දියවැඩියාව නිසා ඇතිවන අතපය හිරිවැටීම්වලට සුවයක්

දියවැඩියාව නිසා ඇතිවන අතපය හිරිවැටීම්වලට සුවයක්

අප අතර දැකගත හැකි බොහෝ ලෙඩ රෝග සඳහා ඇතැම් අය විවිධාකාර අනුවර්ත නාමයන් භාවිතා කරනු ලැබේ. එසේ භාවිතා වන ඉතා ජනපි‍්‍රය නමක් ලෙස “නිහඬ මාරයා” එසේත් නැත්නම් දියවැඩියාව පිළිබඳ හඳුනාගත හැකිය. දියවැඩියාවට එවැනි නමක් පටබැඳීමට හේතුවී ඇත්තේ එම රෝගී තත්ත්වය නිහඬවම මිනිසාගේ ශරීරයට සිදුකරනු ලබන හානිදායක බව නිසාවෙනි.

එසේ කාලයක් පුරා පාලනයකින් තොරව පවතින රුධිරගත සීනි මට්ටමේ ඉහළයාම විවිධාකාර සංකූලතා ඇතිකර අවසානයේ මරණයෙන් පවා ජීවිතය කෙළවර කළ හැකි තත්ත්වයකි. එබැවින් මේ හා සම්බන්ධ සංකූලතා හඳුනාගැනීම හා හැකි ඉක්මණින් ප්‍රතිකාර යෙදීම ඉතා වැදගත්. මෙවර ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ ගෙනෙන ලිපිය යටතේදී විමසා බැලෙන්නේ දියවැඩියාව සමඟ මතුවන එවන් සංකූලතාවක් වන අත් පා හිරිවැටීම පිළිබඳවයි.

දියවැඩියා රෝගියකු මුහුණ දෙන අතපය හිරිවැටීම

දියවැඩියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින පුද්ගලයකුට බහුලවම මතුවන අපහසුතාවක් ලෙස අතපය හිරිවැටීම පිළිබඳව හඳුන්වාදිය හැකියි. මෙවන් රෝගීන් බොහෝදෙනෙක් පවසන ආකාරයට ඔවුන් දෙපා බිම තබා ඇවිදින විට ඔවුන්ගේ යටිපතුල් වලට එය දැනෙන්නේ කොට්ටයක් මත ඇවිදිනවා හා සමාන වන ආකාරයටය. ඒ වගේම ඔවුන් බොහෝ වේලාවට පාවහන් පැළඳ සිටියත් තමා පාවහන් පැළඳ සිටින බව පවා ඔවුන්ට නොදැනේ.

මෙම අපහසුතාවට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිත වේදනාව මෙන්ම ඇඟිලි දිගහැරීමට නැවීමට නොහැකි අයුරින් කුඩා සන්ධි වලද වේදනාවන් මෙම රෝගීන් තුළ දැකගත හැකියි.

දියවැඩියාවට අමතරව සන්ධි වේදනා ආතරයිටීස් නිසාත් මතුවීමේ ඉඩකඩක්

දියවැඩියාව රෝගියකුට ආතරයිටීස් රෝගය ඇතිවීම නිසා සන්ධි ආශි‍්‍රතව ඇතිවන වේදනාව දෙගුණ තෙගුණ විය හැකිය. ඇතැම් රෝගීන් පවසන ආකාරයට එය ඉවසා ගැනීමට නොහැකි මට්ටමේ වේදනාවක්ද විය හැකියි. මෙසේ ඇතිවන වේදනාවන් කෙතරම් කාලයක් පවතිනවාද යන කරුණ රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.

ඒ අනුව ඇතැම් රෝගීන්ට මේ වේදනාව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහර අයට දිවා කාලයේද තවත් පිරිසකට රාත්‍රී හෝ සවස් කාලයේද ඇතිවන බව පවසනු ලැබේ. ඒ බැවින් දියවැඩියාව මෙන්ම ආතරයිටීස් තත්ත්ව වලින් පෙළෙන රෝගීන්ගේ එදිනෙදා ක්‍රියාකාරීත්වය පිළිබඳ හා රෝග තත්ත්වය පිළිබඳ නිසි පරීක්ෂාකාර බැලීමකින් තොරව ප්‍රතිකාර නියම කිරීම ඉතා අපහසුයි.

ඇතැම් රෝගීන් මෙවැනි රෝගී තත්ත්ව වලදී වේදනා සහිත සන්ධිවලට පිටතින් පමණක් සිදුකරන තෙල් පත්තු දැමීම් හරහා සුවයක් ලබාගැනීමට බලාපොරොත්තු වූවත් එමඟින් පමණක් රෝගය සුවපත් කරගැනීම අපහසු වේ. ඊට හේතුව දියවැඩියාව නිසා සන්ධි ආශි‍්‍රත කාටිලේජ දුර්වල වී තිබීමත් ශරීර අභ්‍යන්තරයෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබා දියු යුතු නිසාවෙනි.

යම් ලෙසකින් දියවැඩියාව නිසා අත් පා වල හිරිගතියක් ඇති වනවානම් ඊට හේතුව අදාල රෝගියාගේ ස්නායු ක්‍රියාකාරීත්වයේ ඇතිවන දුර්වලතාවකි. ස්නායු ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණය දියවැඩියාව රෝගය නිසා ශරීරයට නොලැබී යන අතර ඒ සඳහාද ප්‍රතිකාර කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි.

දියවැඩියාව නිසා අතපය හිරි වැටීම් ඇතිවන රෝගීන්ගේ දැකගත හැකි වෙනත් රෝග ලක්ෂණ

බොහෝ දුරට මෙවැනි රෝගීන් අතර දැකගත හැකි රෝගී තත්ත්වයන් ලෙස මල බද්ධය පිළිබඳ හඳුන්වා දිය හැකියි. ඒවගේම මල බුරුලට යාමක්ද ඇතිවිය හැකියි. මෙසේ මල බද්ධය ඇති අයට සම මත ඇතිවන කැසීම්, පළු දැමීම් වැනි සමේ රෝග මෙන්ම හිස කැක්කුම්ද ඇතිවිය හැකියි.

ඒ වගේම මල බුරුලට පිටවන තත්ත්වයන් තිබෙන රෝගීන්ට නිතර ශාරීරික පීඩාවන් මතුවිය හැකියි. නින්ද නොයාම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීම, කේන්තියාම, පීනස් රෝග උග්‍රවීම, මුඛයේ තුවාල හටගැනීම, ඇස් වලින් කඳුළු ගැලීම හා ඇස් වියළීම වැනි අපහසුතාද මෙවැනි රෝගීන් තුළ බහුලවම දැකගත හැකියි.

ආයුර්වේද ප්‍රතිකාර හරහා මෙවැනි රෝගීන්ට ස්ථිර සුවයක්

මෙවන් රෝගියකු නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්නා අතර ආහාර පාන ගැනීම සහ තමාගේ එදිනෙදා ජීවන රටාව ගතකළ යුතු ආකාරය සැම විට වෛද්‍යවරයාගේ උපදෙස් මත සිදුකරනවා නම් රෝගය නිට්ටාවටම සුවකළ හැකියි.

නමුත් බොහෝ දෙනාගේ කාර්ය බහුලත්වයත් සමඟ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී වෛද්‍යවරයා විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරු සකසා ගැනීමේ ගැටලුවක් මතුවිය හැකියි. නමුත් දේශීය පාරම්පරික වට්ටොරු අනුව පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස නිපද වූ නවතම දේශීය ඖෂධ වර්ග නිසා ඒ ගැන බියක් ඇතිකර නොගෙන රෝගයට ප්‍රතිකාර ලබා ගත හැකි බව විශේෂයෙන් පැවසිය යුතුය.