බර අඩු සැහැල්ලු කණ්ණාඩි රාමු භාවිතා කරන්න

බර අඩු සැහැල්ලු කණ්ණාඩි රාමු භාවිතා කරන්න

අපගේ ශරීරයට ඇතිවන ඇතැම් රෝග තත්ත්ව කල්තබා හඳුනාගතහොත් ඊට පසුකාලීනව ඇතිවන බරපතළ තත්ත්ව වලින් මිදීමට අපට නොහැකි විය හැකියි. එසේ අවදානම් ඇතිවිය හැකි ඉන්ද්‍රියයන් අතර අපගේ ඇස් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එසේ යම් ලෙසකින් ඇස්වලට ඇති වී ඇති යම් ගැටලුවක් හඳුනාගත් අදාළ අවස්ථාවේදීම ඊට අවශ්‍ය පිළියම් යෙදීමට කටයුතු නොකළ හොත් ඇස්වල පෙනීම පවා නැතිවී යාමට එය හේතුවක් විය හැකියි.

විශේෂයෙන් උපතින් ඇතිවන ආබාධ නිසාත් ක්‍රම ක්‍රමයෙන් පුද්ගලයකු වයසට යන විටත් ඇති වන දුර්වලතා නිසා යොදන පිළියම් අතර ඇස් කණ්ණාඩි ඉතා සාර්ථක පිළියමක් වශයෙන් යොදාගනු ලැබේ. නමුත් ඒවා භාවිතා කිරීමේදී ඒවා තමාගේ දුර්වලතාවට ගැළපෙනවාද නැද්ද යන කාරණය පිළිබඳ දෙවරක් සිතා බැලීම ඉතා වැදගත්.. ඒ වගේම ඇතැම් අවස්ථාවල ඔබ තෝරා ගන්නා උපැස් යුවළේ කාචය ඔබගේ අක්ෂි දුර්වලතාවට ගැළපුනත් එහි රාමුව එතරම් මුහුණට නොගැළපෙනවා විය හැකියි.

එසේ වුවත් කණ්ණාඩියක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණු කාරණා පිළිබඳවද යන්න බොහෝ අයට පැහැදිලි අවබෝධයක් නොමැති විය හැකියි. නමුත් ඔබ නොදන්නවා වූවට ඒ පිළිබඳ දැනුවත්වීම හරහා ඇසට තව තවත් හිතකර උපැස් යුවළක් මිලදී ගැනීමට ඔබට අවස්ථාව උදා කරගත හැකියි.

ඇස් කණ්ණාඩියක රාමු පිළිබඳ කථාබහ කිරීමේදී ඒවා නිපදවන අමුද්‍රව්‍ය පිළිබඳ මූලිකවම සැලකිලිමත් විය යුතුයි. එම අමුද්‍රවය අතුරින් වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ලෝහ වර්ගය. එසේ වූවත් එම ලෝහ අතුරින්ද නිකල් ලෝහය රහිත ලෝහ වර්ග ඇස් කණ්ණාඩි රාමුව නිපැයීම සඳහා භාවිතා කරනු ලැබේ. එසේ නිපදවන රාමු වල බාහිරින්ද ආලේපන ගල්වන අතර එම ආලේපන නිසාද ඊට එක් කරන්නේ වඩාත් ආරක්ෂිත බවකි.

මීට අමතරව ඇස් කණ්ණාඩි රාමුවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කාරණා රැසක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම ගුණාංග අතර භාවිතා කරන තැනැත්තාගේ සුවපහසු බව, බර අඩු එනම් සැහැල්ලු බව මෙන්ම අසාත්මිකතා ඇති නොකිරීමද විශේෂිත වේ. තවද ඇතැම් අය නොදන්නවා වුවත් ඇස්කණ්ණාඩි රාමුව ඔබේ සමට අසාත්මිකතා ඇති කරනවාද නැද්ද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. යම් ලෙසකින් එසේ අසාත්මිකතා ඇති කරනවා නම් නොපමාව අසාත්මිකතා ඇති නොකරන රාමුවක් වෙත මාරු කළ යුතුයි.

තවද ඇස් කණ්ණාඩියක රාමුව පිළිබඳ තොරතුරු විමසා බැලීමේදී එහි ඉතිහාසයට අනුව ඉතා අපූර්වතම තොරතුරු ගවේෂණය කළ හැකියි. ඒ තොරතුරුවලට අනුව අතීතයේදී උපැස් යුවළවල රාමුව නිපදවීමට රත්තරන් ලෝහය යොදාගෙන තිබෙන බව ඉතා ප්‍රකාට කරුණක්. නමුත් එය ඉතා වැඩි බරකින් යුතු වූ නිසා පසු කාලීනව ඇස් කණ්ණාඩි රාමු නිපදවීමට භාවිතා නොවුණු බවද සඳහන්. ඒ වගේම ටයිටේනියම් ලෝහයද මේ සඳහා යොදා ගත්තද ඒවා කැඩී බිඳීයාමට තිබෙන ඉඩකඩ නිසා එම ලෝහයද ඇස් කණ්ණාඩි රාමු නිපදවීමට යොදාගනු නොලැබීය.

කෙසේවෙතත් පෙර සඳහන් කළ පරිදි නිකල් ලෝහය භාවිතා කිරීමෙන් තොරව ඇස් කණ්ණාඩි රාමු නිපදවෙන නමුත් ඒවා තරමක් ඉහළ මිලකින් යුක්තය. තවද ඇස් කණ්ණාඩි රාමු නිපදවීම සඳහා යොදාගන්නා ඉතා හොඳ අමුද්‍රව්‍යයක් වශයෙන් ප්ලාස්ටික් පිළිබඳ හඳුන්වා දිය හැකියි. එමෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය (ශාඛමය කෙඳි) යොදා ඇස් කණ්ණාඩි රාමු නිපදවෙන අතර මේවා මඟින් අසාත්මිකතා ඇති නොකරන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.