සයිනස් කුහරවල සෙම පිරී තිබීම හිස කැක්කුමට එක් හේතුවක්

සයිනස් කුහරවල සෙම පිරී තිබීම හිස කැක්කුමට එක් හේතුවක්

හිස සහ මුහුණේ ඇතිවන වේදනාවන්ගෙන් බොහෝ දෙනා පීඩා විඳිනවා. මේ හිසේ හා නළලේත් කම්මුල්වලත් දත්වලත් වේදනාවන්ට බොහෝ විට සෙම තත්ත්වය හේතු වෙනවා.

මේ රෝගී තත්ත්වය පිළිබඳව කළුතර නාගොඩ මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

හිස ආශ්‍රිතව ඇතිවන වේදනාවන්ට සෙම තත්ත්වය බලපාන බව බොහෝ දෙනා පවසනවා. මෙහිදී සිදුවන්නේ නාසය වටේ ඇති සයිනස් (sinus) නමැති කුහර වර්ගයේ සෙම පිරී පැවතීමයි.

ප්‍රධාන වශයෙන් කුහර වර්ග තුනක් මුහුණේ පිහිටා තිබෙනවා. ෆ්‍රන්ටල් සයිනස් (Frontal sinus) ඇසට ඉහළින් ද මැක්සිලරි සයිනස් (Maxillary sinus) මුහුණ දෙපැත්තේත් එත්මොයිඩල් සයිනස් (Ethmoidal sinus) නාසයට පිටුපසින්, පිටියුටරි ග්‍රන්ථිය ආසන්නයේත් පිහිටා තිබෙනවා.

සයිනස්වල පවතින සෙම නාසයෙන් පිටතට පැමිණෙනවා. මේ සෙම එළියට නෑවිත් සෙම සිරවී ප්‍රණාල අවහිර වුවහොත් හෝ යම්කිසි ආසාදනයක් නිසා සෙම වැඩිපුර සෑදුණොත් සයිනස් ඇතුළේ සෙම පිරීම නිසා පීඩනයක් ඇතිවෙනවා. මේ පීඩනය නිසා හිසේ සහ මුහුණේ වේදනාකාරී තත්ත්වයක් හට ගන්නවා.

කම්මුල්වල කැක්කුම, දත්වල වේදනාව හිස ඉදිරියට නැමීමේදිී තදින් දැනෙනවා නම් එය ඇකියුම් සයිනසයිටීස් තත්ත්වයක්. එසේම කොන්ද පෙදෙසින් ඉදිරියට නැවී බිම බැලීමේදීත් මුහුණේ වේදනාව දැනෙනවා. මේ වේදනාව ඇස්වලට ඉහළින් නළල පෙදෙසේ වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන්. නාසය රතුවීම, කම්මුල් වැඩිපුර රතුවීම, නළල කම්මුල් වැනි ප්‍රදේශ තෙරපීමකදී තද වේදනාවක් දැනීම මේ රෝගයේ අනික් ලක්ෂණයි.

මේ වේදනාව හිසට ගමන් කිරීමේදී හිස මුදුන හිස දෙපස සහ හිස පිටුපසටත් දැනෙනවා.

නාසයෙන් දියර ගැලීම, උගුරට සෙම වැඩිපුර පැමිණීම, සෙම සහිත කැස්ස වැනි රෝගී තත්ත්ව ඇතිවන්නේ ඉහළ ස්වසන පද්ධතියේ ඇතිවන සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස, උගුරේ අමාරු වැනි තත්ත්වයන් සමගයි. මේ රෝග වෛරස් රෝග නිසා ඖෂධ ලබා ගත්තත් නැතත් දින හතක්, දහයක් ඇතුළත සුව වෙනවා.

මෙවැනි අවස්ථාවලදී මුහුණට උණු වතුර හුමාලය ඇල්ලීම, පැරසිටමෝල් පෙති දෙකක් ගැනීම වැනි ප්‍රතිකාර කළ හැකියි. නමුත් දින දහයක් ගිය පසුත් නාසයෙන් දියර ගැලීම, උගුරට සෙම පැමිණීම, හිසේ කැක්කුම, මුහුණ දෙපැත්තේ කැක්කුම ඇත්නම් ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතුයි. වෛරස් රෝගයකින් පසු බැක්ටීරියානු ආසාදනයක් ඒ මත ඇති වූ විට එය සයිනසයිටීස් තත්ත්වයක් වෙනවා.

සයිනසයිටීස් ඇති රෝගියෙක් හිසට වේදනා ගෙන නොදෙන පහසු ආකාරයකට සිටීමෙන් හා නින්දෙන් අවදි වීමෙන් පසු හිසේ වේදනාව පහව යන්නේ සයිනස්වල තිබූ සෙම පහසුවෙන් පිටතට ගලා යාම නිසයි. මේ තත්ත්වය තාවකාලික සහනයක් පමණයි. හිසේ කැක්කුම ඇති රෝගියෙක් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අවස්ථා ලෙස දැක්විය හැක්කේ පළමුවරට සෑදෙන හිසේ කැක්කුමකදී, හිසේ කැක්කුම සමඟ උණ ඇත්නම්, හිසේ කැක්කුම උදෑසන පමණක් තිබේ නම්, හිසේ කැක්කුම සෑදී දින 5 ක් 6 ක් ඇතුළත සුව නොවන්නේ නම් මාසයකට දින තුනකට වඩා හිසේ කැක්කුම සෑදෙන්නේ නම් යන අවස්ථාවන්ය.

මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයා නියම කරන ඖෂධ නියමිත කාලයකදී, නියමිත මාත්‍රාව නියම කරන කාලය පුරාම නිවැරදිව ලබා ගැනීමෙන් වැඩි ප්‍රතිඵල අත්කර ගත හැකි වෙනවා.