිසා ද ඉරුවාරදය රෝගී තත්ත්වයට මුහුණදීමට සිදුවේ.

ප්‍රතිකාර

මෙවැනි රෝග තත්ත්ව ආයුර්වේදීය ප්‍රථිකාර ක්‍රම හරහා නිට්ටාවටම සුවකළ හැකි අතර වර්තමාන කාර්යබහුලත්වයට උචිත වන පරිදි ඒ සඳහා යෙදිය යුතු ඖෂධ වර්ගද මේ වන විට නිපදවා තිබීමද ඉතා විශේෂිතයි. එවැනි ප්‍රතිකාර යටතේ මූලිකව සිදුකරනු ලබන්නේ “රක්ත ශෝධන ප්‍රතිකාරයයි” මෙම ප්‍රතිකාරය ආයුර්වේද මූලධර්මවලට අනුව සිදුකළ යුතු ප්‍රධාන කාර්යයි. ඒ වගේම ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත දුර්වලතා මඟහැරවිය යුතු අතර මෘදු ආහාර රටාවකටද යොමු කළ යුතුවේ. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටට අනුව මෘදු විරේචන ඖෂධ යෙදීමක් මෙහිදී සිදුකරනු ලැබේ.

රෝග ලක්ෂණ

නොරිස්සුම් සහගත බව මෙහිදී දැකගත හැකි තවත් ප්‍රධාන රෝග ලක්ෂණයකි. එහිදී මෙවන් රෝගීන්ට ආලෝකය දැකීම පමණක් නොව වෙනත් අයෙක් තමා සමඟ කතා කිරීම පවා නුරුස්සන ස්වභාවයක් ඇති කරවයි.

ඇස්වල, නාසය ආශ්‍රිත කලාපවල දැවිල්ල ස්වභාවයක් ඇතිවේ.

හිසෙහි මෙන්ම නාසයෙහි ඇතිවන බර ගතිය.

උදෑසන කාලයේ ඇතිවන රෝගී තත්ත්වය ක්‍රමයෙන් දිවා කාලය වන විට මඟහැරී යනු ලැබේ.

තවද ඉර මුදුන් වන විට ඇහි බැම යට කැක්කුම් ඇතිවේ.

ඇහි බැම උඩ ඉදිමී නාසය දෙපස ඇති ඛේට ග්‍රන්ථි ඉදිමේ.

දෑස්වලින් කඳුළු වැගිරීම් ඇතිවේ.