ඇඟේ පලු මතුවෙලා ඇස් රතුවෙලා ඇයි මේ...

ඇඟේ පලු මතුවෙලා ඇස් රතුවෙලා ඇයි මේ...

Allergy

ඇලර්ජි (Allergy) හෙවත් අසාත්මිකතාවය යනු සාමාන්‍යයෙන් මිනිස් සිරුරට අහිතකර නොවන ද්‍රව්‍යයකට සමහර අය දක්වන සංවේදී භාවයයි. හිටි හැටියේ ඇඟේ පලු හෙවත් කරප්පං මතුවීම, ඇස් රතුවීම, කිඹුහුං යාම සහ සොටු දියර ගැලීම, ඇදුම, සමෙහි ඇතිවන දියර ගලන, දද අසාත්මිකතාවය නිසා හට ගන්නා සමහර රෝග ලක්ෂණයන්ය. ශරීරයේ ඕනෑම කොටසක ඇති විය හැකි අසාත්මිකතාවයන් ස්වාභාවික හා කෘත්‍රිම වූ බොහෝ ද්‍රව්‍යයන් මඟින් ඇති විය හැක..

අසාත්මිකතාවයක් නිසා කෙනෙක් මිය යා හැකිද?

ඇතැම් විට කලාතුරකින්. යමෙක් යම් ද්‍රව්‍යයකට ඉතාමත් සංවේදී නම් ඒ නිසා හටගන්නා අසාත්මිකතාවයට ශරීරය දක්වන ප්‍රතික්‍රියාව ඉතා දරුණු එකක් විය හැකිය. එමඟින් ශරීරය කම්පනයට පත්කළ හැකිය. පෙනිසිලින් ඉන්ජෙක්ෂන් විසවීමෙන් රෝගීන් මිය ගොස් ඇත්තේ එවැනි භයානක අසාත්මික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඕනෑම අයකු තුළ ඕනෑම වේලාවක ඕනෑම ද්‍රව්‍යයකට අසාත්මිකතාවයක් ඇතිවිය හැක.

අසාත්මිකතාවයන් බහුලව ඇති කරන ද්‍රව්‍ය

අසාත්මිකතාවයන් ඇති කරනු ලබන ද්‍රව්‍යයන් හඳුන්වන්නේ “Allergy“ හෙවත් අසාත්මික ජනක ලෙසයි. මල්හට ගන්නා කාලවලදී සමහර අයගේ නාසය බරවීම, පීනස් අමාරු හටගැනීම සිදුවේ. එයට හේතුවන අසාත්මික ජනකය වනුයේ මල් රේණු විශේෂයකි. තවත් අයට සමහර ආහාර වර්ග විසය. අන්නාසි, අච්චාරු වර්ග, තක්කාලි, බිත්තර, මස් මාළු, හතු වර්ග, ඉස්සන් වැනි ආහාර අනුභවයෙන් පසු ඇඟේ පලු මතුවෙන එහෙමත් නැත්තම් වමනය සහ පාචනය ඇති වන අවස්ථා ගැන ඔබ අසා ඇති. සමහර අය මදුරු සහ කෘමි දෂ්ඨනයට අසාත්මිකතාවයක් දක්වයි. මදුරුවන් දෂ්ට කලවිට ඇඟ රතුපැහැ වී පලු මතුවීමද ඇතැමෙකුට සිදුවේ. දූවිලි සමහර සත්ව අශුචි (කැරපොතු, මී බෙටි ආදී) සමඟ අප ශරීරයට ඇතුළු වී අසාත්මිකතාවයන් ඇතිකළ හැක. සමහර රසායනික ද්‍රව්‍ය සහහ ලෝහ වර්ග නිසාද ඇතැම් විට අතේ බැද සිටින නිකල් ඔරලෝසු පටිය බැඳි තැන, මිශ්‍ර ලෝහයෙන් තැනූ කරාඹු පැළදීම නිසා කන වණවූ අය බොහෝවිට වෛද්‍යවරු හමුවීමට පැමිණෙන්නේද ඔවුන් ඒ ද්‍රව්‍යයන්ට දක්වන අසාත්මිකතාවය නිසාය.

නිවසේ බහුලවම දක්නට ලැබෙන අසාත්මික ජනකය නම් දූවිලි අංශූන්ය. ඇඳ ඇතිරිලි මත, බුමුතුරුණු මත හා දොර ජනෙල් රෙදි මත රැඳෙන නොයෙක් දූවිල් අංශුවලින් සමහරුන්ට කිඹුහුම් යෑම ඇති කරයි. තවත් සමහරු අධික ශීතලට සහ අධික රස්නය සහිත ජලයටද අසාත්මිකතාවය දක්වයි.

අන්නාසිවලට පලු මතුවිම

අන්නාසි කෑමෙන් විනාඩි ගාණකට පසු අත් පා, කැසීම පලු මතුවී ඉදිමිම සිදුවේ. සමහර අයට ටික කලක් ගියාට පසු අසාත්මිකතාවය පහවි යයි.ඇතැමුන්ට එසේ නොවන්නේ ඒ තැනැත්තාගේ ශරීරයේ (රුධිරයේ) ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිය ආරක්ෂක ක්‍රියාවලිය අසාත්මික ජනකයන්ට සංවේදී වී ඇති ආකාරය අනුවයි..

ඇතැමන්ට පෙනිසිලින් විස වි මිය යාම දක්වා තත්ත්වය දරුණු වේ. නමුත් වර්තමානයේ පෙනිසිලින් වෙනුවට නවතම ප්‍රතිජීවක ඖෂධ වර්ග බෙහෙවින් තිබෙන බැවින් ඒවා අසාත්මිකතාවයක් දක්වන්නේ නැත.. පෙනිසිලින් ඇලජික් බව වෛද්‍යවරයාට දැන්වූ විට පෙනිසිලින් කාණ්ඩයට අයත් නොවන වෙනත් ප්‍රතිජීවක ඖෂධයක් නියම කෙරෙනු ඇත.

ඇතැම් බළලුන් සමඟ සෙල්ලම් කළ පසු ඇඟ රත්පැහැ ගැන්වි පලු මතුවිමද සිදුවේ. දරුවා වයසෙන් වැඩෙත්ම බළලුන්ට දක්වන අසාත්මිකතාවය ක්‍රමයෙන් පහවී ගියත් ඇඳුම,පීනස වැනි අසාත්මිකතාවයන් පසුවට වර්ධනය විමට ඉඩ ඇත්තේ මූලික වශයෙන් ඔහුගේ ශරීරය අසාත්මිකතාවයනට බර බැවිණි.

අසාත්මිකතා ලක්ෂණ

අසාත්මික ජනකයන්ට විවෘත වූ ශරීරයේ කොටස්වල රෝග ලක්ෂණ මතුවිය හැකියි. වාතය හරහා පැමිණෙන අසාත්මික ජනකයන් ඇස්වල, නාසයේ හා පෙනහලුවලට රෝග ලක්ෂණ ඇති කරයි. ආහාර සමඟ ඇතුලුවන අසාත්මිකජනක මඟින් තොල් ඉදිමීම, වමනය, ඔක්කාරය හා පාචනය ඇති කළ හැකියි. කෘතිම රෙදිවලින් නිමකළ යට ඇඳුම් මඟින්, සමහර ආහාර හා ඖෂධ මඟින් ලිංගික ප්‍රදේශයේ කැසීම හෝ වණවීම ඇති විය හැකියි.

කෙසේ වෙතත් අසාත්මික කාරකය රුධිර ගතවූවොත් ශරීරයේ ඕනෑම තැනක පලු දැමීම , කැසීම වැනි වරෝග ලක්ෂණ මතුවිය හැකියි.

සමහර විට අසාත්මික ආහාරයක් අනුභවකොට ශරීරයේ පලු මතුවීමට පැය කිහිපයක් හෝ දින කිහිපයක් ගත විය හැකියි. එහෙත් පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එකකට දක්වන අසාත්මිකතාවය තත්පර ගණනක් ඇතුළත මාරාන්තික ලෙස ඇති විය හැකියි. “Anaphylaxis“ නමින් හඳුන්වන මෙම තත්ත්වය නිසා ශ්වසන මාර්ගය ඉදිමී හුස්ම ගැනීම අපහසු කරවයි. රුධිර පීඩනය අඩු වී රෝගියා කම්පනයට පත්කරවයි. මේ තත්ත්ව දෙක නිසා රෝගියාට ඉක්මණින් ප්‍රතිකාර නොකළොත් විනාඩි කිහිපයක් තුළ මිය යාමටද පුළුවනි.

අසාත්මිකතාව නිසා හටගත හැකි රෝග ලක්ෂණ

අසාත්මිකතාවය නිසා හට ගත හැකි රෝග ලක්ෂණ රාශියකි. හිසරදය, මානසික රෝග ලක්ෂණ, හැසිරීමේ වෙනස්කම් පමණක් නොව වලිප්පුව පවා සමහර අසාත්මිකතාවයන් නිසා හට ගත හැක..යමෙකුට අසාත්මිකතාවය ඇති වන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තිය ඇති කිරීමේ ක්‍රියාවලියේ සිදුවන යම් අඩු පාඩු නිසා බව නම් පැහැදිලිය. අපට අහිතකර නොවන සමහර අංශූන් ශරීරයේ ප්‍රතිශක්ති නැත්තම් ආරක්ෂක රුධිර සෛල මඟින් විෂබීජ ලෙස වරදවා තේරුම් ගැනීමයි මෙහිදී සිදුවේ. ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වීමේදී අසාත්මික ප්‍රතිකි‍්‍රයාවක් හටගැනේ.

අසාත්මිකතාවය හඳුනාගන්නේ කොහොමද...?

සමහර විශේෂිත ආහාර වර්ග වලට (අන්නාසි,අච්චාරු,මස් වැනි) හෝ ඖෂධ වර්ගවලට හෝ කෘමි දෂ්ටනයට අසාත්මිකතාවය ඇතිවීම සිදුවේ.. එහෙත් දූවිලි, රසායනික ද්‍රව්‍ය හෝ සමහර ආහාර වර්ග නිසා හිමින් සීරුවේ දින ගණන් කල්ගත වී ඇති වන අසාත්මිකතාවයන් ඇති කරන අසාත්මික ජනකය හඳුනාගැනීම ඉතාමත් අපහසුවේ.