දරුවා අබාධිත වූවත් හැකියාව ඇගයීමට ලක් කළ යුතුයි

දරුවා අබාධිත වූවත් හැකියාව ඇගයීමට ලක් කළ යුතුයි

වැලක ගෙඩි ඒ වැලට බරක් නොවේ කියා කියමනක් ඔබ අසා තිබෙනවාද? ඒ කියමනට බොහෝ දුරට හේතු වන්නේ දරුවන් සම්බන්ධ ගැටලු වලදී දෙමාපියන් සිතන පතන ආකාරය පිළිබඳවයි. වර්තමානයේදී නම් අතලොස්සක් තරම් පිරිසක් තමාගේ දරුවා මහමඟ දමා යන්නට තරම් අකාරුණික වුවත් ඒ අනුව බලන කල අතීතයේ සිටි මව්වරු, පියවරු සැබෑ ශ්‍රේෂ්ඨ උතුම් පුද්ගලයන් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.

ඔවුන්ට තමාගේ දරුවන් කුමන මට්ටමකින් කුමන තත්ත්වයක සිටියත් ඔවුන්, රැකවරණය, අධ්‍යාපනය සහ ආදරය ලබා දීමට කිසිවිටකත් පසුබට නොවේ. ඒ දරුවා යම් ආබාධිත දරුවෙක් නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය ආදරය, රැකවරණය පමණක් නොව අධ්‍යාපනය ද අනෙක් දරුවන්ට මෙන්ම අත්‍යවශ්‍ය වේ. අපි බොහෝදුරට සියලු අංගෝපාංග පිහිටා ඇති ආබාධිත මට්ටමේ සිටින දරුවන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර කථා කළත් වඩාත් සැලකිල්ලක් දැක්විය යුත්තේ උපතින් යම් යම් ආබාධ සඳහා මුහුණ දී ඇති අය පිළිබඳවයි. හේතුව ඒ දරුවන්ට තනිවම ජීවිතයට මුහුණ දීමට තරම් ශක්තියක් නොමැති වීම සහ නිවැරදි චෛර්යාවන් මොනවාදැයි අවබෝධ කර ගැනීමට තරම් ඔවුන්ගේ සංවේදනය දියුණු නොවීම නිසයි. කෙසේ වෙතත් මෙවර ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා අපි සමඟ සාකච්ඡා කළේ යම් දරුවෙක්ව පාසැල් අධ්‍යාපනය කරා යොමු කර වීමට පෙර මූලික දැනුම සංවර්ධනය කිරීමට දෙමාපියන්ට අනුගමනය කළ හැකි ඉගෙනුම් විධි කිහිපයක් පිළිබඳවයි. ඒ වගේම මේ මඟින් එවැනි ආබාධ සහිත දරුවන් තුළ මූලික දැනුම වර්ධනය කිරීමට හැකි වනවා සේම දරුවන්ගේ

කථා කිරීමේ හැකියාවද වර්ධනය කිරීමේ අභ්‍යාසයක් ලෙසින්ද භාවිතා කළ හැකියි. පහත දැක්වෙන ක්‍රියාකාරකම් වලදී “හැකියි, උත්සාහ කරමි, නොහැකි” යන අවස්ථා තුනක් යටතේ දරුවාගේ හැකියාව ඇගයීමට ලක් කළ යුතුයි. මේ සඳහා විිවිධ ආකාරයේ රූප, අකුරු, පාට, ඉලක්කම්, සතුන් ආදිය යොදාගෙන සකස් කළ පින්තූර මඟින් දරුවාට ඒ පිළිබඳ අධ්‍යාපනය කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. මේ සඳහා උදාහරණ ලෙස පහත අවස්ථා පිළිබඳ විමසා බලමු.

“මම පාට හඳුනන්නෙමි” - මේ යටතේ නිල්, කොළ, කහ, තැඹිලි, රතු යන වර්ණවල නම එම වර්ණයේම පැහැයෙන් ලියා ඒ වර්ණ දරුවාට හඳුනා ගැනීමට අවස්ථාව ලබාදී මට හැකියි.

“මම අකුරු හෝඩිය දනිමි” - මේ අවස්ථාවේදී අ, ආ, ඇ, ඈ, ඉ, ඊ ආදී වශයෙන් දරුවාට හෝඩියේ අකුරු පිළිබඳ අවබෝධයක් ලබා දීමට උත්සාහ කළ හැකියි.

“මට වචනවල මුල් අකුරු මතකයි” - මෙහිදී යම් වචනයක් දරුවාට ලබාදී එහි මුලකුර මතක දැයි විමසා බැලීමට හැකියි. උදා - බල්ලා යන්නෙහි මුල අකුර

“බ” යන්නයි.

“මට මගේ නම ලිවිය හැකියි” - දරුවාට තමාගේ නම් ලිවීමට අවස්ථාවක් ලබාදීම මඟින් ඒ පිළිබඳ යම් ඉගැන්වීමක් කළ හැකියි.

උදා - සුනිල්

මට වචන ලිවිය හැකියි - මේ යටතේ දරුවාට සරල වචන ලිවීමට අවස්ථාව ලබාදිය හැකියි. උදා - කලය, මල

මම රූප හා හැඩතල හඳුනමි - වෘත්ත, ඍජුකෝණාස්‍ර, සමචතුරස්‍ර, ත්‍රිකෝණ ආදී හැඩතල පෙන්වා ඒවා හඳුනා ගැනීමට අවස්ථාවක් සලසා දිය යුතුයි.

මට දහයට ගනින්නට හැකියි - ඔබගේ ඇඟිලි භාවිතා කරමින් දරුවාට 1 සිට 10ට ගණන් කිරීමේ අවස්ථාවක් ලබාදිය යුතුයි.

මම ඉලක්කම් හඳුනමි - 1,2,3 ලෙසින් ඉලක්කම් විවිධ වර්ණ භාවිතා කර ලියා දරුවාට ඒවා හඳුනා ගැනීමට හැකිදැයි විමසා බැලිය යුතුයි.

මට එකතු කළ හැකියි - විිවිධ සතුන්, පලතුරු ආදිය පිළිබඳ රූප ඇසුරින් දරුවාට එකතු කිරීමේ හැකියාවක් වර්ධනය කළ හැකියි.

ඉහත අවස්ථා වලදී “මම” ලෙසින් හැඳින්වෙනේ ආබාධිත දරුවායි.