බෙල්ල ආශි‍්‍රත වේදනාවෙන් මිදෙන්නට කළ යුතු ව්‍යායාම

බෙල්ල ආශි‍්‍රත වේදනාවෙන් මිදෙන්නට කළ යුතු ව්‍යායාම

රෝගය ඇතිවීම

බෙල්ලේ වේදනාවන් සිදුවන්නේ ගෛ‍්‍රවිකශේරුකා අතර ඇතිවන ආසාදනයක් නිසා ය. මෙය කොඳු නාරටිය හා අස්ථි සම්බන්ධවන ස්ථානයේ ඇතිවන්නක්. මේ තත්ත්වය ඇතිවීමට වයස් බේදයක් බලනොපායි. ලොකු කුඩා කා හටත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. එසේම මේ නිසා උරහිස හා බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය කාලයක් පුරාවට වේදනාව සහිතව පැවැතිය හැකියි.

රෝගයෙන් ආරක්ෂා වීමට

ශාරීරික සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගත යුතුයි. ශරීර පද්ධති දුර්වල වී ඇති අවස්ථාවක මෙය ඇති වීමේ අවස්ථා වැඩියි. එනිසා තම ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුතුයි. එසේම රෝගය ඇති වූ අයෙක් නම් බෙල්ලට හානියක් නොවන ආකාරයෙන් ව්‍යායාම් වෙත යොමුවීම අත්‍යවශ්‍යයි.

ඒ අනුව බෙල්ල අවට පේශි ඉතා හොඳීන් ශක්තිමත් කර ගත යුතුයි. එසේ ශක්තිමත් කිරීමට ව්‍යායාම් ආරම්භ කිරීමේ දී ක්‍රමානුකූලව වේගය මෙන්ම කැරකවීමේ පරාස වැඩි කරගත යුතුයි.

කළ හැකි ව්‍යායාම්

ප්‍රථමයෙන් බෙල්ල ඉදිරියට නැවීම ආරම්භ කළ හැකියි. එසේ තත්පර 5ක පමණ කාලයක් ගත කළ පසු නැවත පිටු පසට නැවිය හැකියි. ඒ අයුරින් දකුණු පසට හා වම් පසට ද බෙල්ල හැරවිය යුතුයි. මේ සෑම ඉරියව්වක් සඳහාම තත්පර 5 - 10ක අතර කාලයක් වැය කරන්න.

මේ අවස්ථාවට පැමිණි අයෙකු තම සිරුර සෘජුව තබාගෙන ව්‍යායාමයට යොමුවිය යුතුයි. මේ අයුරින් හැකි සෑම අවස්ථාවකම තම ගෙලට හානියක් නොවන අයුරින් ව්‍යායාමයේ යෙදෙන්න. රෝග තත්ත්වය ක්‍රමයෙන් අවමවන විට බෙල්ල ආශ්‍රිතව ප්‍රතිරෝධ යොදා ව්‍යායාම් ආරම්භ කරන්න.

ඒ සඳහා ශරීරයේ අවයවම යොදා ගත හැකියි. බෙල්ල ඉදිරියට නැවීමේ දී අත නිකටට තබා විරුද්ධ පසට තල්ලු කළ හැකියි. මේ ආකාරයේ ප්‍රතිරෝධ යෙදවීමෙන් ඉක්මන් ප්‍රතිඵල ළඟා කරගත හැකියි. ස්වායු ගණයේ ව්‍යායාම් වෙත පිවිසෙන්නේ නම් එනම් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම කරන්නේ නම් බෙල්ලට කොලරයක් දැමිය යුතු ය.

අවධානය යොමු කරවීම

වයස්ගත වූවන්ට මේ රෝගය වැළඳුනහොත් එය දරුණු රෝගයක් විය හැකියි. ඒ අනුව ඔවුන්ගේ බෙල්ලේ අස්ථි බිඳී යා හැකියි. එනිසා මොවුන් ශරීරයට නොදැනෙන සේ ව්‍යායාම් වෙත යොමුවිය යුතුයි. ඒ සඳහා ව්‍යායාම් උපදේශකවරයකුගෙන් හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

කම්පන තත්ත්වය වැඩි වුවොත් එය කොඳුනාරටිය දිගේ ඉහළ යා හැකියි. එය දරුණු ආබාධ ඇතිකර රෝගියා සදාකාලික ආබාධිතයකු බවට පත්වීමට ද හේතුවක් වනු ඇත. එනිසා දරුණු ලෙස රෝගය ඇත්නම් ව්‍යායාමයට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යය වේ.

වැදගත්

එකම ඉරියව්වෙන් යම් කාර්යයක් කිරීමේ දී වරින් වර ඉරියව් වෙනස් කර බෙල්ල ආශ්‍රිත පේශි චලනය කරවීමට සැලැස්වීම ද මෙයින් ආරක්ෂා වීමේ එක් පියවරකි. එසේම වැඩි බරක් යොදා බෙල්ල ආශ්‍රිතව යම් කාර්යයක යෙදීමේ දී ද කල්පනාකාරී විය යුතුයි. මේ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම රෝගය පාලනය කර ගැනීම හෝ ඇති නොවීමට පියවර ගැනීමට හැකිවනු ඇත.