නිතරම දත් හිරිවැටෙන්නේ ඇයි?

නිතරම දත් හිරිවැටෙන්නේ ඇයි?

සැලකිය යුතු පිරිසක් පීඩා විඳින දන්ත ගැටලු අතර බහුල දන්ත ගැටලුවක්වන දත් හිරිවැටීම එසේත් නැත්තම් දන්ත සංවේදීතාවට හොඳම හෝ එකම පිලියම ඒ සඳහා වූ දන්තාලේපයක් භාවිතා කිරීම බව බොහෝදෙනකු තුළ පවතින සාවද්‍ය මතයකි. නමුත් එය සම්පූර්ණ පිළිතුර නොවේ. දන්ත සංවේදීතාව නැතිනම් දත් හිරිවැටීමට හේතු ගණනාවක් අපට හඳුනාගත හැක. ඒවාට අදාළ ප්‍රතිකාර විධි ද එකිනෙකට වෙනස්ය. එබැවින් අප ඒවා වෙන්වෙන්ව හඳුනාගැනීම වැදගත්ය.

දත් හිරිවැටීමට බලපාන හේතු

දතක ප්‍රධාන කොටස් තුනකි. එනම්, එනැමලය, දන්තිනය හා කල්ක කුහරයයි. සාමාන්‍යයෙන් දතක් හිරිවැටීමකට ලක්වනුයේ දතේ දන්තිනය නම් වූ කොටස දක්වා හානිවූ විටය. දන්තිනය නම් වූ කොටස හා සම්බන්ධ ස්නායු අන්ත පිහිටා තිබේ. එම ස්නායු අන්ත උද්දීපනය වීමෙන් මෙසේ දත හිරිවැටීමට ලක්වේ. නමුත් යම් අවස්ථාවක දතේ කල්ක කුහරය තෙක්ම එම හානිය පැතිරුණහොත් වේදනාවක් ඇතිවේ. තවද දත් හිරිවැටීම ආකාර කිහිපයකින් සිදුවිය හැකිය.

ඒවා මෙසේය.

දත් හිරිවැටීමට දත් දිරායෑම ප්‍රධාන හේතුවක් වේ. එනම් දිරායෑම දන්තිනය දක්වාම පැතිරී ගියහොත් දත් හිරිවැටීමකට ලක්වේ. ඊට අමතරව දත් බුරුසුවේ ගොරෝසු බව හේතුවෙන් දත් මැදීමේදී දතේ එනැමලය ගෙවී යෑම නිසා දන්තිනය නිරාවරණය වීමෙන් ද දත් හිරිවැටීමක් සිදුවිය හැක. මෙය සිදුවනුයේ බොහෝවිට විදුරුමස ආශ්‍රිතවය. විදුරුමස ආශ්‍රිතව ඇති එනැමලයේ ඝනකම අඩු බැවින් තදින් දත් මැදීමේදී එනැමලය ගෙවීයාම සිදුවිය හැක.

එසේම උඩ සහ යට දත් එකට ගැටීමේදී හෝ රාත්‍රී නින්දේදී දත්මිටි කෑම හේතුවෙන්ද දත මතුපිට එනැමලය ගෙවීයෑමක් සිදුවේ. මේ හේතුවෙනන් දතේ එනැමලය ඉවත් වී දත්තිනය මතුවීම නිසාද මෙසේ සිදුවිය හැක.

දතේ එනැමලය දියවීමට ලක්වීමද (දන්ත ඛාදනය)ද දත් හිරිවැටීමට තවත් ප්‍රධාන හේතුවකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවනුයේ අප පානය කරන පැණිබීමය. ඒවායේ පවතින අම්ල ගතිය හේතුවෙන් දතේ එනැමලය දියවීමකට ලක්වේ. විශේෂයෙන් මෙය සිදුවනුයේ දතේ තල්ල ප්‍රදේශය ආශි‍්‍රතවය.

මෙවිට දන්තිනයට විවෘත වීම සිදුවීම නිසා දත හිරිවැටීමට ලක්වීම සිදුවේ.

ප්‍රතිකාර

දත කුහරයක් හෝ විශාල ලෙස ගෙවීයාමේ තත්ත්වයක් ඇත්නම් දත පිරවීම තුළින් දන්ත සංවේදීතාව මර්දනය කළ හැක. එසේම සුළු ගෙවීයාමකදී විශේෂයෙන් දත් බුරුසුවට ගෙවීයෑම නිසා සිදුවන හිරිවැටීම් සඳහා දන්ත සංවේදීතාව සඳහා වූ දන්තාලේප භාවිතා කළ හැක. නමුත් එවැනි දන්තාලේපයක් භාවිතා කළ යුත්තේ වෛද්‍ය නිර්දේශයක් මතය. දන්ත සංවේදීතාවට අදාල සියලු හේතූන්ට විසඳුම දන්ත සංවේදීතාව සඳහා වූ දන්තාලේප නොවන බවද අවබෝධ කරගැනීම වැදගත් වේ.

එනම් දන්ත සංවේදීතාවට හේතුව සොයාබලා නිසි ප්‍රතිකාර ලැබීම අවශ්‍ය වේ.

දන්ත සංවේදීතාව නොසලකා හැරීමෙන්

දත් ඇතුළත ඇති කල්ක කුහරය (එනම් ස්නායුව හා රුධිරය සහිත දතේ සජීවි කොටස) දක්වාම ගෙවී යෑම පැතිර ඇත්නම් දත ගැලවීමක් හෝ ස්නායු පිරවීමක් හෝ කිරීමට සිදුවේ. එබැවින් දන්ත සංවේදීතාව පවතී නම් ඉක්මණින් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු මුණගැසීම වැදගත් වේ.