කටහඬේ දුර්වලතා මඟ හරවන හඬ චිකිත්සාව

කටහඬේ දුර්වලතා මඟ හරවන හඬ චිකිත්සාව

Voice Therapy

ඔබ නිතරම ඔබගේ පෙනීම හැඩරුව පිළිබඳ සැලකිලිමත්වනවා වගේම ඇතැම් විට ඔබ නොසිතන දේ පවා ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගැනීම සඳහා එක ලෙසින් වැදගත්. ඒ අතර අපගේ වාසනාවට අපට හිමි කටහඬ පෙනීම ආදිය ඉතාම වැදගත්. නමුත් යම් අයෙකුට කටහඬක් හිමි වූ පමණින්ම එය සර්ව සම්පූර්ණ බවට පත්වන්නේ නම් නැත. ඊට හේතුව ඔබ පුරුෂයෙක් හෝ ස්ත්‍රීයක් නම් ඔබට ආවේනික වූ කටහඬකට හිමිකම් කීවද සමහර අවස්ථාවල මෙම කටහඬෙනිහි යම් යම් වෙනස්කම් සිදුවී තිබීමයි.

එය වඩාත් පැහැදිලිව පැවසුවොත් පිරිමි අයට කාන්තා කටහඬක් ද කාන්තාවන්ට පිරිමි කටහඬක් හිමි වීම ලෙස පැහැදිලි කළ හැකියි. ඇතැම්විට මෙවැනි ගැටලු බොහෝ අයට තමාගේ පෞරුෂය ගොඩනඟා ගැනීමේදී විශාල ගැටලුවක් බවට පත් වනවාට අමතරව දැඩි මානසික පීඩාවක්ද එල්ල කරනු ලබයි. කෙසේ වෙතත් අපි මේ පිළිබඳව ආචාර්ය මිහිර වික්‍රමආරච්චි සමඟ ගෙන එන කතාබහ ඔබත් එවැනි ගැටලුවකට මුහුණ පා සිටින්නේ නම් ඉන් නිදහස් වීම සඳහා කදිම උපකාරයක් වේවි.

ඔබගේ කටහඬ යම් යම් දුර්වලතා පවතිනවා නම් ඒ සඳහා හඬ චිකිත්සාව (Voice Theropy)  ඊට හොඳම පිළියමක්, බොහෝ අය තමාගේ කටහඬෙහි පවතින යම් යම් දුර්වලතා අඩු ලුහුඬුකම් නිසා කණගාටුවකට පත්වෙනවා. ඊට අමතරව කටහඬ නිතරම භාවිතයට ගන්නා අයටද මුහුණ දීමට සිදුවන විවිධ රෝග අවස්ථා වලට ද මේ හඬ චිකිත්සාව ඉතා හොඳ පිළියමක්. ඉහත පැහැදිලි කළ ආකාරයට නිවේදක නිවේදිකාවන්, ගුරුවරු, ගායක ගායිකාවන් ආදී විවිධ වෘත්තීන්හි නිරත වන අයට කටහඬහි සිදුවන සුළු හෝ වෙනස්කම් ඉතාමත් වැදගත් වේ. ඊට හේතුව ඔවුන් තමාගේ වෘත්තීන් සඳහා මූලික වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ කටහඬෙහි වීම නිසායි. තවද දිගින් දිගටම කටහඬ යොදා ගැනීම, වටපිටාවේ ශබ්ද සහිත පරිසරවල සිට උස් හඬින් කතාබහ කිරීම නිසා මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග නිසාත් මේ තත්ත්වයට පත්විය හැකියි.

මෙය වඩාත් සරලව කටහඬ වැරදි ලෙස භාවිතය සහ වැඩි වශයෙන් භාවිතා කිරීම නිසා මේ රෝගයට ගොදුරු වනවා යැයි පැවසිය හැකියි. මෙසේ උගුරේ ස්වර තන්ත්‍ර නිතරම කම්පනය වීම නිසා එහි සියුම් ගෙඩි ඇතිවීම සහ ස්වරතන්ත්‍ර අතර හිදැස් ඇතිවීම නිසා මෙම අපහසුතාව ඇතිවිය හැකියි.

කෙසේ වෙතත් මෙම රෝගය නිසා රෝගියාට මුහුණ දීමට සිදුවන අපහසුතා පහත ආකාරයට පැහැදිලි කළ හැකියි. එවැනි අපහසුතාවකට මුහුණ දුන් අයෙකුට කටහඬ අඩුවැඩි කිරීම අපහසුවීම, ස්වර පරාස වෙනස් කළ නොහැකිවීම, කටහඬ ගොරෝසු වීම සහ කටහඬ භාවිතා කර කිසිදු කාර්යයක් කිරීමට නොහැකිවීම ආදී ලක්ෂණ ඇතිවිය හැකියි. කෙසේ වෙතත් යම් අයෙකුගේ ස්වර තන්ත්‍රවල ඇතිවන යම් ප්‍රශ්නයක් නිසා පීඩාවට පත්වී සිටින්නේ නම් ඒ සඳහා හඬ චිකිත්සාව යටතේ සිදු කරන ප්‍රතිකාර මඟින් සම්පූර්ණ සුවයක් ලබා ගත හැකියි.

ඒ අතර ව්‍යායාම මඟින් හා කටහඬ පාලනයට ලැබෙන උපදෙස් මඟින් මේ තත්ත්වය පාලනයකට ලක් කළ හැකියි. ඒ වගේම මෙවැනි අයට ක්‍රමානුකූල චිකිත්සක ක්‍රමවේද මඟින් හඬ නිවැරදි ලෙස ව්‍යායාම කරවීම මඟින් ඇති වී ඇති අපහසුතා මඟහරවා ගත හැකියි. මෙම හඬ චිකිත්සාවේදී අදාළ රෝගී තැනැත්තාට ඇති වී තිබෙන රෝග ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීමක් කළ යුතුයි.

එහිදී එම තැනැත්තා කටහඬ අනවශ්‍ය ලෙස භාවිතා කිරීම ඇතුළු බොහෝ නිවැරදි නොවන හඬ භාවිතා කිරීම පිළිබඳ විමසීමට ලක් කරණු ලබයි. එමඟින් තමා කරන වැරදි ක්‍රියා පාලනය කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ව්‍යායාමත් නිසි පරිදි ලබාදිය හැකියි. තවද පෙර දැක්වූ ආකාරයට ස්වර තන්ත්‍ර යුගලවල ඇතිවිය හැකි යම් ගෙඩියක් නිසා හෝ ස්නායු ගතව ඇතිවිය හැකි දුර්වලතා මෙන්ම ස්වර තන්ත්‍ර දෙකම හෝ දෙකෙන් එකක් ආඝාතයට ලක්වීමෙන් ද රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. ඒ හේතුවෙන් කටහඬ යොදා ගෙන සිදු කරන කාර්යයන්හිදී තමාට අවශ්‍ය පරිදි එය යොදා ගැනීමට නොහැකි වේ.

මෙම අපහසුතාව මඟහරවා ගැනීමට ශල්‍යකර්ම අවශ්‍ය නොවන අතර ඉතා පහසුවෙන් නිසි උපදෙස් අනුව ලබාගන්නා ව්‍යායාම මඟින් ඉහත අපහසුතා මඟහරවා ගත හැකියි.

නමුත් ඇතැම් පිරිසකට නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවීසිටීමෙන් ශල්‍යකර්ම පවා කිරීමට සිදුවිය හැකියි. මේ කරුණු කාරණාවලට පරිභාහිරව සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ ඇතැම් කාන්තාවන්ට පිරිමි කටහඬක් හිමිවීමත්, සමහර පිරිමි අයට කාන්තා කටහඬක් හිමිවීමත්ය.

මෙය සමාජය තුළ බහුලව දැකගත හැකි අතර මෙවන් අය දුටුවිට සමාජයේ බොහෝ පිරිසක් ඔවුන් අවමානයකට ලක් කරයි. නමුත් එසේ විමට හේතුව ඔවුන් කුඩා කල සිට ඇති කරගත් පුරුද්ද නිසා ඔවුන්ගේ කටහඬ ඊට අනුව අනුවර්තනය වීමයි. නමුත් ඔවුන්ට ක්‍රමානුකූලව හඬ චිකිත්සාව ලබාදීම (Voice Theropy)) මඟින් තමාට ආවේනික යම් හඬකට හුරුකරවා ගත හැකියි.

ඒ වගේම මෙම පණිවිඩය ඉහත සඳහන් කළ ආකාරයේ ගැටලු වලට මුහුණ පා සිටින සැමට සහනදායී ආරංචියක් වනු නොඅනුමානයි.