පාසල් දරුවන්ට වැළඳුන කැසීම, පළුදැමීම, රතු වීමට හේතුව කුමක්ද?

පාසල් දරුවන්ට වැළඳුන කැසීම, පළුදැමීම, රතු වීමට හේතුව කුමක්ද?

පසුගිය මාසයේ පාසල් කීපයක ප්‍රථමික අංශයේ සිසු සිසුවියන් පිරිසකට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කිරීමට සිදුවුවා, ඔබට මතකද? හිටි හැටියේ ඔවුන්ට ඇතිවූ මෙම අසනීප තත්ත්වයට හේතුව යම් අසාත්මිකතාවක ප්‍රතිඵලයක් බව බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඊට හේතු වූයේ එහිදී පහළ වූ රෝග ලක්ෂණ බොහෝ දුරට අසාත්මිකතාවක (ඇලජි එකක) රෝග ලක්ෂණ හා සමාන වූ නිසයි.

එහිදී ඔවුන්ට ඇතිවූ ඇඟ කැසීම, රතුවීම ආදී ලක්ෂණ බැලූ බැල්මට අසාත්මිකතාවක් නිසා සිදුවිය හැකි බව ඒ මොහොතේ බොහෝදෙනෙක් විශ්වාස කළත් ඊට බලපෑ නිවරදි හේතුව කුමක් දැයි තහවුරු කර ගැනීමට කිසිවකු අපොහොසත් වූවා. ඒ නිසා සෞඛ්‍ය ඇමතිතුමාගේ නියමය මත වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදා ගෙන සිදු කරන ලද පරික්ෂණයක ප්‍රතිඵල විමසා බැලීමට සිදුවූවා.

මෙම කණ්ඩායමට කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් සහ මානසික රෝග වෛද්‍යවරයෙක් ද ඇතුළත් වූවා. ඒ සමීක්ෂණ අනුව හෙලිවී තිබුණේ ඉහත පැහැදිලි කළ සිදුවීම් හා සමාන තවත් සිදුවීමක් ඇසීමට, දැකීමට ලැබීමෙන් සිත තුළ ඇති වූ බිය සහ චකිතය මීට හේතු වූ බවයි.

කෙසේවෙතත් අදාළ සිදු වීමට මුහුණ දුන්නේ ප්‍රථමික අංශයේ පාසල් සිසුන් සමුහයක් නිසා එය මානසික වශයෙන් ඔවුන්ට බලපෑ තත්ත්වයක් යයිදැයි පැහැදිලි කර ගැනීමට, මෙවර මානසික රෝග හා සම්බන්ධ ලිපි මාලාව යටතේ අපි කථා බහ කිරීමට සිතුවා.

මේ සඳහා සම්බන්ධ වූයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අරුණි අබේසිංහ මහත්මියයි. ඇය ඒ සිදුවීම සම්බන්ධව මෙන්ම ඇති වූ රෝග තත්ත්වයේ මානසික පසුබිම පිළිබඳව අපට අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්ය.

මෙම තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළොත්?

මෙවැනි තත්ත්ව මෑත කාලයේදී පමණක් නොව අතීතයේදීද සිදුවී තිබුණා විය හැකියි. ඒ වගේම ලංකාව වැනි රටවල පමණක් නොව ලොව ඕනෑම රටක මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. කාලයෙන් කාලයට බොහෝදුරට එකම අවශ්‍යතාවන් මත කටයුතු කරන පුද්ගලයන්ට මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

ඉහත සඳහන් සිදුවීම පාසලක් මූලික කර ගත්තද සිරගෙවල් වැනි කුඩා සමාජ පද්ධති තුළද මෙවැනි මානසික තත්ත්වයන් ඇතිවිය හැකියි. මනෝ වෛද්‍ය විද්‍යානුකූලව මෙම මානසික ස්වභාවය Mass Hysteria ලෙස හැඳින්වේ. තවද මෙම රෝගී තත්ත්වය යටතේ කථාබහට ලක්වන පුද්ගලයන් ඉතාම කලබලකාරී පහසුවෙන් සිත කැලඹීමට ලක්වන තැනැත්තන් විමද තවත් විශේෂත්වයක්.

ඒ අනුව සුළු හෝ සිදුවීමකින් පවා ක්ෂණිකව සිතේ ඇතිවන චංචල ස්වභාවය මෙම Mass Hysteria වට ගොදුරු වන තැනැත්තන්ගෙන් දැකගත හැකියි. පසුගිය දිනක වාර්තා වූ සිදුවීමේදී ඊට මුහුණ දුන්නේද එවැනි කුඩා දරුවන් පිරිසකි.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් යනු නිතරම සුළු හෝ සිදුවීමකින් පවා කැළඹෙන සිතකින් යුත් අයයි. ඒ නිසා පහසුවෙන් විවිධ සිදුවීම් හා සම්බන්ධව බිය සහ චකිතයන් සිතට කාවදී. ඒ නිසා පෙර අවස්ථාවකදී ඔවුන්ට

යම් සිදුවීමක් හා සම්බන්ධව අසන්නට ලැබුණු තොරතුරක් නිසා යම් චකිතයකට පත් වූවා විය හැකියි. ඒ නිසා කුඩා දරුවන්ට මානසික රෝග නොවැළඳුනද මෙවැනි මානසික තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූවා හැකිය. Hysteria යනු අතීතයේදී කාන්තාවන්ගේ ළාමක ගති ස්වභාවයක් හා සම්බන්ධව හැඳින්වූ තත්ත්වයකි.

මෙය සාමාන්‍ය රෝග තත්ත්වයකින් වෙනස් වන්නේ කෙසේද?

බොහෝදුරට අපගේ ශරීරය විවිධාකාර රෝග වලදී විවිධ වූ අසාත්මිකතා දක්වයි. එහිදී විශේෂයෙන් ආහාර වලට එක් එක් පුද්ගලයන්ගේ ශරීරය දක්වන ප්‍රතිචාර විවිධාකාරයි. ඉහත සිදුවීමේදී අදාල පාසල් සිසු සිසුවියන් ඇතිවුයේ එවැනි අසාත්මිකතා හා සමාන රෝග ලක්ෂණයි.

බැලූ බැල්මට ඒවා අසාත්මිකතාවක ලක්ෂණ හා සමාන වූවත් Mass Hysteria තත්ත්වය නිසා ඇතිවූ බව පැහැදිලි විය. ඒ නිසා (ඇලර්ජි) තත්ත්වයන්ගෙන් මෙම රෝග ලක්ෂණ වෙන් කර හඳුනා ගත යුතුයි. ඒ නිසා කැසීම, පළු දැමීම, රතු විම ආදී රෝග ලක්ෂණ හේතුවක් නොමැතිව ඇති වූවොත් කලබලයට පත් නොවිය යුතුයි.

තවද රෝහලක් කරා යාමට ප්‍රථම ඉහත රෝග ලක්ෂණවලට අමතරව වමනය, උණ, ඇස් කැසීම, ඔක්කාරය වැනි තවත් රෝග ලක්ෂණ තිබෙනවා දැයි විමසා බැලිය යුතුයි. මෙමඟින් සාමාන්‍ය අසාත්මිකතාවක රෝග ලක්ෂණවලින් Mass Hysteria වෙන්කර හඳුනාගත හැකියි.

මෙහි රෝග ලක්ෂණ ව්‍යාප්ත වීමට බලපාන හේතු මොනවාද?

සාමාන්‍යයෙන් මේවා කුඩා සමාජ පද්ධතිය ආශි‍්‍රතව එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන අයට ඇතිවේ. පෙර පැහැදිලි කළ ආකාරයට නිතර කැළඹෙන සුලු සිත් ඇති අය මේ පිළිබඳ ඇසීමෙන් පවා Mass Hysteria වට ගොදුරු වේ. රූපවාහිනි යන්ත්‍රයකින් හෝ ගුවන්විදුලියකින් මෙවැනි තත්ත්ව ඇසීමෙන් දැකීමෙන් ද රෝගය ව්‍යාප්ත වෙයි.

එක් පුද්ගලයෙකුට වැළඳීමෙන් ඔහු සිටින සමාජ පද්ධතියේ අනෙක් අයද ඊට පහසුවෙන් ගොදුරු වෙයි. දකුණු ආසියාතික රටවල අන් රටවලට සාපේක්ෂව මේ තත්ත්වය බහුල ලෙස දැකගත හැක්කේ ගුප්ත දේ පිළිබඳව විශ්වාස කිරීමයි.ඇතැම් අය අවතාර හොල්මන් දකිනවා යැයි කියන්නේ ඔවුන්ගේ මනස නිරතුරුව කැළඹෙන නිසයි.

එවැනි අය පහසුවෙන් මෙවැනි හිස්ටීරියා තත්ත්වයන්ට ගොදුරු වෙයි. කිසිදු කායික ගැටලුවක් නිසා හිස්ටීරියා තත්ත්වය ඇති නොවුනද මානසික ඇතිවන බිය මෙන්ම චකිතයද මීට හේතුවේ. මේ හා සමාන තවත් තත්ත්වයන් කාලයෙන් කාලයට ඇතිවීම අතිශයින් සාමාන්‍ය තත්ත්වයකි.

උදාහරණ ලෙස අද්භූත සත්වයන්, ලෝක විනාශය වැනි සිදුවීමකට පිට සක්වල ජීවීන් හා සම්බන්ධ දේ, හඳුනා නොගත් පියාසර වස්තූන් ආදිය පැහැදිලි කර ගත හැකිය. ඒ නිසා යම් සිදුවීමක් කන වැකුණු පමණින් ඒ පිළිබඳ කලබල නොවී ඊට බලපෑ නිශ්චිත හේතුව හඳුනා ගෙන ඒ අනුව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය.