ජපන් රටෙන් අපට ලැබුණු දායාදය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

ජපන් රටෙන් අපට ලැබුණු දායාදය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු දායාදයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හැඳින්විය හැකිය.

වර්ෂ 1984 දී ඇරඹි මේ රෝහල වසර 25 සම්පූර්ණ වනවිට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල කාර්යභාරයක් ඉටුකරන රෝගී සත්කාර සේවාවේ ඉහළම ප්‍රගතියක් අත්කරගත් රෝහලක් බවට පත්ව ඇත.

නවීන තාක්ෂණික උපකරණ මෙන්ම තාක්ෂණික දැනුමෙන් හෙබි කාර්ය මණ්ඩලයකින්ද සමන්විත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ඇල්. ද ලැනරෝල් මහතා මෙවර අපේ රෝහල විශේෂාංගය සමඟ එක්විය.

මේ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වුණු සංස්ථාපිත ආයතනයක්. අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේයි පාලනය වන්නේ.

පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනයක් හැටියට ක්‍රියාකරන මේ රෝහලේ ජාතික හෙද විදුහලක් පිහිටුවා තිබෙනවා. ජාතික හෙද විදුහලේ පුහුණුවන අයගෙන් 50% ක් රෝහලේ සේවයට බඳවා ගන්නවා.

මේ රෝහලෙන් සේවය ලබා ගැනීමේදී රෝගීන්ගෙන් මුදලක් අය කරනවා. මුදලක් ගෙවා සේවාවක් ලබා ගනිද්දී හොඳ සේවාවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රෝහලට කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේදී අපි ඉතා සැලකිලිමත් වෙනවා. ඉතා ඉහළ සුදුසුකම් ඇති මනා පුුහුණුවක් ලැබූ කාර්යය මණ්ඩලයක් අපට අවශ්‍යයි.

රෝහලක සේවය කරන සේවකයෙක් කරුණාවන්ත හදවතක් ඇති අයෙක් විය යුතුයි. රෝගියෙක්ගේ කැත කුණු අතගාන්න පුළුවන් තරමට මානසික සංවර්ධනයක් හොඳ හදවතක් ඇත්තෙක් විය යුතුයි. මේ රෝහලේ සේවකයන්ගෙන් ඒ කාර්යය ඉටුවෙනවා. රෝහලේ හැම අංශයකම විශ්වාසනීය සේවාවක් ලබාදෙන්න අපට හැකිවී තිබෙන්නේ ඒ නිසයි.

අපි රෝහල ඉතා ලස්සනට තබා ගන්න හැමවිටම ක්‍රියා කරනවා. රෝහල් පරිසරය රෝගීන්ගේ් මනස සුවපත් කරන ආකාරයට පවත්වා ගැනීම අපේ වගකීමක්.

මේ රෝහල් පරිසරය කලබලකාරී එකක් නෙවෙයි. ජපන් ගෘහ නිර්මාණ ශිල්පීන් ජයවර්ධනපුර රෝහල සැලසුම් කරලා තිබෙන්නේ. රෝහල් වාට්ටුවට හොඳින් එළිය වැටෙන්නත් තද හිරු රශ්මිය රෝහල් වාට්ටු ඇතුළට නොවැටෙන්නත් අවශ්‍ය පරිදියි. අනිත් එක තමයි එක් පැත්තකින් එන සුළං අනිත් පැත්තෙන් පිටව යන්න අවශ්‍ය පරිදි සියලු ගොඩනැගිලි නිර්මාණය කර තිබෙනවා.

රෝහල් වාට්ටුවල ඇඳන් සියල්ල බාහිර පරිසරය පෙනෙන ලෙස නිර්මාණය කර තිබෙන නිසා රෝගියාට අවශ්‍ය නිවාඩුව නිස්්කලංකබව ලැබෙනවා.

රෝහල් පරිසරයත් අනිකුත් පරිසරයත් සේවකයන්ට යහපත් අයුරින් සැකසී තිබීම නිසා හොඳ සේවයක් අපේ සේවකයන්ගෙන් ලබා ගැනීමට හැකියි.

රජයේ රෝහලක වැටුපට වඩා 35% ක වැටුප් වැඩිවීමක් මේ රෝහල් සේවකයන්ට ලැබෙනවා. ඊට අමතරව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. දායකත්වයද හැම සේවකයෙක්ටම ලැබෙනවා.

සෑම විශේෂඥ සේවාවක්ම ලබාදිය හැකි පූර්ණ මහරෝහලක තිබිය යුතු සියලු අංගයන්ගෙන් මේ රෝහල සමන්විතයි.

කායික ශල්‍ය, නාරිවේද, ළමා රෝග, උගුර, කණ, නාස, ඇස, විකලාංග, වකුගඩු, හෘද රෝග, හෘද ශල්‍ය, ස්නායු ශල්‍ය, රක්තවාත, පිළිකා, මානසික ඇතුළු සියලු රෝග සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ හැකියාව අප සතුයි.

විවෘත හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, උකුල් ඇට බද්ධ කිරීම් හා දණහිස් බද්ධ කිරීම් මෙන්ම කොඳු ඇට පෙළේ ආබාධ සඳහාද විශේෂ ප්‍රතිකාර ලබාදීම මේ රෝහලෙන් කෙරෙනවා. විශේෂඥ වෛද්‍යවරු 35 දෙනෙක් ගේ සේවාව මේ රෝහලෙන් ලබාගත හැකියි. සියලු ආකාරයේ අක්ෂි බද්ධ කිරීම් නවීන තාක්ෂණයට අනුව සිදුකරනවා.

රසායනාගාර පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. රජය මේ රෝහලට වර්ෂයකට යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. එම මුදල් සේවක වැටුප් ගෙවීමට පමණක් ප්‍රමාණවත්. ඊට අමතරව ලබාදෙන සේවාවන් සඳහාත් රෝහල් නඩත්තු කටයුතු සඳහාත් අප මුදල් උපයාගත යුතුයි. ඒ නිසා අපි රෝගීන්ගෙන් මුදල් අයකර ගන්නවා.

මේ රෝහලේ අයකිරීම් ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ. සායන සඳහා සහභාගිවීමේදී රෝගියෙක්ගෙන් රුපියල් 100 ක් අයකර ගන්නවා.

සායනවලට පැමිණෙන සෑම රෝගියෙක් සඳහාම පළමුදින පෞද්ගලික ලිපිගොනුවක් ආරම්භ කරනවා. ඉන්පසු රෝගියාට ලිපිගොනුවට අදාළ අංකයක් ලබා දෙනවා. රෝගියා පසු දිනක වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණියත් පෙර ලබාදුන් අංකය ලබාදීමෙන් තමන්ගේ පෞද්ගලික ලිපිගොනුව ලබා ගැනීමේ හැකියාව රෝගියාට තිබෙනවා. මෙම ක්‍රමය නිසා වෛද්‍යවරයාට රෝගියාගේ පෙර රෝගී තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ප්‍රතිකාර ලබාදීමේ හැකියාව ලැබී තිබෙනවා. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගියෙක්ගෙන් රුපියල් 50 ක් අය කෙරෙනවා.

මේ රෝහලේ වාට්ටු කොටස් 2 යි. සාමාන්‍ය වාට්ටුවේ ඇඳන් 62 ක් තිබෙනවා. පොදු නාන කාමරයක්ද සහිත මේ වාට්ටුවේ දිනක අයකිරීම රුපියල් 600 යි. තුන්වේලම කෑම සහ දිනකට දෙවරක් තේද සපයන මෙහි රෝගියෙක් සඳහා ඇඳක්ද අනිවාර්යයෙන් වෙන් කෙරෙනවා. ඊට අමතරව ලබාදෙන ඖෂධ සහ රසායනාගාර පහසුකම් සඳහා වෙනම අයකිරීමක් සිදුකෙරෙනවා.

දෙවන පන්තියේ ගෙවන වාට්ටුවක දිනකට රුපියල් 1500 ක් අය කරනවා. විශේෂ ආහාර වේල්, රෝගීන් බැලීමට එන අයට විශේෂ පහසුකම් මෙන්ම සවස 4 න් පසු පොරොත්තු ලේඛනයේ නොසිට ශල්‍ය කර්ම සිදුකර ගැනීමේ හැකියාවද මේ රෝගීන් සඳහා ලැබෙනවා.

පළමු පන්තියේ වාට්ටුවක අයකිරීම රුපියල් 3500 යි. වායුසමීකරණය කරන ලද කාමරයක් සහ වර්ණ රූපවාහිනියක් වෙනමම සනීපාරක්ෂක පහසුකම් විශේෂ ආහාර වේල් මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයට විශේෂ පහසුකම්ද රෝගියා අසල නැවති සිටීම සඳහා අමතර ඇඳක්ද මෙහි සැපයෙන පහසුකම් අතර වෙනවා.

රෝහල් සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන අඩු ආදායම්ලාභීන්ටද සේවාව ලබා ගැනීම සඳහා විශේෂ පහසුකම් තිබෙනවා.

ජනාධිපති අරමුදල, සමාජ සේවා දෙපාර්තමේන්තුව, විවිධ රක්ෂණ යෝජනා ක්‍රම, අග්‍රහාර, රාජ්‍ය නොවන සුභසාධන සංවිධාන, සේවක අර්ථ සාධක අරමුදල යටතේ ලබාගන්නා ආධාර අප වෙත බැර කිරීමෙන් මෙහි සේවාවන් ලබා ගැනීමට හැකියි. මේ රෝහලේ සේවාව එකම පන්තියක අය සඳහා නොවෙයි. සාමාන්‍ය අයටත් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ආකාරයෙන් පරිපාලනය සැකසී තිබෙනවා.

රෝගියාට අවශ්‍ය ආහාර රෝහලෙන් සැපයීම නිසා රෝගී තත්ත්වයට අහිතකර ආහාර රෝගියාට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම පිටතින් ආහාර ගෙන ඒම නොවන නිසා රෝහල පිරිසිදුව තබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

අපේ හදිසි ප්‍රතිකාර ඒකකය පැය 24 පුරාම සිදුවෙනවා. ඒ වගේම රසායනාගාරයත් රාජ්‍ය ඖෂධ සංස්ථා ඔසුසලත් පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ලංකාවේ ප්‍රථම වතාවට වයස්ගත රෝගීන් සඳහා වෙනම ඒකකයක් අපි ආරම්භ කළා. මේ සායනයට සහභාගී වන අය වෙන වෙනමම ඉතා හොඳ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. ඉන්පසු අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා.

සායනයට සහභාගී වන වයස්ගත අයගේ සියලු රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේදී මෙම ඒකකය හරහා සම්බන්ධීකරණය සිදුවෙනවා.