වයස 40 ඉක්ම වූ පසු රුධිර පීඩනය පරීක්ෂා කරගන්න

වයස 40 ඉක්ම වූ පසු රුධිර පීඩනය පරීක්ෂා කරගන්න

අධි රුධිර පීඩනය යමෙකුට පවතී නම් එහි ඇති බැරෑරුම් තත්ත්වය වන්නේ අධි රුධිර පීඩනය තමාට තිබෙන බව රෝගියා නොදැන සිටීමයි. කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවීම අධි රුධිර පීඩනය තිබෙන රෝගීන්ට ඇති ප්‍රබලතම අවාසිදායක තත්ත්වයයි.

එහිදී ඇතැමුන් රුධිර පීඩනය නොමැති යැයි සිතා ඖෂධ නවතා දැමීම නිසා තමන් නොදැනුවත්වම තමාගේ ජීවිතයට අනතුරක් ඇති කර ගැනිමට උත්සාහයක යෙදෙයි. මෙවැනි රෝගීන් රුධිර පීඩනය මැන බලන තාක් තමා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදනී.එබැවින් මේ හේතුව නිසා ගත යුතු බුද්ධිමත් තීරණය වන්නේ සාමාන්‍යයෙන් වයස 40 ඉක්ම වූ පසු රුධිර පීඩනය පරීක්ෂා කිරීමයි.

රෝගියෙකු තමාට අධි රුධිර පීඩනය තිබෙන බව දැනගෙන නොකඩවා ඖෂධ ලබා ගන්නේ නම් එම ඖෂධවලින් රෝගය පාලනය වේ. දිනපතා ඖෂධ ලබා ගැනීමට අකමැති ඇතමෙකු විසින් ඖෂධ ලබා ගැනීම නවතා දමන්නේ බොහෝවිට තමා කාලයක් ඖෂධ ලබාගත් නිසා අධි රුධිර පීඩනය දැන් අඩු වී ඇතැයි සිතේ පවතින විශ්වාසය මතය. රෝගියා එලෙස සිතීම අනුවණ කමකි. ඖෂධ නවතා දැමූ සැනින් නැවතත් අධි රුධිර පීඩන තත්ත්වය උදාවන අතර අවාසනාවකට එය රෝගියාට නොදැනෙන බැවින් රෝගියා සිිතනුයේ දැන් ඔහු සුවපත් වී අවසානයි කියාය. මේ අනුවන තීරණය නිසා රෝගියාට හදිසියේ හෘදයාබාධයක්, ආඝාතය වැනි තත්ත්වය උදාවිය හැක. ප්‍රෙෂර් තත්ත්වයට රෝග ලක්ෂණයක් නොමැති වීමේ තත්ත්වය නිසා අවසානයේ බැට කන්නේ ද රෝගියාමය.

ඖෂධ ලබා ගැනිමෙන් කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණි. ඖෂධ ලබා දීමෙන් කිසිවිටක අධි රුධිර පීඩනය නිට්ටාවට සුව කළ නොහැකි බව සත්‍යයකි.

නිව්මෝනියා, ඩෙංගු, මැලේරියාව, මී උණ, ක්ෂය රෝගය, ලාදුරු වැනි භයානක ගණයේ රෝග යම්කිසි කාලසීමාවක් තුළදී ඖෂධ මඟින් නිට්ටාවට සුව කළ හැක. ප්‍රතිකාර නිමාවූ පසු ඖෂධ නවතා දැමිය හැකි අතර දීර්ඝකාලීනව හෝ ප්‍රතිකාර කිරීමෙන් රෝගය නිට්ටාවට සුව කළ හැක. අධි රුධිර පීඩනය යනු එවැනි රෝගි තත්ත්වයක් නොවේ . ඒ

සඳහා ඖෂධ ගැනීමේදී ඒවා ජීවිතාන්තය දක්වා ලබා ගත යුතුය. ප්‍රෙෂර් පාලනය කළ හැකි වන්නේ නිරන්තරයෙන් ප්‍රෙෂර් පෙති ලබා ගැනීමෙන් පමණි. යම් හෙයකින් ප්‍රෙෂර් සදහා ලබා ගත් ඖෂධ වලින් ප්‍රෙෂර් සුව වුවා යැයි ඇතැම් උදවිය සිතති. එසේ සිතා ඔවුන් ප්‍රෙෂර් සදහා ලබා දෙන ඖෂධ නතර කරති. එසේ නතර කළහොත් නැවත වරක් ප්‍රෙෂර් ඇතිවිය හැක. රබර් බෝලයක් වතුර බේසමක ඔබා අත ඉවතට ගත් විට බෝලය ජලයේ උඩට මතු වේ. අධි රුධිර පීඩනයට දිය හැකි හොඳම උදාහරණය ද එයයි. ඖෂධ ලබා ගන්නා තෙක් අධි රුධිර පීඩනය පාලනය වුවද ඖෂධ නතර කළ විගස නැවත අධි රුධිර පීඩනය ඇති වේ. මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ අධි රුධිර පීඩනය සහිත රෝගීන් කිසිවිටක ඖෂධ ලබා ගැනීම නතර නොකළ යුතු බවයි. අධි රුධිර පීඩනය සඳහා වූ නවීන ඖෂධ මඟින් බොහෝ දෙනෙකුට අධි රුධිර පීඩනය පාලනය කර නීරෝගීව ජීවත්විය හැකි අතර එවැනි ඖෂධවල අතුරු ආබාධ ද නැත. අධි රුධිර පිඩනය ඇති රෝගීන් ට මුහුණ දිමට සිදුවන බරපතලම ගැටලුව වන්නේ අධි රුධිර පීඩනය නිසා සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන්ට සෘජු ලෙස බලපෑම් සිදුවිමයි. මේ බලපෑම් මත සංකූලතා රාශියක් ඇතිවිය හැක. හෘදයාබාධ, හෘද අකර්මණ්‍ය, ආඝාතය, වකුගඩු අකරණීය, ඇස් පෙනීම දුර්වල වීම, අන්ධ භාවය මෙන්ම ශරිරයේ රුධිර නාල ඉදිමීම නිසා රුධිර නාල පුපුරා යෑම ද සිදු විය හැක. එවිට අභ්‍යන්තර රුධිර වහනය ආදී සංකූලතාවන්ට රෝගියා ගොදුරු විය හැකි අතර මෙවැනි සංකූලතා නිසා මරණය පවා සිදුවිමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.