සිරුරට ගුණ දෙන හෙළ ඔසු

සිරුරට ගුණ දෙන හෙළ ඔසු

“ඔසුවක් සේ නොගැනෙන කවර ශාකයක්වත් මේ මිහිපිට නැත.” මෙය ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යා මතයයි. එයට අප බෙහෙවින්ම ගරු කළ යුතුව ඇත. ගෙවතු, පිට්ටනි, ඕවිටි හා වන ලැහැබි ආදියෙහි වැඩෙන විවිධ ශාක වර්ග අතර බැලතන, අක්කපාන, හීන් නිදිකුම්බා වල් පැලෑටි සේ සලකා මුලිනුපුටා දැමීමට අපි බොහෝ සෙයින් උනන්දුයි. නමුත් මේ ශාක ආයුර්වේදයේ ප්‍රශස්ත මට්ටමේ ආයුර්වේද ඖෂධ සේ සලකන බැවින් කවර ශාකයක්වත් නිකරුණේ විනාශ කිරීම සුදුසු නැත. ඉබේ වැඩෙන පරිසරයෙන් අපට දායාද වූ මේ ශාක වර්ග අතරින් අපට සෑදෙන විවිධ රෝගවලට මෙන්ම නිතර දෙවේලේ සැනෙකින් ජනිත වන බඩේ රුදාවට හෝ අජීර්ණයකට ගුණදෙන හැටි බලමු.

අජීර්ණයට, බඩ පුරවා දැමීමට අසමෝදගම්

ඖෂධීය වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නා අසමෝදගම් කටුක රසයෙන් තිබෙන අතර උෂ්ණ ගුණය පවතී. වසර පුරාම මල් හටගන්නා බැවින් අලංකාරය පිණිස ද වැවිය හැකියි. අසමෝදගම් විශේෂයෙන්ම ආහාර රුචිය වැඩි කරන ශාකයකි. පිත වර්ධනය කරන බැවින් බඩේ කැක්කුමට සුදුසුය. අජීර්ණය, බඩ පුරවා දැමීම, පණු රෝග සඳහා අසමෝදගම් බෙහෙවින් ගුණදායක වෙයි. ගුල්ම රෝග (සාමාන්‍යයෙන් බඩ පෙරලීම නිසා ඇතිවන තත්ත්වය) හෝ අධික වේදනාවට අසමෝදගම් වටිනා ඔසුවකි.

වාත නාශක අසමෝදගම් පාචනය, හා ආමාශගත රෝග ආදියට ගුණදායක වෙයි. සෙම් රෝග සඳහා භාවිතා කරනු ලබයි. අසමෝදගම් මව්කිරි අඩු කිරීමට හේතුවන නිසා කිරිදෙන මව්වරුන්ට සුදුසු නැත. හෘදය උත්තේජනය කරයි.

දහඩිය ජනනය කිරීමේ ගුණය පවතී. සමට හිතකරයි. සමේ රෝග දුරු කරයි. ශරීරයේ දුගඳට ඇට ඇල් දියෙන් අඹරා ආලේප කිරීමෙන් සිරුරේ දුගඳ දුරු කරයි. ස්ථානික වේදනාවලට බාහිර වශයෙන් අසමෝදගම් ඇට චූර්ණය ඇල් දියෙන් අඹරා ආලේප කිරීම තුළින් සුව වේ.

අසමෝදගම් ඇට පොල් කිරෙන් අඹරා ගෑම වඩාත් සුදුසුයි. තරුණ වියේදී බොහෝ විට අබින් කා මත්වීමෙන් ඇතිවන විසට අසමෝදගම් චූර්ණය ලේහ කිරීම සුදුසුයි. මෙහිදී මත් ගතිය අඩුවී යථා තත්ත්වයට පත්වේ. අබින්වලට ඇබ්බැහි වූ අයට අසමෝදගම් ඇට චූර්ණය භාවිතා කිරීමෙන් එම ඇබ්බැහි වූ තත්ත්වයෙන් මඟහරවා ගැනීමට පුළුවන.

සෙම් ගෙඩිවලට අසමෝදගම් ඇට තම්බා උගුර සේදීමෙන් සහනයක් ලබාගත හැකියි.

සියලුම ස්වාස රෝග(හතිය, ඇදුම)වලට අසමෝදගම් ඇට පුලුස්සා දුම් ඇල්ලීමෙන් ස්වසනය පහසු වන අතර සෙම බුරුල් වී පිටවී යයි. පණු රෝග, අජීර්ණ,ග්‍රහනි රෝග, අතීසාර, වාත රෝග, අම්ල අජීරණ ආදියට ඔසුවක් වශයෙන් යොදනු ලැබේ.

අසමෝදගම් අධික ලෙස ආහාරයට ගැනීම සුදුසු නැත්තේ හිසරදය, වමනය, අතීසාරය, හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැකි බැවිනි. අසමෝදගම් ස්ප්‍රීතු කුඩා ළමුන්ගේ ආමාශයක වාත රෝග හා අජීර්ණ ආදියට සුදුසුම බෙහෙතකි.

පිත් සෙම් නසා හොඳින් ආහාර දිරවීමට ඉරිවේරිය

ලංකාවට ආවේනික ශාකයක් වන ඉරිවේරිය ශාකය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ බහුලව යොදා ගැනෙන සුගන්ධවත් ඖෂධයකි. මෙහි සාමාන්‍යයෙන් දණ්ඩ රත් පැහැ වේ. මධ්‍යම හා පහතරට ප්‍රදේශවල සරුවට වැඩේ. බහු වාර්ෂික පැලෑටියකි.

සෙවණ ප්‍රිය කරන මෙම ශාකය ඖෂධ ලෙස මෙම ශාකය සහමුලින්ම භාවිතාවට ගනී. තිත්ත හා ක්ෂාය රසයෙන් යුක්තය. ඉරිවේරිය ශීත ගුණයෙන් යුක්ත වේ. පිත් රෝග හා සෙම් රෝග නසයි. ආහාර දිරවීම ඉතා හොඳින් සිදුකරයි.

උණ රෝගයේදී ප්‍රධාන වශයෙන් භාවිතා කරයි. බඩගින්න අඩුකමට, අතීසාරයට, සන්නි රෝගවලට ද භාවිතා කරයි. රත්පිත් රෝගවලදී (සිරුරේ ඇතිවන දැවිල්ල, උෂ්ණ ගතිය, දාහය වැනි අවස්ථා) භාවිතා වේ. පිපාසය මර්ධනය කිරීමට ආහාර රුචිය වැඩීමට හා අර්ශස් රෝග සුව කිරීමට යොදාගනු ලැබේ.

රෝග සුවයට

වමනය - ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.

- ඉරිවේරිය ශාකය සහමුලින් ගෙන එහි යුෂ මී පැණි සමඟ බොන්න.

අතීසාරයට - ඉරිවේරිය යුෂ එය ගිනියම් යකඩ කැබැල්ලක් දමා එම ඉස්ම බොන්න දෙන්න.

- ඉරිවේරිය මුල් ක්ෂාය කර බොන්න.

- ඉරිවේරිය, ඉඟුරු, කලාඳුරු අල ක්ෂාය කර බොන්න.

ලේ සහිත අතීසාරයට - ඉරිවේරිය, කලාඳුරු අල, බෙලිගැට මද ක්ෂාය කර බොන්න.

බඩේ කැක්කුමට - ඉරිවේරිය දලු, අමු ඉඟුරු සමව ගෙන කොටාගත් යුෂට රත් කළ යකඩ කැබැල්ලක් දමා රත් වූ පසු බීමට ගන්න.

ශරීර දාහයට - ඉරිවේරිය මුල් හා පත්‍ර තැම්බූ වතුර පානයට දෙන්න.

අර්ශස් රෝගයට - ඉරිවේරිය හා රතු ලූණු සමානව ගෙන වණ්ඩුවේ තම්බා එම යුෂ පානය

ඉරිවේරිය යුෂ යොදා සාදාගන්නා ලද තෙල් වර්ග ශීර්ෂ රෝගවලට ගුණදායක වේ. ඇස් රෝගවලට ද සුදුසුයි. කෙස් වර්ධනය කරයි. ඇස් කැසීම දුරු කරයි.

අක්මාෙවි තෙල් අවම කර ගැනීමට හීන් බෝවිටියා

අපගේ රටට ආවේනික පැලෑටියකි. තෙත් කලාපයේ වැවේ. දේශීය වෙදකමේදී විශේෂයෙන් භාවිතා වේ. මෙය සෙවණ පි‍්‍රය කරන ශාකයකි. කඳු බෑවුම්වල, ඕවිටි දෙපස වැවෙන ශාකයකි. ශාකය සහමුලින්ම භාවිතා කරයි. පොතු, දලු, කොළ, මුල් මෙහි භාවිතා කරනමුත් මල් භාවිතා කරන්නේ නැත. බඩේ කැක්කුමට හීන් බෝවිටියා විශේෂිත ඖෂධයක් වේ. වමනයට අතීසාරයට, පණු රෝග, පාචනය සඳහා අතීතයේ පටන් ගැමියා භාවිතා කිරීමෙන් ඵල ප්‍රයෝජන ලබා ඇත.

අක්මාවේ තෙල් හා අක්මාව ඉදිමීම අඩු කරගැනීමට බෙහෙවින් උපකාර වන හීන් බෝවිටියා දියවැඩියාවට ද සුදුසුයි. මේ සඳහා හීන් බෝවිටියා දලු සම්බෝලය කදිම ආහාරයකි.

අජීර්ණයට - ලා දලු වලින් ලබාගත් ඉස්මවලට දෙහි යුෂ දමා බොන්න.

පිත් සමනයට යෝග්‍ය වේ. බඩගින්න ඇති කරයි. හීන් බෝවිටියා කොළ කැඳ ඉතාම ගුණදායක පානයකි. මෙම දලු සම්බෝලය වශයෙන් ආහාරයට ගත හැකියි.

හීන් බෝවිටියා දලු හා හීනැටි හාල් මිටක් යොදා සාදාගන්නා කැඳ පානය කිරීමෙන් අක්මා රෝග, අර්ශස්, සෙංගමාලය, කොලෙස්ටරෝල් අඩු කර ගත හැකියි.

කැපුම් තුවාල - දලු තලා බැඳීම සුදුසුයි. පිළිකා මර්දනය කරයි.

බෝවිටියා වර්ග බොහෝ ඇත. මින් වඩා ගුණය ලබාගත හැක්කේ හීන් බෝවිටියා වලිනි. පැරසිටමෝල් විස වී අක්මාවට සිදුවන හානිය වළක්වා ගත හැකියි.

මෙහි ගුණය ලබාගත හැක්කේ දලුවලින් පමණි. මෝරපු කොළ ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් සෑදිය හැකියි. එබැවින් මෝරපු බෝවිටියා කොළ ආහාරයට සුදුසු නැත.