නිතරම ඇඟ කසනවා හේතුව?

නිතරම ඇඟ කසනවා හේතුව?

රෝගියෙක් සායනයට පැමිණ කිව්වේ මලපහ පිටකරන ප්‍රදේශය හා පිටිපස්ස පැත්තේ තද කැසීමක් තියෙනවා කියලා. "ඩොක්ටර්... මම එතන විෂබීජ අයින් වෙන්න හොඳින් උණු වතුරෙන් හෝදලා,විෂබීජ නාශකයෙනුත් පිරිසුදු කළා. ඒත් තවම අඩුවක් නැහැ. ඒ වෙනුවට කැසීම වැඩිවෙලා."මේ ඔහුගේ ගැටලුවයි. කැසීම හා විෂබීජ අතර සම්බන්ධතාවය මොකක්ද කියලා අද අපි කතා කරමු.

අපගේ ශරීරයේ මදුරුවකු, කුහුඹුවකු දෂ්ට කළවිට සමහර ගස් වර්ග (කහඹිලියා ආදී) ගෑවුණු විට, දළඹුවන් වැනි සතුන් ස්පර්ශ වූ විට, අන්නාසි, ඉස්සෝ වැනි සමහර ආහාර වර්ගත් සමහර ඖෂධ වර්ගත් අසාත්මික හෝ Allergic වූ විට “කැසීම” කියන රෝග ලක්ෂණ අපි කවුරුත් අත්දැක තියෙනවා.

මේ “කැසීම” ඇතිවන ආකාරය ගැන කිසියම් වටහා ගැනීමක් සිදුකර ගමු. අපගේ ශරීරයේ ආරක්ෂාව සඳහා “ප්‍රතිශක්තිකරණ පද්ධතිය” නම් වූ විශේෂ ක්‍රම වේදයක් පවතිනවා. මෙහිදී ශරීරයට කිසියම් විෂබීජයක් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුල් වූ විට හෝ සමහරවිට සම මතට ස්පර්ශ වූ විට, එය ශරීරයට අදාළ නොවන දෙයක් ලෙස සලකා, එහෙම නැතිනම් අපගේ ‘සතුරකු’ ලෙස සලකා එය ඉවත් කිරීමට කිසියම් ‘සටනක්’ සිදුවෙනවා.

මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ‘ප්‍රතිදේහ’ නැමැති ‘ආයුධ’යි. (Antibody) මෙහිදී මේ ප්‍රතිදේහ නැමැති ආයුධ සටන් කරන විෂබීජ හෝ ආගන්තුක ද්‍රව්‍ය විද්‍යාත්මක ප්‍රතිදේහ ජනක Antigen   ලෙස හඳුන්වනු ලබනවා. ඉතිං, මේ දෙක අතර සටන ‘ප්‍රදාහය’ Inflammation ලෙස හඳුන්වනු ලබනවා.

මේ ප්‍රදාහය නම් වූ තත්වය යටතේ ප්‍රතිඵල ලෙස නොයෙකුත් රසායනික ද්‍රව්‍ය සෑදෙනවා. මේවා මඟින් එම ස්ථානයේ කැසීම, ඉදිමීම, වේදනාව, රතු පාට වීම, එම ස්ථානය රත් වීම, එම ස්ථානය රුධිර ගමනය වැඩිවීම ආදී කාරණා කිහිපයක් සිද්ධ වෙනවා.

දැන් ඔබට පැහැදිලි ඇති “කැසීම” කියන්නේ කිසියම් ලක්ෂණයක් පමණක් බවත් එය “ප්‍රදාහය” නැමැති ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස සිද්ධවෙන බවත්. අනික් අතට “විෂබීජ” කියන්නේ මොනවාද කියලා බලමු. අපි “විෂබීජ” ලෙස සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ අපට ලෙඩරෝග සාදන ජීවීන්ටයි. මේවා සාමාන්‍යයෙන් වර්ග කිහිපයකින් දක්නට ලැබෙනවා. වෛරස්, බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා හා කුඩා කෘමීන් ලෙස ඒවා හඳුනා ගත හැකි වෙනවා.

නමුත්, එදිනෙදා භාවිතයේදී අපි “විෂබීජ” ලෙස බොහෝවිට බියවන්නේ “බැක්ටීරියා” නම් වූ කාණ්ඩයටයි. මේවායේ ඉක්මන් ක්‍රියාකාරීත්වයත් ශරීරය දැඩිලෙස ආසාදනයට ලක් කිරීමත් නිසා මේවා අපිට රෝග ලෙස දැඩි බලපෑමක් එල්ල කරනවා කිව්වොත් නිවැරදියි. ඒ වාගේ වෛරස් වර්ගත් ඉතා භයානක රෝග ඇති කළ හැකි පිරිසක් බව සිහි තබා ගත යුතු වෙනවා.

අද අපි කතා කරන සම මතුපිට, ශරිරයේ සමහර ස්ථාන විශේෂයෙන් ලිංගාශි‍්‍රත හෝ ගුද මාර්ගය කිහිලි, ඉකිලි වැනි රහස් ප්‍රදේශවල ඇතිවන “කැසීම” හා “බැක්ටීරියා” වැනි දරුණු ආසාදන අතර කෙලින් සම්බන්ධයක් නැහැ.

සාමාන්‍යයෙන් “බැක්ටීරියා” සමඟ ප්‍රතිශක්තිකරණ සටනේදී ඇතිවන ප්‍රදාහ තත්ත්වයේදී “කැසීමක්” දකින්නට ලැබන්නේ නැහැ. නමුත් දිලීර, කුඩා කෘමි සතුන් වැනි ගැටලු වලදීත්, සමට අහිතකර හෝ අසාත්මික විය හැකි ආලේපන,ඖෂධ ක්‍රීම් වර්ග, වෛද්‍ය උපදේශයක් නැතිව මිලදි ගත හැකි වානිජ මට්ටමේ විෂබීජ නාශක වර්ග ආදිය සම මත තැවරීම නිසාත් ඇතිවන ක්‍රියාවලියේදී “කැසීමක්” ඇතිවිය හැකි වෙනවා.

නමුත්, භයානක තත්ත්වය වන්නේ ඒ ස්ථානවල කැසීමක් ඇතිවුණ විට, බැක්ටීරියා වැනි විෂබීජ ගැන කලබල වී වානිජ මට්ටමේ විෂබීජ නාශක මඟින් සේදීමට හෝ තැවරීමට ගොස් ඒම ආලේපන තුළ ඇති අසාත්මික හෝ රසායනික බලපෑම් ධ්පපඪබචබඪධද මඟින් තවදුරටත් “කැසීම” වැඩිවීමයි.

මේ නිසා අදාළ ස්ථානවල කැසීමක් ඇති වීමේදී සිදුකළ යුත්තේ එයට හේතුව සොයා බැලීමයි. මෙම ස්ථාන වල “කැසීමට” ප්‍රායෝගිකව බහුලම හේතුව “දිලීර” යි, ඒ වගේම මෙම දිලීර ආසාදන තාවකාලික හෝ දිගුකල් පවතින ඒවා විය හැකි වෙනවා. විශේෂයෙන් දිගුකල් පවතින හෝ “කැසීම” තදබල ලෙස ඇති විටෙක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

සමහර විටෙක සරල දිලීර නාශක ආලේපනයකින් සිදු කළ හැකි ප්‍රතිකාරය විවිධ විවිධ විෂබීජ නාශක ගැල්වීමෙන් සංකීර්ණ එකක් ද විඳවීමක්ද ඇතිවිය හැකි වෙනවා. මෙම ස්ථානවල කැසීමේදී පොදු වැසිකිළි භාවිතය,

වැනි සමහර කාරණා “හේතු ලෙස උපකල්පන කර ගනිමින් තදබල විෂබීජ නාශක ප්‍රතිකාර තමන්ට සිදුකර ගනු ලබන අවස්ථා බොහෝවිට අපි දැක තිබෙනවා.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ, කැසීම හා භයානක විෂබීජ ආසාදනය අතර කෙළින් සම්බන්ධයක් නැති අතර, කැසීමට හේතුව ප්‍රවේසමෙන් තෝරා බේරාගෙන ප්‍රතිකාර සඳහා උපදෙස් ගැනීම ඉතා වැදගත් බවයි. “කැසීම” සම්බන්ධයෙන් එයට හේතුලෙස විවිධ වූ හේතු තමන් විසින්ම තීරණය කර ගැනීමෙන් අදාළ තත්ත්වය තවත් සංකීර්ණ විය හැකි බවත් සිහි තබාගත යුතු වෙනවා.