සීකා වෛරසය ව්‍යාප්තවූ රටවල සංචාරය එපා

සීකා වෛරසය ව්‍යාප්තවූ රටවල සංචාරය එපා

ගැබිණි මව්වරුන්ට පහසුවෙන් ශරීරගතවිය හැකියි

“සිකා” වෛරස උණ රෝගයෙහි රෝග ලක්ෂණ දින දෙකක සිට දින හතක් දක්වා කාලයක් පැවතියද, රෝහල් ගත කිරීමට තරම් උග්‍ර තත්ත්වයක පසුවන රෝගීන් හඳුනාගැනීම තරමක් අපහසු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත. රෝහල්ගත කිරීමට තරම් උග්‍රව රෝගය වැළදෙනුයේ ඉතාම කලාතුරකින් වන අතර මේ දක්වා වෛරසය ශරීරගත වීමෙන් මරණයට පත්වූවන් වාර්තා වී නොමැත. සිකා වෛරසය ආසාදනය වූවන් අතරින් රෝග ලක්ෂණ පෙන්නුම් කරනුයේ 20% ක පමණක් බව වෛද්‍යවරු පවසති.

අසල්වැසි රටවල සිකා වෛරසය පැතිර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේද වෛරසය පැතිර යාමේ අවදානමක් පවතියි. නමුත් මේ පිළිබඳව ජනතාව අතර අනියත බියක් ඇති කර නොගත යුතුය. සාමාන්‍ය පුද්ගලයකුට මේ වෛරසය ශරීරගත වීමෙන් දැඩි අවදානමක් ඇති නොවේ. වෛරසය සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම මඟින් අවදානම් තත්ත්වය පහකර ගත හැකිය.

සිකා වෛරසය ශරීරගත වීමෙන් ගැබිනි මව්වරුන්ට සංකූලතා ඇතිවිය හැක. එසේම ගැබිනි මව්වරුන්ට මේ වෛරසය පහසුවෙන් ශරීරගත වීමද සිදුවේ. ගර්භනී කාන්තාවකට වෛරසය ආසාදනය වීමෙන් උපදින දරුවන්ට සංජානනීය ආබාධයක් වන හිස කුඩාවීමේ රෝගය හෙවත් මයික්‍රොසෙෆලි (Microcephaly) තත්ත්වය ඇතිවිය හැකිය. මේ වෛරසය ව්‍යාප්තව ඇති රටවල සංචාරය නොකිරීමෙන් වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැකිය. ලෝකය පුරා රටවල් 72 ක සිකා වෛරසය ව්‍යාප්තව ඇති අතර මේ රටවල සංචාරය නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ගර්භණී මව්වරුන්ගේ විශේෂ ඉල්ලීමක් කරයි.

මේ වෛරසය අප්‍රිකානු රටකින් මුලින්ම වාර්තා වූ අතර පසුව ඇමෙරිකාව, ආසියාව සහ පැසිෆික් දූපත් දක්වා ව්‍යාප්ත වීම සිදුවිය. බ්‍රසීලය, කොළොම්බියාව, සිංගප්පූරුව, මැලේසියාව හා පිලිපීනය යනාදි රටවලින් රෝගීන් මේ වනවිට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ඊඩිස් ගණයේ මදුරුවන් මඟින් සිකා වෛරසයද පැතිරීම සිදුවේ. මීට අමතරව මේ මදුරුවාගෙන් චිකුන්ගුන්යා හා කහ උණ රෝගයන්ද ව්‍යාප්ත වේ. ඊඩිස් මදුරුවා දිවා කාලයේ දෂ්ට කරන අතර මිනිස් වාසස්ථාන ඇතුළත හා පිටත වාසය කරයි. සිකා වෛරසය ශරීරගත වූ අයකුගෙන් රුධිරය උරාබොන විට මේ වෛරසය මදුරුවා තුළට ඇතුළු වේ. එම මදුරුවන් නිරෝගී පුද්ගලයන්ට දෂ්ට කිරීම මඟින් වෛරසය ව්‍යාප්ත වේ. මීට අමතරව මේ වෛරසය ලිංගිකව සම්පේ‍්‍රෂණය විය හැකි බවට විද්‍යාත්මකව සාක්ෂි මේ වනවිට ලැබී තිබේ. සිකා වෛරසය ශරීරගත වූ පුරුෂයකුගේ ශුක්‍ර තරලය තුළ වෛරසය සති 8 - 9 ක් පමණ කාලයක් හෝ ඊට වඩා දිගු කාලයක්ද පැවතිය හැක.

උණ, සමේ ඇති වන කුෂ්ට, හන්දි වේදනාව, ඇස් රතුවීම යනාදිය සිකා වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වේ. මීට අමතරව හිසරදය, මස්පිඬු වේදනාව, කකුල් ඉදිමීම, ඇස් අවට ඇති විය හැකි වේදනාව යනාදි රෝග ලක්ෂණද මතුවේ. ඉහත රෝග ලක්ෂණයන් පැවතීම සහ සිකා වෛරසය ව්‍යාප්තව ඇති රටක සංචාරක කර තිබීම යනාදි කරුණු සැලකිල්ලට ලක් කිරීමෙන් රෝගීන් සිකා වෛරසය ශරීරගත වූවන් ලෙස හඳුනාගත හැකිය.

සිකා වෛරසය ශරීරගත වූවන්ට සාමාන්‍යයෙන් සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පෙන්නුම් කරන අතර ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයන් අවශ්‍ය නොවේ. රෝගියාගේ ස්වභාවය හා රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර නියම කරන අතර රෝගය සම්බන්ධයෙන් ජනතාව අතර අනියත බියක් ඇති කර නොගත යුතුය. හොඳින් විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කිරීම, උණ සහ වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් අඩංගු ඖෂධ භාවිතා කිරීම යනාදිය රෝගය සඳහා ප්‍රතිකාර ලෙස නියම කරයි. මේ කාලය තුළදී ඇස්පී‍්‍රන් හෝ “ව්ඉඒධ්ච්ඉ“ කාණ්ඩයේ ඖෂධ ලබා නොදිය යුතුය. රෝගී තත්ත්වය දරුණු නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

රෝගය වැළැක්වීමේ ප්‍රධාන පියවරක් වනුයේ ඊඩිස් මදුරුවන් බෝවීම පාලනය කිරීමය. නිවෙස හා ගෙවත්ත මදුරුවන් බෝ නොවන සේ පිරිසිදුව තබාගැනීම, හිස්ටින්, පොල්කටු, ප්ලාස්ටික් බඳුන් වැනි ජලය එකතු වී මදුරුවන් බෝ විය හැකි ද්‍රව්‍ය සුදුසු පරිදි විනාශ කිරීම, මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගැනීම සඳහා මදුරුදැල් භාවිතා කිරීම, ශරීරයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ඇඳුම් වර්ග එනම් අත්දිග ෂර්ට්, දිග කලිසම් ඇඳීම, එළිමහනේ සිටින විට මදුරු විකර්ෂක ආලේප ගැන්වීම යනාදි ක්‍රම භාවිතයෙන් මේ රෝගය වැළඳීම වළක්වා ගත හැක.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇසුරිනි