ආහාර වේලට රසයත් ගුණයත් එක් කරන කුළුබඩු

ආහාර වේලට රසයත් ගුණයත් එක් කරන කුළුබඩු

කුළුබඩු ලෙස අදහස් කරනුයේ ආහාරවල රසය, සුවඳ, රුචිය, පැහැය, ඇතිකරලීමට හා ආහාරයක ස්වභාවික රසය වෙනස් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී රසය වෙනස් කිරීමටද, ආහාර ඝන කිරීම සඳහාත් ආහාර මෙලෙක් කිරීම සඳහාත්, ආහාර වර්ග කල් තබා ගැනීම සඳහාත් යොදා ගන්නා රසය ඉස්මතු කරන ද්‍රව්‍යයවලට ය. එසේ ම මේ ද්‍රව්‍ය යෙදීම නිසා ආහාරවල වූ විස පදාර්ථ ඉවත් වේ.

රතු මිරිස්

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ කරල් වියළීමෙනි.

ගුණ – බඩගින්න වඩවයි. සෙම් කෝපය නැතිකෙරේ. දැවිලි ඇතිකෙරේ. අජීර්ණය, කොළරාව, පරණ වූ දුඟද හමන තුවාල සුව කෙරේ. නිදිමත, මුලාව, කටහඬේ වෙනස (ස්වර භේද), කෑම අපි‍්‍රය බව (අරුචිය) යන මේවා නැති කෙරේ.

කහ

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ රයිසෝමය හෙවත් අලයයි.

ගුණ – තික්තය, රළුය, උෂ්ණය, සෙම වාතය නැති කරයි. සමේ වර්ණ ඇති කරයි. සමේ ආබාධ, විස, කන් රෝග, ඇස් රෝග නැති කරයි. රුචිකාරකය, රුධිරය පිරිසුදු කෙරේ. ඇදුම රෝගය නැති කරයි, මධුමේහය නැති කරයි. මේදය අඩුකරයි, ඉඳුමුම නැති කරයි. මූත්‍ර පිරිසුදු කරයි. ක්‍රිමින් (පණුවන්) නැති කරයි. රක්තය (ලේ) වර්ධනය කරවයි.

සුදුදුරු

ප්‍රයෝජනයට ගනු ලබන්නේ බීජ හෙවත් ඇටය.

ගුණ – සැහැල්ලුය, මධුරය, මඳක් උෂ්ණය, බඩගින්න වඩවයි. මළ බද්ධය ඇති කරයි. ඇසට හිතය. ගර්භාෂය ශුද්ධ කරයි. බලය වඩවයි. සුවඳ ඇති කරයි. වමනය, ක්‍ෂය රෝගය, බඩපිපුම, වාතය, කුෂ්ඨ (සමේ රෝග) විස, උණ, කෑම අරුචිය, ලේවල වූ දෝෂ, අතීසාර, පණුවන්, පිත හා ගුල්ම රෝගය යන රෝගාවස්ථා නැති කරයි.

මහ දුරු

ප්‍රයෝජනයට ගනු ලබන්නේ බීජ හෙවත් ඇටයයි.

ගුණ – මධුරයි, තික්තය, විරේඛනීයයි, වීර්ය වඩවයි, බඩගිනි ඇති කරයි. ගැබ් ඇතිකරයි. වාතය, උණ, වේදනාව, දැවිල්ල, ඇස් රෝග, පිපාසය, වමනය, අතීසාරය හා අජීර්ණ නැති කරයි. තුවාල සුවපත් කරයි.

කරාබු නැටි

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ මලේ නැටිය.

ගුණ – සැහැල්ලුය, තිත්තය, සෙම හා පිත නැති කරයි. පැසවීම ඇති කරනු ලබයි. බඩගිනි වඩවයි. ආහාර ගැනීමේ රුචි ඇති කරයි. මුඛය හා අක්මාව උත්තේජනය කරනු ලබයි. හෘදය උත්තේජනය කරයි. මූත්‍ර ජනනය, ශුක්‍ර ස්තම්භකය, ස්තන්‍යය (මවුකිරි) ශෝඛනය (පිරිසුදු) කරයි. ලේවල වූ දෝෂ දුරු කරයි. පිපාසය, වමනය, බඩ පිපුම, වේදනාව, කැස්ස, ඇදුම, ඉක්කාව, ක්‍ෂය රෝගය, ආදී රෝග නැති කරයි.

එනසාල් / කරඳමුංගු

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ බීජ හෙවත් ඇටයයි.

ගුණ – සැහැල්ලුයි, කටුක රසය, රළුයි, උෂ්ණය, සෙම පිත නැති කරයි. බඩගින්න ඇති කරයි. ගත් ආහාරය හොඳින් පැසවීම සිදුකරයි. මුඛය පිරිසුදු කරයි. දුර්ගන්ධය නසයි. වමනය නැති කරයි. මූත්‍ර ඇති කරයි. කැසීම නැති කරයි. මළ හොඳින් පිටකරයි. ඇදුම, පිපාසය, මුව කෙළ ඉනීම, විස, හිසේ රෝග, මූත්‍ර මාර්ගයේ රෝග, වමනය, කැස්ස නැති කරයි.

කුරුඳු පොතු

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ කුරුඳු කඳේ පොත්ත ය.

ගුණ – සැහැල්ලුය, උෂ්ණයි, තික්තය, රළුය, පිත වඩයි, සෙම වාතය නැති කරයි. මූත්‍ර මාර්ගයේ රෝග, හෘදය රෝග නැති කරයි. අර්ශස්, පීනස් රෝග නැති කරයි. කැසීම, අජීර්ණය, අරුචිය, පණුවන් ශුක්‍ර ධාතුව නැති කරයි.

සාදික්කා (වසාවාසි)

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ ගෙඩියේ ඇටය ආවරණය වූ කොටස වියළීමෙනි (වසාවාසි)

ගුණ – සැහැල්ලුයි, උෂ්ණයි, තිත්තයි, ආහාර රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. මළබද්ධය ඇතිකරයි. සෙම වාතය නැති කරයි. පීනස හා හෘද රෝග නැතිකරයි. කටහඬ වඩවයි. මුවේ විරස බව නැති කරයි. මළවල දුඟද හා මළවල වූ කළු පාට බව නැති කරයි. පණුවන්, වමනය, වියළීම නැතිකරයි.

උළුහාල්

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ බීජ හෙවත් ඇටයි.

ගුණ – උෂ්ණයි, රත්පිත් කුªපිත කරයි, අරුචිය නැති කරයි, දීප්තිය ඇති කරයි. වාතය නැති කරයි. බඩගින්න වඩවයි.

අබ

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ බීජ හෙවත් ඇටයි.

ගුණ – උෂ්ණයි. කප් වාතය නැති කරයි. පිත වැඩි කරයි. බඩගින්න වඩවයි. ගත් ආහාරය නිසි ලෙස පැසවීම ඇති කරයි. මේදය අඩු කරයි. වේදනාව නැති කරයි. කණ්ඩරා ශක්තිමත් කෙරේ. හනු පේශී ශක්තිමත් කරයි. දත් ශක්තිමත් කරයි. රස දැනීම වැඩි කරයි. සමේ මෘදු ගතිය ඇති කරයි. කැසීම, පණුවන් නැති කරයි.

අමු ඉඟුරු

කුළුබඩු ලෙස ප්‍රයෝජනයට ගනු ලබන්නේ රයිසෝමය හෙවත් අලයයි.

ගුණ – උෂ්ණය, සැහැල්ලුය. දිරවීමෙදි ශීතලය. බඩගින්න වඩවයි. රුචිය ඇති කරයි. සෙම හා වාතය නැති කරයි. වේදනාව නැති කරයි. ඉදිමුම නැති කරයි. ස්නායු හා නාඩි උත්තේජකය. ගත් ආහාරය හොඳින් දිරවයි. මළ හොඳින් පිටකරයි. ධාතු ශක්තිය වැඩි කරයි.