ඩෝස් හෙවත් උපදංශය

ඩෝස් හෙවත් උපදංශය

උපදංශය ලිංගාශ්‍රිතව බෝවන රෝග අතරින් තවත් එක් ප්‍රධාන රෝගයකි. Syphilis  (සිෆිලිස්) ලෙස හඳුන්වන්නේ ද මෙම රෝගයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙම රෝගය හඳුන්වන්නේ ‘ඩෝස්’ නමිනි.

මෙම රෝගය බෝකරන්නේ Tripalema pallidum pallidum නම් රෝග කාරක බැක්ටීරියාව මගිනි. උපදංශය ඉතාම පැරණි රෝගයකි.මෙම රෝගයට ඉතා දිගු ඉතිහාසයක් තිබේ. ලෝකයේ ඉතා දැවැන්ත පුද්ගලයින් ලෙස ජීවත් වූවන්ගේ නම් මෙම රෝගය සමග කියවේ. එසේ සිදුවී ඇත්තේ මෙම රෝගයට අතීතයේදී නිශ්චිත ප්‍රතිකාරයක් නොතිබුණු නිසාය. එම හේතුව නිසා අතීතයේදී මෙම රෝගයට ගොදුරු වූවන්ට විවිධ සංකූලතාවයන් ඇතිවූබව ඔවුන් පිළිබඳව කර ඇති ගවේෂණ වලදී අනාවරණය වී ඇත. මෙම රෝගයට එම පුද්ගලයින් ගොදුරු වී ඇති බවට තොරතුරු පැතිරී ඇත්තේ එම සංකූලතාවයන් නිසාය.

උපදංශය රෝගය නිරෝගී පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකු හට බෝවන්නේ පිරිමි – කාන්තා හෝ පිරිමි – පිරිමි ලිංගික සබඳතාවයන් නිසාය. ඇතැම් විටෙක කාන්තාවන් කාන්තාවන් අතර සිදුවන ලිංගික හැසිරීම් වලදීද මෙම විෂබීජය ශරීරගත විය හැකිය. උපදංශය විෂබීජය ශරීරගතවී රෝගය වර්ධනය වන්නේ අවධීන් ආකාරයටය. යමෙකුගේ ශරීරයට උපදංශය විෂබීජය ඇතුළු වූ විට පළමුව ඇතිවන්නේ කුඩා තුවාලයකි. එම තුවාලය ඇති වන්නේ උපදංශය බැක්ටීරියාව ශරීරයට ඇතුළු වූ ස්ථානයේය. මෙම අවස්ථාව මූලික අවධියයි. මෙම තුවාලය හඳුන්වන්නේ Primary Chancre ලෙසය. මෙම තුවාලයේ විශේෂ ලක්ෂණ කීපයක්ම ඇත. එම තුවාලය පිරිසිදුය. එය වටා ඇගිල්ලකින් ඇල්ලූවිට කාසියක් මෙන් අතට අසුවේ. එසේම එම තුවාලයෙන් වේදනාවක් නොදැනේ. සාමාන්‍යයෙන් මෙලෙස ඇති වන්නේ එක් තුවාලයක් පමණි. එසේ වුවද අසාමාන්‍ය අවස්ථාවල තුවාල දෙක තුනක් වුවද ඇතිවිය හැකිය. එසේම එම තුවාල වලින් වේදනාවක්ද ඇතිවිය හැකි අතර එම තුවාල අපිරිසිදු තුවාලද විය හැකිය. මෙම තුවාල බොහෝ විට ඇතිවන්නේ ලිංගික අවයවවලය. ඊට අමතරව ඇගිලිවල, මුඛයේ, දෑස්වල, පියයුරුවල, තට්ටම්වල ද මෙම තුවාල ඇතිවීමේ හැකියාව ඇත. මෙම තුවාල සුවවීමට ඖෂධ ගත්තද නොගත්තද සති 2 ක් හෝ 3 ක් ගත වන විට මෙම තුවාල සුවවී යයි. බොහෝ විට සිදුවන්නේ විෂබීජය ශරීරගතවී තුවාලය සෑදී ඒ පිළිබඳව නොදැන සිටින විට උණකට සෙම්ප්‍රතිශ්‍යාවකට වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගත් විට එම වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිසා උපදංශය නිසා ඇතිවූ තුවාලය සුව වීමයි.

එය නිවැරදි සුවවීමක් හෝ නිවැරදි ප්‍රතිකාරයක් හෝ නොවේ. එසේ තුවාලය සුව වුවද උපදංශය බැක්ටීරියාව ශරීරය තුළ පවතී. උපදංශය රෝගය නිසා ශරීරයේ ඇතිවන මෙම තුවාලය පිරිමි අයකුගේ නම් පිටතින් පෙනීමේ හැකියාව වැඩියි. එහෙත් කාන්තාවකගේ ශරීරයට මෙම විෂබීජය ඇතුළු වී යෝනි මාර්ගයේ තුවාලය ඇතිවුවහොත් එය පිටතින් නොපෙනේ. එසේ වූ විට උපදංශය රෝගය දෙවැනි අදියරට ගමන් ගනී. රෝගයේ දෙවැනි අදියර හඳුන්වන්නේ Secondary syphilis ලෙසය.

මෙහිදී විවිධ රෝග ලක්ෂණයන් මතුවේ. ශරීරය පුරා දදයක් වැනි යමක් මතුවීම, මුඛයේ කුඩා තුවාල ඇතිවීම, මුඛයේ දෙපස පැලීම් ඇතිවීම, හිසේ තැනින් තැන හිසකෙස් ගැලවී යාම, එම රෝග ලක්ෂණ අතරින් කිපයකි. මෙම දෙවැනි අදියරේදීද නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සති දෙකක් හෝ තුනක් ගත වන විට මෙම රෝග ලක්ෂණයන්ද නැතිවී යයි. ඉන් පසුව රෝගය තුන්වැනි අදියර කරා ලඟා වේ. එය  Tarshery syphilis ලෙස හැඳින්වෙන අවස්ථාවය. මෙම තුන්වැනි අවදියේදීද අවස්ථාවන් 3 ක් ඇත. ඉන් පළමු අවස්ථාව කල් ගතවූ එහෙත් නොපෙනෙන අවස්ථාවය. දෙවැන්න හෘදයට බලපාන අවස්ථාවය. තුන්වැන්න ස්නායු පද්ධතියට බලපාන අවස්ථාවය. මෙම තුන්වැනි අධියර පසුවූ විට එළඹෙන අවස්ථාව Gamnatus syphilis ලෙස හැඳින්වේ. එවිට ශරීරයේ විවිධ ස්ථානවල සමේ තුවාලයක් මෙන් පැතිරී ඇති ආකාරයක් දැකගත හැකිවේ. මෙම අවස්ථාවට පත්වූ රෝගීන් වර්තමානයේදී ඉතාම විරලය.

කිසියම් රෝගියකු කිසියම් සැකයක් මතුවී ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය සායනයකට ගිය විට එම රෝගියාගේ ලිංගික ප්‍රදේශයේ හෝ කිසියම් ස්ථානයක තුවාලයක් ඇත්නම් එම රෝගියාට උපදංශය රෝගය ස්ථිරව තහවුරු කරගන්නා තෙක් ඔහුව සලකනු ලබන්නේ උපදංශය වැළඳුණු රෝගියකු ලෙසය. එලෙස කරනු ලබන්නේ මෙම රෝගය එතරම්ම අහිතකර ප්‍රතිපල ගෙන දෙන රෝගයක් නිසාය.

වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කළ විට ශරීරයේ තුවාලයක් දුටුවහොත් Dark ground microscopy  පරීක්ෂණයට රෝගියා භාජනය කෙරේ. එහිදී තුවාලයෙන් නිකුත් වන ශ්‍රාවය ලබාගෙන නිවැරදි ලෙසම බැක්ටීරියාව හඳුනාගැනේ. එසේ නිවැරදි ලෙසම ප්‍රතිකාර ලබාදී රෝගය සුව කළ හැකිය.

ඇතැම් රෝගියකුගේ මෙවැනි තුවාලයක් හඳුනාගත නොහැකි වනු ඇත. එවිට මුඛයේ ඇති තුවාල වලින් ලිංගික අවයව ප්‍රදේශවල ඇති ගැටිති වලින් ලබාගන්නා ශ්‍රාවයෙන් ඉහත පරීක්ෂාව කිරීමෙන් උපදංශ රෝගය පහසුවෙන් හඳුනාගත හැකි වනු ඇත. Primary chancre හෝ Secondary syphilis යන අවස්ථා දෙකෙහිදී තුවාල ආශ්‍රිත ශ්‍රාවය පරීක්ෂා කිරීමෙන් රෝගය හඳුනාගත නොහැකි වුවහොත් මෙම රෝගය හඳුනාගත හැකි එකම ක්‍රමය වන්නේ රුධිර පරීක්ෂාවකින්. එහිදී VDRL සහ TPPA යන පරීක්ෂාවන් දෙකම සිදු කරනු ලැබේ. මෙම පරීක්ෂාවන් දෙකෙහි ප්‍රතිඵලය අනුව උපදංශ රෝගය අදාල රෝගියාගේ ශරීරය තුළ පවතින්නේ කුමන අවදියේද යන්න නිසැකවම හඳුනාගත හැකිය.

තවත් අයුරකින් උපදංශය රෝගය කොටස් දෙකකට බෙදා දැක්වේ. ඒ උපදංශය බැක්ටීරියාව ශරීරගත වී පළමු අවුරුදු 2 ඇතුළත අවස්ථාව (Fu fection syphilis බෝ නොවන අවස්ථාව) සහ මුල් අවුරුදු දෙක ඉක්ම වූ අවස්ථාව (Late syphilis) ලෙසය. මෙම බැක්ටීරීයාව ශරීරගත වී මුල් අවුරුදු දෙක ඇතුළත ආසාදිත අයකුගෙන් නිරෝගී අයකුට රෝගය බෝවිය හැකිය. බැක්ටීරියාව ශරීරගත වී අවුරුදු දෙක ඉක්මවූ විට රෝගය තවත් අයකුට රෝගය බෝ නොවන බව පිළිගැනුනද එසේ බෝවූ අවස්ථාවන්ද වාර්තා වී ඇත.

යමෙකුට උපදංශය රෝගය ඇතැයි හඳුනාගත් විට එම පුද්ගලයාට ප්‍රතිකාර ලබාදීමට අමතරව එම පුද්ගලයාගේ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් හඳුනාගෙන ඔවුනටද ඖෂධීය ප්‍රතිකාර ලබාදේ.

උපදංශය රෝගයට නිසි අවස්ථාවේදී නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සංකූලතාවයන් ගණනාවක්ම ඇතිවිය හැකිය. එහිදී විශාල බලපෑමක් එල්ල කරනුයේ හෘදයටය. හෘදය ආශ්‍රිත විවිධ ආබාධයන් මෙහිදී මතුවේ. උපදංශය රෝගයට අයත් බැක්ටීරියාව මොළයටද විශාල බලපෑමක් කිරීමට සමත්ය. ඊට අමතරව ශරීරයේ ස්නායු පද්ධතියට මෙම බැක්ටීරියාව මගින් කරනු ලබන බලපෑම අතිමහත්ය. ඇතැම් විටක රෝගියකුට උපදංශය වැලදී ඇති දැයි හඳුනාගන්නේ හෘද රෝග අංශයට ප්‍රතිකාර ගැනීමට ගිය විට විය හැකිය.

ගර්භනී මවකගේ ශරීරය තුළ උපදංශය බැක්ටීරියාව පැවතුනහොත් උපදින දරුවාගේ ශරීරයේද බොහෝ විට මෙම බැක්ටීරියාව ඇතුලත්ව තිබිය හැකිය. එබැවින් දරුවකු ප්‍රසූත කිරීමට සිටින සෑම මවකටම VDRL පරීක්ෂාව සිදු කරනු ලැබේ.

ගර්භය තුළදී තම මවගෙන් උපදංශ බැක්ටීරියාව ශරීරගත වූ දරුවන් තුළ ඇති උපදංශය සංජානනීය උපදංශය ලෙස හඳුන්වනු ලැබේ. ගර්භය තුළදී උපදංශය බැක්ටීරියාව ශරීරගත වූ විට ඇතැම් විට මළ දරු උපතක් සිදු විය හැකිය. එසේ නැතහොත් විවිධ සංකූලතාවයන් සහිතව දරුවා උපත ලැබිය හැකිය. එබැවින් නිට්ටාවට සුව කළ හැකි උපදංශය නමැති මෙම ලිංගාශ්‍රිත රෝගය නිවැරදිව කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.