ප්‍රතිකාරයට වඩා ඉන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි

 ප්‍රතිකාරයට වඩා ඉන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි

පුද්ගලයෙකුගේ දින චර්යාව

ජීවිතයේ නිරෝගීකම හා සතුට ළඟාකර ගැනීමට ලෙඩරෝග ජීවිතයෙන් පළවා හැරිය යුතුයි. නමුත් ඒ සඳහා ජීවිතය අප හැඩගස්වා ගත යුත්තේ කෙළෙසද? රෝගකාරක, ජීවිතයට ඇතුළුවන්නට පෙර මුලිනුපුටා දැමීමට වගබලා ගත යුතුයි. එවිට ලෙඩක් දුකක් වැළඳෙන්නට පෙර ඉන් බේරී ඉවත්වීමට අපිට හැකිවේ.

කෙසේවෙතත් රෝගයක් වැළඳෙන්නට නොදී ඉන් වැළකෙන්නේ කෙසේද? ආයුර්වේදයේදී හඳුන්වා දෙන ප්‍රධාන සිද්ධාන්තයක් ද වන, රෝගයක් වැළඳී ප්‍රතිකාර කර සුව වනවාට වඩා වැළෙඳන්නට එන රෝගයන්ගෙන් ආරක්ෂාවීම වඩා වැදගත් බව ආයුර්වේදය පෙන්වා දෙයි.

වසර 6000 ක ඈත අතීතයට දිවෙන ආයුර්වේදය ආයුෂය සෙවීම සඳහා ගොඩනැගුණු බවත් එය ජීවිතය යන්න කුමක්ද කියා සොයන අවධියක වූවක් බවත් විශ්වාස කෙරේ. ඉන්දියාවේ පැවති යෝග දර්ශනය, පතංජලී දර්ශනය, වෛශේෂික දර්ශනය සමගාමීව ගොඩනැගෙන ආයුර්වේදය මේ සියල්ලන්ගෙන්ම ජීවිතය සෙවීමට පටන් ගනී. ඒ අනුව ආයුෂ පවත්වා ගන්නා වේදය ආයුර්වේදය යැයි නිගමනය කොට ඒ සඳහා නිරෝගීකම රඳවා ගැනීමට හෝ එය පවත්වා ගැනීමට වෙහෙසීම ප්‍රධානව ගනී.

ජීවිතය ගෙවන ආකාරය

ආයුර්වේදය උපතේ සිට මරණය දක්වා ජීවිතය ලෙඩ රෝග වලින් මිදෙන ආකාරය හා ගෙවන ආකාරය කියා දෙන හොඳ තෝතැන්නකි. එසේම ඍතු වර්ගීකරණය, වයස අනූව වර්ගීකරණය, ස්ත්‍රී, පුරුෂ, දවස, ආදී වර්ගීකරණයන්ට අනූව ජීවිතය ගත කරන්නට උපදෙස් දී ඇත.

සද්වෘත්ත හෙවත් නිරෝගී බව ඇති කිරීම පංචේන්ද්‍රිය පාලනය මෙමඟින් සිදුවේ. මෙලෙස මිනිස් ක්‍රියාකාරකම් නිසි පිළිවෙළකට සිදුකිරීමට උගන්වයි.

දින චර්යාව

පුද්ගලයකු දවස ගත යුතු ආකාරය දින චර්යාවයි. මින් පහදා දෙන්නේ අපගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට කුමක් කළ යුතුදැයි වටහා ගැනීමයි.

සාමාන්‍ය දින චර්යාව මෙලෙස සඳහන් වෙයි.

*බ්‍රහ්ම මූර්තියෙන් අවදිවීම. (හිරු උදාවට විනාඩි 48කට පෙර) මේ සඳහා ඉතාම යෝග්‍ය කාලය වන්නේ සිරුරෙහි නිර්නාල ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩිම අවධිය මෙය වීමයි. මේ අවධිය තුළ මනස නිරවුල්ව පවතියි.

*අනෙක් කරුණ නම් කාල කළමනාකරණයට පහසුවීම. දවසේ අනෙකුත් වැඩ කටයුතු කර ගැනීමට කාලය ඉතිරි කර ගැනීමට මෙමඟින් යොමුවේ.

*මනසේ නිරවුල් භාවය වැඩිවෙයි.

*මේ අවධිය තුළ පිරිසුදු වාතය ලැබීම තවත් වාසියකි.

*කුරුල්ලන්ගේ මිහිරි ශබ්ද කනට ඇසීමට සිරුර හා මනස ප්‍රබෝධමත් වන තවත් අවස්ථාවකි.

සිරුරට අහිතකර වන අවස්ථා

හිරු උදාවට පෙර අවදිවීම සමහර පුද්ගලයන්ට සුදුසු වන සෞඛ්‍ය කාරණයක් නොවෙයි. එසේ වන්නේ මේ සඳහා කුඩා දරුවන්, රෝගී අය, ගර්භනී මුල් අවධිය සහ වයස්ගත අය ඇතුළත් වන නිසාය. මෙහිදී විශේෂයෙන්ම කුඩා දරුවන්ට නින්ද අත්‍යවශ්‍යයයි. එබැවින් ඔවුනගේ ඒ නින්ද ලබා ගැනීම අවශ්‍ය නිසා අලුයම පිබිදීම සුදුසු නැත.

චර්යාවන්

තමාගේ පිරිසුදු බව ආයුර්වේදයේ ඉහළින්ම සලකන මූලධර්මයකි. බ්‍රහ්ම මූර්තියෙන් අවදි වී මුහුණ කට සෝදා හිස්බඩම පිරිසුදු ඇල් ජලය වීදුරුවක් පානය කිරීම සුදුසු ක්‍රියාවකි. මෙහිදී සිදුවන්නේ රෝග ඇතිවීමට බලපාන ආහාර මාර්ගයේ ගැටලු සමථයකට පත්වීමයි. ඒ සඳහා හොඳින් සිරුරේ ඉන්ද්‍රියයන් උත්තේජනය කර දීම. පසුව මුඛය, ඇස්, නාසය, දත්, දිව වැනි ඉන්ද්‍රියයන් පිරිසුදු කරයි. අතීතයේ මිනිසා මෙය පිරිසුදු කිරීම් විවිධ ලෙස කර ඇත. මෙම පිරිසුදු කර්ම අංජන කර්ම ලෙස ඇස්වලටද, නශ්‍යකර්ම ලෙස නාසයටද, ආලේපන කර්ම ලෙස මුහුණට ද සිදුකර ඇත. පසුකාලයේදී මේවා වර්ධනය වී රූපලාවන්‍ය කටයුතු ලෙස යොමුවී ඇත. නාසයෙන් වැගිරෙන සෙම් සොටු ආදිය අඩුකර දෙයි. නාසය පිරිසුදු කර දෙයි. එවිට හිසකෙස් වැටීම අඩුවී යයි. කටහඬ පැහැදිලි වෙයි. අකලට හිසකෙස් සුදුවීම නතර කර දෙයි. ආහාර රුචිය වැඩි කරයි.

ආහාර

සාමාන්‍යයෙන් දැඩි බඩගින්නක් එන්නට පෙර ආහාර ගත යුතුයි. සාමාන්‍යයෙන් උදෑසන ආහාරය වැඩිපුරද දහවල සාමාන්‍ය මට්ටමින්ද රාත්‍රී ආහාරය අවම ප්‍රමාණයෙන් ද ගත යුතුයි. එසේම රාත්‍රී ආහාරය ගත යුත්තේ ඉර අවරට යන්නට පෙර. පිරිසුදු ස්ථානයක මානසික නිරවුල්තාවයකින් යුතුව ආහාර ගත යුතුය.

උදාහරණ - දුක, සන්තාපය, ශෝකය, බය නැති අවස්ථාවක් වීම වැදගත්.

ෂඩ් රසින් යුතු ආහාර වේලක් ගත යුතුය. මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, ක්ෂාය ආදී රසින් යුතු සමබල ආහාරයක් ගත යුතුයි. සරලව සඳහන් කළහොත් දේදුන්නේ පාට මෙන් ඔබේ බත් පිඟාන වර්ණවත් විය යුතුයි.

අරමුණ

රෝගයක් ඇතිවන්නට පෙර වළක්වාලීම මෙහි ඇති ප්‍රධාන කරුණයි.

උදාහරණ - ව්‍යායාමය කරන අතරතුරදී අධික මහන්සියක් පැමිණෙයි නම් ව්‍යායාමය නතර කළ යුතුයි.

ප්‍රතිකාර

පරිසරයේ බලපෑම මිනිසාගේ සිරුරේ පවතින දෝෂවල වෙනස්වීමට ඉවහල්වේ. ඒ නිසා රෝගයකට ප්‍රතිකාර කිරීමේදී රෝග විනිශ්චය වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුවම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. මන්දයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ ස්වස්ථභාවය හෙවත් ශාරීරික නිරෝගීතාවය වෙනස්වන නිසා. එබැවින් මේ තත්ත්වය කෙසේ සරල වුවත් වෛද්‍ය නිගමන මෙහිදී ප්‍රධාන වේ.