ආබාධිත දරුවන් සුවපත් කරන රිජ්වේ ආර්යා රෝහලේ රක්තවේද හා පුනරුත්ථාපන ඒකකය

ආබාධිත දරුවන් සුවපත් කරන රිජ්වේ ආර්යා රෝහලේ රක්තවේද හා පුනරුත්ථාපන ඒකකය

සෑම මවුපියෙක්ම බලාපොරොත්තු වන්නේ නිරෝගී දරුවන් ය. එහෙත් මොන යම් හේතුවක් නිසා හෝ විවිධ ආබාධයන්ට ලක්වූ දරුවන් ද ලැබෙයි.

කෙසේ හෝ මේ දරුවන් ද සමාජයට සේවයක් ලබා දෙන දරුවන් බවට පත් කළ යුතු වන්නේය.

මේ සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ ක්‍රම තිබීම එවැනි දරුවන් ඇති මවුපියන්ගේ හිතට යම් සහනයක් උදාකර දී ඇත.

බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දී මෙවැනි දරුවන් සඳහා ප්‍රතිකාර ලබාදීමට රක්තවේද හා පුනරුත්ථාපන ඒකකයක් පිහිටුවා ඇත. මේ ඒකකයේදී සියලුම රෝගී දරුවන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීම සිදුකරයි.

මේ ඒකකයේ ප්‍රතිකාර ලබා දෙන ආකාරය පිළිබඳව ළමා රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා සහ සන්ධි සන්ධි ආශි‍්‍රත රෝග සහ පුනරුත්ථාපනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ජයනෙත්ති මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

මේ රෝහලේ සන්ධි, සන්ධි ආශි‍්‍රත රෝග සහ පුනරුත්ථාපන ඒකකයට දරුවන් ඇතුළත් කරන්නේ විශේෂ ප්‍රතිකාර සඳහායි. මවු කුස තුළදීත් දරුවා ලැබීමෙන් පසුවත් දරුවා විවිධ ආබාධවලට ලක්වෙනවා. ඕනෑම ආබාධිත දරුවෙකුට මේ ඒකකයේදී ප්‍රතිකාර ලබා දෙනවා.

මේ රෝහලට පැමිණෙන රෝගීන් පළමුව බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත රක්තවේද හා පුනරුත්ථාපන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරනවා. වෙනත් රෝහල්වලින් ද මේ රෝහලට දරුවන් යොමු කරනවා.

මවු කුස තුළදීත්, උපතේදීත්, පසුවත් දරුවන්ගේ ඇතිවන ආබාධ සඳහා ප්‍රතිකාර කරනවා. උදය වරුව රෝහලට බාහිරින් පැමිණෙන දරුවන්ට ප්‍රතිකාර ලබාදීමට වෙන්කර තිබෙනවා. සවස් වරුව වෙන්කර තිබෙන්නේ නේවාසික ප්‍රතිකාර ලබාගන්නා දරුවන්ගේ ක්‍රියාකාරකම් සඳහායි.

මේ ඒකකයේදී විශේෂයෙන් රක්තවාත, ස්නායු, කැඩුම් බිඳුම්, ස්වසන ආබාධ, මස්තිස්ක ආඝාතය, ඉපදෙන විට ඇඬීම ප්‍රමාද වීම නිසා ඔක්සිජන් අඩුවීමෙන් ඇතිවන ආබාධ සහිත දරුවන්ටත් විවිධ ක්‍රියාකාරකම් ලබාදීම කරනවා. දිනපතාම ව්‍යායාම ලබාදිය යුතු රෝගීන් ද සතියකට වරක්, මාසයකට වරක් ව්‍යායාම් ලබාදිය යුතු රෝගීන් ද ඉන්නවා.

දරුවාගේ මවට හෝ පියාට, ඥාතීන්ට දරුවාට අවශ්‍ය ව්‍යායාම් කරවීමේ හැකියාව ලබා දීමෙන් පසු ඊට අවශ්‍ය උපකරණ රෝහලෙන් නොමිලේ ලබා දී දරුවා නිවසට යොමු කරනවා.

නිවසේ සිට තම ඥාතීන් සමඟ දරුවා විවිධ ව්‍යායාම්වල යොමුවීමෙන් පසු රෝහලේ දී වරින් වර දරුවා පරීක්‍ෂා කෙරෙනවා.

මේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලුම ආධාරක මේ රෝහලේ දීම සකසනවා. දරුවාගෙන් දරුවාට ඇතිවන විකෘතිතා විවිධයි.

විවිධ අවස්ථාවලදී දරුවාට භාවිතා කළ යුතු ව්‍යායාම් උපකරණ විවිධයි. නිදාගෙන සිටියදී, සිටගැනීමේදී, ඇවිදීමේදී, ක්‍රීඩා කිරීමේදී උපකරණ පැළඳිය යුතු අවස්ථා තිබෙනවා. රෝගියාගේ රෝගී ලක්‍ෂණ අනුව ලබා දෙන ආධාරකත් විවිධයි.

මේ දරුවන්ට සාමාන්‍ය ජීවිතයේදී බාහිර පරිසරයේ ඇති ක්‍රීඩා කිරීමට නොහැකියි. මේ නිසා මේ ආබාධිත දරුවන් වෙනුවෙන්ම වෙන්වුණු ක්‍රීඩා පිටියක් සෑදීමට අපි දැනට කටයුතු කරගෙන යනවා. බාහිර රෝගී අංශයට යොමුවන රෝගීන්ගේ ආධාරක සෑදීම සඳහා මේ රෝහලේ පිහිටුවා ඇති ඒකකයට යොමුවීමෙන් පසු රෝගී දරුවාගේ අවශ්‍යතාවයට සරිලන ආධාරක නොමිලේ සකසා දෙනවා.

මේ වැඩ අංශය රෝහලේ ස්ථාපිත වූ දා සිට මේ දක්වා ආධාරක 3500 ක් පමණ රෝගී දරුවන් සඳහා බෙදා දී තිබෙනවා. මේ වැඩ අංශයේ විශේෂ පුහුණුවක් ලත් කාර්යය මණ්ඩලයක් සේවය කරනවා.

අතක හෝ කකුලක ශරීරයේ කිසියම් තැනෙක ආබාධයන් විකෘතිතා ඇත්නම් එම රෝගී දරුවන්ගේ මිමි ලබාගැනීමෙන් පසු ඊට අවශ්‍ය උපකරණ සෑදීම සඳහා ප්ලාස්ටොප්පැරිස්වලින් අච්චුවක් සාදාගෙන එම අච්චුවට අනුව උපකරණ සාදා රෝගී දරුවාට දෙනවා.

ආතරයිටීස් සහ වෙනත් සන්ධි වේදනා රෝග ඇතිවෙන දරුවන් සිටිනවා.

හන්දි නැවීමේ හැකියාව වැඩි දරුවන් ද මේ ඒකකයට යොමු වෙනවා. මේ රෝගී තත්ත්ව නිසා දරුවාගේ හැකියාවන් නැති වෙනවා. මේ දරුවන්ට හැකියාව ලබාදීම මේ ඒකකයේ විශේෂම කාර්ය භාරයයි.

මොළයේ සමහර කොටස් ක්‍රියා විරහිත වීම නිසා ළමයින්ට ඇතිවන අංශභාග රෝගයට මේ ඒකකයේදී ප්‍රතිකාර කරනවා.

දෑත් දෙපා පණ නැති දරුවන් පුනරුත්ථාපනය කිරීම මේ ඒකකයෙන් සිදුවෙනවා. මවු කුස තුළදීත් මෙලොව එළිය දැකීමෙන් පසුවත් දරුවාගේ මොළයට හානි විය හැකියි. මෙහිදී රුබෙල්ලා එන්නත ඉතාම වැදගත්. මවට රුබෙල්ලා රෝගය වැළඳුණොත් දරුවා අංගවිකල වෙනවා. එවැනි අංගවිකල ළමුන් රැසක් මේ ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මොළේ උණ වැළඳුණු දරුවන් ආබාධවලට ලක්වෙනවා.

මේ ප්‍රතිකාර ක්‍රමයේදී එක් ප්‍රතිකාර ක්‍රමයකින් පමණක් දරුවා සුවපත් කළ නොහැකියි. මේ ඒකකයේදී දරුවෙක් සුවපත් වන්නේ අංශ කීපයකම එකමුතුව නිසයි.

ප්‍රධාන වශයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවාගේ රෝගී තත්ත්වය සොයා ගන්නවා. රෝගියාට කළ යුතු ප්‍රතිකාර විධි තීරණය කරනවා.

මෙහිදී භෞතක චිකිත්සකවරු ඉතා වැදගත්. විවිධ ව්‍යායාම හරහා හැකියාවන් ලබාගැනීමට රෝගී දරුවාට උදව් කිරීම මේ අයගේ කාර්යය වෙනවා.

ඒ වාගේම ඔකියපේෂන් තෙරපි අංශයේ කාර්ය මණ්ඩලය ක්‍රියාකාරකම් පුරුදු කිරීම කරවනවා. ආබාධිත සමහර ළමුන්ට කථන හැකියාව නැහැ.

කථන හැකියාව ලබාදීම සඳහා ඇති කථන අංශයෙන් ළමුන්ගේ කථන හැකියාව ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.

මේ ඒකකයේදී ඖෂධමය ප්‍රතිකාරවලට අමතරව රෝගියා යථා තත්ත්වයට ගැනීමට විශාල වෙහෙසක් ගන්නවා. අක්‍ෂි ආබාධ සහිත දරුවන් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවටත්, ස්නායු ආබාධිත දරුවන් ස්නායු වෛද්‍යවරයෙක් හමුවටත් යොමුකරනවා.

ශ්‍රවණ ආබාධ සහිත දරුවන් උගුර කණ නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවටත් යොමු කරනවා. ආබාධිත දරුවෙක් සුව කිරීමට මේ රෝහලේ සෑම අංශයකම සක්‍රීය දායකත්වයක් අවශ්‍යයි.

උපතේදී අත්පාවල ඇතිවන කුඩා ඇදවීම් සැකසීම සඳහා මේ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයා වෙත දරුවන් යොමු කරනවා. මෙහිදී සමහර රෝගී දරුවන්ට ශල්‍යකර්ම, ප්ලාස්ටර් දැමීම කරනවා. ඒ වගේම සමහර රෝගීන්ව පිසියෝ තෙරපි ලබාදීම සඳහාත් යොමු කරනවා.

දරුවන්ගේ ඕනෑම ආබාධිත තත්ත්වයකට ප්‍රතිකාර කිරීම මේ රෝහලේ දී කරනවා.

මේ ප්‍රතිකාර ක්‍රමය ඉතාම සංකීර්ණයි. දරුවාගේ රෝගී තත්ත්වයේ බරපතලකම අනුව දරුවා සුව කිරීමේ හැකියාව තිබෙනවා. අපි උපරිම උත්සාහ ගන්නේ දරුවාට උපරිම සුවය ලබා දීමටයි.

මෙහිදී දරුවා සමාජයට බරක් නැති, සමාජයට වැඩදායී පුද්ගලයෙක් ලෙස සමාජ ගතකිරීම නිසා දරුවාගේ මවුපියන්ටත් යම් කිසි අස්වැසිල්ලක් ඇතිවෙනවා.

සදාකාලික ආබාධිත දරුවෙකු වෙනුවට සමාජයට වැඩක් කළ හැකි මට්ටමේ දරුවෙකු ලැබීම නිසා මේ ඒකකයෙන් දරුවා සමඟ මවුපියන් පිටව යන්නේ මහත් සතුටෙන්.

ආබාධිත දරුවන් සිටින මවුපියන් පළමුව කළ යුත්තේ දරුවාගේ රෝගී තත්ත්වයට අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට දරුවා රැගෙන යාමයි. එවිට වෛද්‍යවරයා නිසි ප්‍රතිකාර සඳහා යොමු කරනවා. මේ නියම කරන ප්‍රතිකාර නොකඩවා නිසි පරිදි කළ යුතුයි. ඒ සඳහා මේ රෝහලේදී නොමිලේ ප්‍රතිකාර ලබා දෙනවා.

රෝහලේදී ලබා දෙන ප්‍රතිකාරවලින් පසු නිවසේදී වැඩිදුරටත් ළමයින්ට පුහුණුවීම්, ව්‍යායාම් කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ මේ රෝලෙන් නොමිලේ ලබා දෙනවා. මවුපියන්ට අවශ්‍ය පුහුණුව ද ලබා දෙනවා.

ඔවුන්ගේ වගකීම වන්නේ දරුවාට ඒවා නිසි පරිදි පුරුදු පුහුණු කරවීමයි.