ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා ද?

ඔබ අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා ද?

අධික රුධිර පීඩනය හෙවත් අධ්‍යාතතිය (Hypertension) වනාහි දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය වන ලොව ඉතාමත්ම බහුල රෝගී තත්ත්වයකි. වයසින් වැඩිවීමත් සමඟ කෙනෙකුගේ රුධිර පීඩන මට්ටම් සහ අධික රුධිර පීඩනය ඉහළ නැගීමද සිදුවීමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් අධික රුධිර පීඩනය ආශි‍්‍රතව රෝග ලක්ෂණ කිසිවක් දක්නට නොමැති හෙයින් ඔබගේ රුධිර පීඩනය නීරෝගී පරාසයක් තුළ තිබේද යන්න සහතික කරගනු සඳහා එය නිරතුරුව පරීක්‍ෂා කර ගැනීම කළයුතු වේ. දැනට වාර්තාවන අන්දමට සෑම ශ්‍රී ලාංකිකයින් 100,000 කටම 400ක් අධික රුධිර පීඩනයෙන් පෙළේ.

අධික රුධිර පීඩනය රෝගයක්ම නොවුවද එය හදවත් රෝග සහ ස්පාර (Stroke) සඳහා වන ප්‍රධාන අවදානම් සාධකය වේ.

සෙසු ප්‍රධාන අවදානම සාධක වන්නේ දුම්වැටි පානය, අධික රූධිර කොලෙස්ටෙරෝල් ප්‍රමාණය සහ ශාරීරික ව්‍යායාම් අඩුකමය. මෙම අවදානම් සාධක අතුරින් එකකට වැඩි ගණනක් ඔබට අදාළ නම්, ඔබට හෘද රෝග සහ ස්පාර වැළඳීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩිවීමට ඉඩ ඇත. ඔබගේ රුධිර පීඩනය අධික නම් ඉතාමත්ම වැදගත් කාරණය වනුයේ ඉහත සඳහන් සෙසු අවදානම් සාධකද පරීක්‍ෂා කොට බලා ඒවා පාලනය වී තිබේදැයි යන්න තහවුරු කර ගැනීමයි.

රුධිර පීඩන මිණුම යනු කුමක්ද?

රුධිර පීඩනය වාර්තා කරනුයේ අංක දෙකකිනි. උදාහරණ වශයෙන් 130/85 mmHg (milligrams of mercury) යන්න දැක්විය හැකිය. මේ අතුරින් පළමු අංකය වනුයේ සංනීයස්ත පීඩනය (Systolic Pressure) යි. හෘදය සංකෝචනය වීමෙන් එහි ඇති රුධිරය සිරුර පුරා රුධිර නාල හරහා පොම්ප කිරීමේදී එම රුධිර නාවලවල ඇතිවන පීඩනය මෙම අගයෙන් පෙන්නුම් කරයි.

දෙවන අංකයෙන් දැක්වෙනුයේ වින්‍යස්ත පීඩනය (Diastolic Pressure) යි. මෙමගින් හෘදය ලිහිල් වු විටදී, එය ඊළග වාරයේ සංකෝචනය වීමට පෙර රුධිරයෙන් පිරීයන විට ඇතිවන පීඩනය දැක්වේ.

දහවල සහ රාත්‍රියේ දී රුධිර පීඩනය සැලකිය යුතු ලෙස වෙනස් වේ. ඒ සඳහා ඔබගේ හැගීම් සහ ක්‍රියාකාරකම් බලපායි. ඔබට අධික රුධිර පීඩනය තිබේ ද නැතිද යන්න සහතික කරගනු සඳහා අඩු වශයෙන් විවිධ අවස්ථාවලදී ගත් රුධිර පීඩන මිනුම් 3ක්වත් අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් බොහෝ අයගේ රුධිර පීඩන අගයන් 140/85mmhg ට අඩු ය. 140/85 mmhg සහ 160/90 mmhg අතර පවතී නම් එය අධික රුධිර පීඩනයේ මායිම ලෙස සැලකිය හැකිය. 160/90 mmhg හෝ ඊට වැඩි නම් රුධිර පීඩනය අධික ලෙස සැලකේ.

අධික රුධිර පීඩනයට බලපාන හේතු

අධික රුධිර පීඩනය ඇති අයගෙන් 5% - 10% අතර ප්‍රමාණයක්. වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔවුන්ගේ රුධිර පීඩනය වැඩි වූ අය වේ. කෙසේ වෙතත් මෙය තීරණය කළ යුතු වන්නේ ඔබේ වෛද්‍යවරයා විසිනි. එනමුදු බොහෝ අයට අධික රුධිර පීඩනය ඇතිවීමට එක් විශේෂ හේතුවක් බල නොපාන අතර එය බොහෝ විට කරුණු කීපයක සංයෝගයෙන් ඇතිවිය හැකිය. එවැනි කරුණු අතර ප්‍රධාන වනුයේ.

අධික රුධධිර පීඩනය පිළිබඳ පවුලේ ඉතිහාසය.
 

ශාරීරික ව්‍යායාම අඩුකම.

තරබාරු කම.

අධික මත්පැන් පානය.

අධික ලෙස ලුණු ආහාරයට ගැනීම.

නිරතුරුවම ආතතියට ලක්වීම.

දුම්පානය යනාදියයි.

ඔබගේ රුධිර පීඩනය අඩුකරගත හැකි ආකාරය.

ඔබගේ ජීවන රටාවේ යම් යම් වෙනස්කම් ඇති කිරීමෙන් රුධිර පීඩනය අඩු‍්‍රකරගත හැකි අතර එමගින් ඖෂධ භාවිතයේ අවශ්‍යතාවද සීමා කරගත හැකිය. ඒ සඳහා පහත දැත්වෙන ක්‍රම අනුගමනය කිරීම සුදුසු ය.

රුධිර පීඩනය නිරතුරුවම පරීක්ෂා කර ගැනීම.

සිරුරේ බර පාලනය කර ගැනීම සහ අවශ්‍ය විටෙක එය අඩුකර ගැනීම

නිතිපතා ව්‍යායාම කිරීම.

ලුණු අඩංගු ආහාර ගැනීම අඩු කිරීම

මත්පැන් පානය අඩු කිරීම.

දුම්පානය අත්හැරීම.