කුරුලෑ නැත්තටම නැතිකර ගන්න

කුරුලෑ නැත්තටම නැතිකර ගන්න

කුරුලෑ

ඔබට නිතර වද දෙන ප්‍රශ්නයක් ලෙස කුරුලෑ මතුවීම අද සමාජයේ පිඩාකාරී උවදුරක් විදියට පෙනී යන කරුණක්. විශේෂයෙන් කාන්තාවන්ගේ මුහුණේ මේ තත්ත්ව උග්‍ර ලෙස පවතන නිසා ඔවුන් බලවත් සිත් තැවුල්වලට ලක් වෙනවා.

 සිරුරේ රූපලාවන්‍ය රැකගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ මුහුණ රැකගැනීම තුළින් ම පමණක් නොවූවත් වැඩි වෙහෙසක් මුහුණට ගැනීමට මේ නිසා සිදු කරන්නට වෙනවා.

පිරිමි අයගේ පවා මේ තත්ත්වය අද බහුලව පවතිනවා. කොතරම් ප්‍රතිකර්ම කළත් සුව වන්නේ නැහැ කියායි කවුරුත් පවසන්නෙ. නමුත් වෙළඳපලට අද මේ සඳහා නොයෙක් රූපලාවන්‍ය ආයතන මගින් දෙස් විදෙස් වලින් කුරුලෑ මර්දන නාශක පැමිණ තිබෙනවා.

විශාල ලෙස අලෙවි වන එවන් නාශක ආලේපන තිබුනත් කිසිම අයෙකුට අඩු නොවන බවයි පවසන්නෙ. ඉතින් මේ මුහුණ කැත කරන විනාශකාරි කුරුලෑවලට බෙහෙතක් නැතිද යන්න විමසූ පැනයකට ආයුර්වේද වෛද්‍ය ශ්‍යාමා පෙරේරා ඒ සඳහා ඉදිරිපත් කළ අත් බෙහෙත් ටිකක් ගනිමු.

* සුදු හඳුන් ඇල්වතුරින් හෝ දෙහි ඇඹුලින් ගල ගා මුහුණේ ආලේප කරන්න.

* සුදු හඳුන් චූර්ණ කර මී පැණියෙන් අනා කුරුලෑ ඇති තැන්වල පමණක් ගාන්න.

* සුදුරු, කළුදුරු , අබ එළකිරෙන් අඹරා මුහුණේ ගාන්න.

* ලොත් සුඹුල් සහිඳ ලුණු වද කහ සමව ගෙන කෙසෙල් ගහේ ඉස්මෙන් අඹරා මුහුණේ ආලේප කරන්න.

* පාවට්ටා කොළ හොඳින් පොඩිකර තමාගේ ම කෙළ ස්වල්පයක් මිශ්‍ර කර කුරුලෑ ඇති තැන්වල ගාන්න. (කෙමක්)

* කෝමාරිකා මදය කූරුලෑ ඇති තැන්වල ගාන්න.

* අබ, සූදුරු, කූර තම්පලා එළකිරෙන් අඹරා මුහුණේ ආලේප කරන්න.

* ඉඹුල් ගහේ කටු එළකිරෙන් අඹරා මුහුණේ ආලේප කරන්න.

* කොත්තමල්ලි වදකහ වෙනිවැල්ගැට කෙසෙල් ගසේ ඉස්මෙන් අඹරා මුහුණේ ආලේප කරන්න.

* කොත්තමල්ලි ඇල්දියෙන් අඹරා මුහුණේ ගාන්න.

* වද කහ ලොත් සුඹුල් කොත්තමල්ලි ඇල් දියෙන් අඹරා මුහුණේ ගාන්න.

* කොකුං පොකු වියළි කහ කෝමාරිකා ඉස්මෙන් අඹරා දින 3ක් මුහුණේ ගාන්න.

* අමු මයිසූර් පරිප්පු එළකිරෙන් අඹරා මුහුණේ ගාන්න.

* අමු පැපොල් මද එළකිරෙන් අඹරා මුහුණේ ගාන්න.

* නින්දට පෙර, උණුවතුරට දෙහි ඇඹුල් බිංදු 2ක් පමණ දමා මුහුණ සේදීම සුදුසුයි.

* බෙහෙත් අනෝදා කොළ ටිකක් හොඳින් තලාගෙන උණුවතුර කෝප 1/2ට දමා වසා තබා නිවුන පසු කුරුලෑ මත තබන්න. ( දින කිහිපයක් සෑහේ)

* කලාදුරු අලයක් ඇල්දියෙන් අඹරා කුරුලෑ මත ආලේප කිරීම සුදුසුයි.

* අමු කහ, කොහොඹ දළු මී පැණියෙන් අඹරා තලපයක් සේ සාදා කුරුලෑ මත ආලේප කර විනාඩි 20ක් තබා මුහුණ ඇල්දියෙන් සෝදන්න.

* සියඹලා පොතු විනාකිරෙන් උරච්චි කර කුරුලෑ මත ආලේප කරන්න.

* පින්ඩ තෛලය මණ්ඩිය මුහුණේ ගා විනාඩි 20ක් තබා එය පිසදා පසුව මදටිය කොළ, මගුල් කරඳ කොළ, පේර කොළ, නික කොළ පාවට්ට කොළ තම්බා විනාඩි 5ක් පමණ මුහුණට වාෂ්ප ඇල්ලීම.

ශරීරයේ තෙල්ගතිය හා සැර ගතිය වැඩි වූ විට කුරුලෑ මතු විය හැකියි. සමහර අයගේ වයස අනුව ද කුරුලෑ ඒම සිදුවිය හැකියි. අවුරුදු 16 සිට 25 දක්වා වයස කාල පරාසයක අයට මේ තත්ත්වය බෙහෙවින් බලපානවා. මේ නිසා මෙම රොගී තත්ත්වය යෞවන පිඩකා නමින් ද හඳුන්වනවා. හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසාද මේවා මතුවීමට බලපානු ලබනවා. තක්කාලි, සැමන්, බල මාළු කුරුලෑ එන අයට විශේෂයෙන්් සුදුසු නැහැ.

හොඳින් වතුර පානය වැදගත් වෙනවා. රණවරා, නෙල්ලි, රසකිඳ බිම විශේෂයෙන් ගුණ දෙනවා. මින් ඇඟේ තිබෙන උෂ්ණගතිය හා සැරගතිය අඩු කර ගත හැකියි. ඉහත දැක්වූ ආලේපන එකවිටම මුහුණේ ආලේපය සුදුසු නොවන්න පුළුවන්. සමහර අයට මෙම ආලේපන අසාත්මික වන්නට පුළුවනි. ඒ නිසා හමේ එක් තැනක පමණක් ආලේප කර තමාට සුදුසු ද කියා දැනුවත් වී හෝ වෛද්‍ය උපදෙස් මත කිරීම සුදුසුයි. බොහෝ කුරුලෑ තියෙන කෙනෙක් නම් වඩා සැළකිලිමත් වීම සුදුසුයි.