පලතුරු වලට කෘෂි රසායන ද්‍රව්‍ය යොදන නිසා සෝදා ආහාරයට ගන්න

පලතුරු වලට කෘෂි රසායන ද්‍රව්‍ය යොදන නිසා සෝදා ආහාරයට ගන්න

මෙවර ආරෝග්‍යා තුළින් ඔබ දැනුවත් කරන්නේ වැසි කාලයේදී එළවළු, පලතුරු ආහාරයට ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු පිළිබඳවයි. වැසි කාලයේදී එළවළු මිලදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. එයට හේතුවන්නේ වැසි කාලයේදී පස සෝදා ගෙන ගොස් අපද්‍රව්‍ය ,අසූචි මිශ්‍ර වූ ජලය බෝගවලට ගලාගෙන එන බැවින් පොළවේ හට ගන්නා ලීක්ස්, කැරට්, ගෝවා, අර්තාපල් වර්ගවලට විෂබීජ මෙම බෝගවල අන්තර්ගතවී තිබීමට පුළුවන. එබැවින් මෙවැනි බෝග ආහාරවලට ගැනීමේදී ඉතාමත් හොඳින් සෝදා පිරිසුදු කළ යුතුය. විශේෂයෙන් ගලා යන ජලයෙන් පිරිසුදු කිරිම අතිශයින් වැදගත්. වඩාත් උචිත වන්නේ මෙවැනි බෝග වර්ෂා කාලයේදී පරිභෝජනය කිරිම අවම කිරීමයි.

වර්ෂා සමයේදී එළවළු මිලදී ගන්නා විට තක්කාලි, බෝංචි, කරවිල, මාළු මිරිස්, ගෝවා, ලීක්ස්, වම්බටු, අර්තාපල් , පතෝල වැනි පළිබෝධනාශක වැඩිපුර භාවිතා කරමින් වගා කරන එළවළු පරිභෝජනය අවම කිරීම යෝග්‍යයි. විශේෂයෙන් මෙම කාලසීමාව තුළදී වැඩිපුර පරිභෝජනය කළ යුත්තේ සුළු බෝග වශයෙන් වවන එළවළු වර්ගය. මෙම එළවළු වර්ග බහුලව දක්නට ලැබෙන්නේ මහා පරිමාණ එළවළු විකුණන තොග වෙළෙන්දන් ළඟ නොව පොළවල්වල හෝ කුඩා කඩපිල්වල, ගමේ ආච්චිලා, අම්මලා ළඟය.ගමේ වගා කරන සුළු පරිමාණයේ බෝග සඳහා ඔවුන් භාවිතා කරන්නේ ගොම පෝර, කුකුල් පෝර, මුළුතැන්ගේ අපද්‍රව්‍යයයි. රසායනික පොහොර මිලදී ගැනීමට ඔවුන් ළඟ මුදල් නොමැති හෙයින් කොම්පෝස්ට් පොහොර යොදා වගා කරන මෙම බෝග පරිභෝජනයට වඩාත් සුදුසු වේ.

විටමින් මෙන්ම පෝෂණ ගුණයෙන් සපිරි පළා වර්ග විශේෂයෙන් මුගුණුවැන්න, කංකුං, ගොටුකොළ ආදිය මහා පරිමාණයෙන් වගා කරන ගොවීන් මේවාට පළිබෝධනාශක ඉසින බවට වාර්තා වී ඇත. දින කීපයක් මලානික නොවී පවත්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවද සොයාගෙන තිබේ. එබැවින් වැසි සමයේ පළා වර්ග ආහාරයට ගැනීමේදී ඉතා පරිස්සම් විය යුතුය. අපද්‍රව්‍ය සමඟ එකතු වන ජලයෙන් මෙම පළා කොටු යටවන බැවින් අපිරිසුදු ජලයත් සමඟ මේවා ආහාරයට ගැනීමට සිදුවේ. විශේෂයෙන් අමුවෙන් ආහාරයට ගන්නා ඇතැම් පළා ගලා යන ජලයේ හොඳින් සෝදා ලුණු වතුර ස්වල්පයක් දමා සෝදා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යය. කලවම් පළා, නීරමුල්ලිය, තෙබු, කූරිඥ්ඥා, පැණි තෝර, අගුණ කොළ වැනි පළා වර්ග අනුභවය වඩාත් සුදුසු වේ. පෝෂණ ගුණය ලබා ගැනීමේ අරමුණින් පළාවර්ග අනභව කළද රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී තිබෙන පළා වර්ග අනුභවයෙන් ඔබේ සිරුරට කෘෂි රසායනිකයේ ඇති බැර ලෝහ අවශෝෂණය වී අපි රෝගීන් බවට පත්වන බැවින් තත්ත්වය එතරම් සුබදායක නොවේ.මහා පරිමාණ ගොවීන් වගාවේ සශ්‍රීකත්වයට පළිබෝධනාශක භාවිතා කරති. අප වෙළඳපොලෙන් මිලදී ගන්නා එළවළු මෙලෙස කෘෂිරසායනික ද්‍රව්‍ය යොදා වගාකරන ලද්දක් බව ඇතැමුන් නොසිතති. එළවළු පලතුරු අනුභවයේදී පහත සඳහන් ආකාරයට පරිභෝජනය කිරීම වඩාත් වැදගත් වේ.

සියලුම එළවළු වර්ග පිසීමට පෙර හොඳින් සෝදා ගන්න. එකවර නොව දෙතුන් වරක් සෝදා ගන්න. එවිට ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හෝ ඉවත් වී යා හැක. පලතුරු වර්ග ආහාරයට ගන්නේ නම් එය ඉතා හොඳින් සේදිය යුතුයි. හේතුව වන්නේ පලතුරු අමුවෙන් ආහාරයට ගන්නා බැවිණි. උදාහරණ වශයෙන් අඹ ඉදවීමට කාබයිට් මිශ්‍ර ජලය ඉසීම ඇතැම් වෙළඳුන් විසින් සිදු කරනු ලැබේ. තැනින් තැන කහපාට වූ අඹ ආහාරයට ගැනීමෙන් වැළකිය යුත්තේ ඒවාට කාබයිට් මිශ්‍ර ජලය ඉසින බැවිණි. සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් ගසේදී ඉදෙන්නේ ඉහළ සිට පහළටය. එසේ නොවන ආකාරයට අඹ ගෙඩියක් ඉදුණහොත් එවැනි අඹ ආහාරයට ගැනීමෙන් වළකින්න. එපමණක් නොව ඇතැම් පලතුරු (ඇපල්, මිදි) එහි නැවුම් බව ආරක්ෂා කිරීමට ඇතැම් රසායනික ද්‍රව්‍ය ඉසින අතර ඒවා ඉතා හොඳින් සෝදා ආහාරයට ගත යුතුයි. දෙල්, කොස්, පොළොස් වැනි ආහාර බොහෝ විට රසායනික ද්‍රව්‍ය නොඉසින බැවින් එවැනි ආහාර වර්ග වඩාත් යෝග්‍යය වේ.

නමුත් අවාසනාවකට අපට ආහාරයට ගැනීමට සිදුවන්නේ රසායනික පොහොර යෙදූ ආහාර බැවින් අප ඒවා හොඳින් සෝදා පවිත්‍ර කර ආහාරයට ගත යුතුයි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යංශයේ දේශනයක් ඇසුරෙනි