මව HIV ආසාදිතයෙක් නම් දරුවාටත් HIV වැළඳෙනවාද?

මව HIV ආසාදිතයෙක් නම් දරුවාටත් HIV වැළඳෙනවාද?

සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබිනියක් බවට පත්වීම එතරම් පුදුමයට කරුණක් නොවේ. එසේ වුවත් ඇගේ කුස තුළ දරුවකු පිළිසිඳ ගන්නා අවස්ථාවකදී ඇගේ නිරෝගීබව වඩා වැදගත් කරුණක්. මක්නිසාදයත්, එසේ නොවුනහොත් එම රෝගී තත්ත්වයේ අවදානම දරුවාටද අත්විඳීමට සිදුවන නිසාවෙනි.

කෙසේ වෙතත් යම් රෝගී කාන්තාවකට දැනට සුවකළ නොහැකි මට්ටමේ අසනීපයක් වැළඳුනහොත් එමඟින් දරුගැබට සිදුවන්නේ කුමන තත්ත්වයක්දැයි විශේෂයෙන් විමසා බැලිය යුතුයි. HIV ඒඩ්ස් යනු එවැනි බරපතල රෝග අවස්ථාවක්.

ඒ නිසා HIV ඒඩ්ස් ආසාදිත කාන්තාවක් ගැබිනි බවට පත්වුවහොත් එවන් අවස්ථාවක ඇගේ දරුගැබ මුහුණ දෙන්නේ කුමන අවදානමකටදැයි විමසා බලමු. මේ සඳහා ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දු අසංක මහතාගෙන් තොරතුරු විමසා බලමු. මේ ඒ පිළිබඳව ඔහු දැක්වූ අදහස්

HIV ඒඩ්ස් මවගෙන් දරුවාට බෝවිය හැකිද? ඒ කෙසේද?

HIV යනු වෛරස් අසාදනයක් මඟින් බෝවන රෝගයක්. මෙය වෛරසය ආසාදිත මවකගෙන් කුසතුළ සිටින දරුවාට සම්ප්‍රේෂණය විය හැකියි. එය ආකාර තුනකි.

එනම්

1. දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී
2. මව්කිරි ලබාදෙන අවස්ථාවේදී
3. ගැබ් කාල සීමාවේ ඇතැම් අවස්ථාවලදී

දරුවාට HIV වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකියි. අවාසනාවට ලංකාව තුළ වාර්තාවන දත්තයන්ට අනුව මෙවැනි මව්වරුන්ගෙන් දරුවාට රෝගය බෝවූ අවස්ථා ඉතාමත් සුලබයි. මෙය මුළුමනින්ම සුවකළ නොහැකි රෝග තත්ත්වයක් වන අතර කළ හැක්කේ රෝගය පාලනය කිරීම පමණි. මෙම ඖෂධ ගර්භණී කාලය තුළ භාවිතා කිරීමෙන් දරුගැබට යම් හානියක් ඇති කරාවි යැයි බොහෝඅය විශ්වාස කළද ඒ මුළුමනින්ම වැරදි අදහසක්

HIV ආසාදිත ගැබිනි කාන්තාවක් නිවැරදි වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුත්තේ කෙසේද?

යම් කාන්තාවක් තමා HIV ආසාදිත ගැබිනියක් යයි හඳුනාගැනීමෙන් අනතුරුව විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කරා යොමුවිය යුතුයි. ඉන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මඟින් රෝගී ගැබිනි කාන්තාව රැකබලා ගනු ලබයි.

එම කණ්ඩායමට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක්, HIV ඒඩ්ස් පිළිබඳ කායික රෝග වෛද්‍යවරයෙක් මෙන්ම හෙද හෙදියන් සමූහයකගෙන්ද සමන්විතයි. කෙසේ වෙතත් ඇගේ මුළු ගර්භණී කාලය පුරාවටම මෙම වෛද්‍ය කණ්ඩායමේ රැකවරණය යටතේ ගත කිරීමට සිදුවේ. එම කණ්ඩායම විසින් ඇගේ සෞඛ්‍ය පිළිබඳ නිරතුරුව විමසීලිමත් වන අතර රහස්‍ය භාවය පිළිබඳව වගකීමකින් යුතුවද කටයුතු කරයි.

මවකගෙන් දරුවාට රෝගය බෝවීම අවම කරන්නේ කෙසේද?

මවගෙන් දරුවාට බෝවීම වළක්වා ගැනීමට ඖෂධ ලබාදෙන අතර එමඟින් වෛරස් ප්‍රමාණයද අඩු කෙරේ. එහිදී වෛරස් දැක ගත නොහැකි මට්ටමට අඩු වුවහොත් ඇයට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට වෛද්‍යවරුන් නියම කරයි.

එසේ නොවුනහොත් සිසේරියන් ශල්‍යකර්මය ඊට සුදුසු යයි තීරණය කරනු ලබයි. කෙසේ වෙතත් දරුවා ප්‍රසූත කිරීමට ආසන්න අවස්ථාවේදී ප්‍රසව ශ්‍රාවයන් පිටවීමට පටන් ගතහොත් පැය 04 ක් ඇතුළත ඇය වහාම රෝහල් ගත කළ යුතුයි.

එසේ නොකිරීමෙන් ක්‍රමයෙන් කාලය ගතවන විට දරුවා ප්‍රසුත වුවහොත් එමඟින් වෛරසය දරුවාට ආසාදන විය හැකි නිසයි. මව්කිරි නිසාද දරුවාට HIV ආසාදනය වියහැකිය.

නමුත් මව ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අනුව ළමා රෝග වෛද්‍යවරයෙක්, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් සහ HIV ඒඩ්ස් පිළිබඳ කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් එකතුව දරුවාට මව්කිරි ලබාදීමට සුදුසු නුසුදුසු බව තීරණය කරනු ලබයි. මේ තත්ත්වයන්හිදී හැරුණු විට දරුවා සිප වැළඳ ගැනීමෙන් ස්පර්ෂයෙන් රෝගය බෝ නොවන බව මතක තබාගත යුතුයි.