දරුවන් හඳුනාගෙන ආදරණීය මවක් පියෙක් ලෙස ඔවුන්ගේ ගැටලු විසඳා දෙන්න

දරුවන් හඳුනාගෙන ආදරණීය මවක් පියෙක් ලෙස ඔවුන්ගේ ගැටලු විසඳා දෙන්න

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දූ දරුවන්ගේ ජීවිතයට සිදුවන විනාශය අප පසුගිය කලාප හරහා විවධ අංශවලින් විමසා බැලුවා. ඇත්තටම මෙවැනි අනිසි ක්‍රියාවලින් දරුවන්ව ඈත්කර ගැනීමට දෙමවුපියන්ට කළහැකි විශාල කාර්යභාරයක් තිබෙනවා.

ඒ ගැනත් අප විමසා බලමු. මෙම ලිපි පෙළේ මුල් ලිපියේ විමසා බැලූ පරිදි දරුවන් අනිසි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමට මූලික හේතුවක් ලෙස හඳුනා ගැනුණේ ගෘහ පරිසරයේ ගැටලු, දෙමාපියන්ගේ ඈත් වීම වගේ සුලබ සාධක. එසේ නම් දෙමාපියන් වශයෙන් දරුවන්ව ඔබේ ඇසුරේ තබාගත හැකි යෝජනා කීපයක් බලමු.

පවුලේ එකමුතුව ආරක්ෂා කර ගැනීමට හැමවිටම උත්සාහ දරන්න

මෙය ඉතාම යහපත් පියවරකි. එවැනි එකමුතු බවක් පවුලේ සියලුදෙනාගේ ගැටලු සාකච්ඡා කිරිමට හොඳම පරිසරයක්. එවැනි පරිසරයක් නිවස තුළම ඇතිනම් දරුවන්ට ප්‍රශ්න විසඳා ගැනීමට බාහිර පුද්ගලයින්ගේ උපකාර පැතීමට අවශ්‍ය නොවේ.

නිවාඩුවට පවුලේ හැමෝම විනෝද චාරිකාවක් යන්න

මෙයද ඉතා යහපත් පියවරක් වේ. වැඩිහිටියන් වෙන වෙනම හෝ දරුවන් වෙන් වෙන්ව විනෝද ගමන් යතත්, හැකි සෑම විටකම පවුලේ චාරිකාවක් යොදා ගැනීමද පී‍්‍රතිමත් හා නැණවත් ක්‍රියාවකි. එවන් ගමනකදී දෙමාපියන් හා දූදරුවන් බැඳීම වැඩිවෙයි. පවුලේ එකමුතුව මෙන්ම සතුටද වර්ධනය වෙයි.

ඒ ආදරය හා සතුටද, දරුවන් දෙමාපියන් හරහා තම ගැටලු නිරාකරණය කර ගැනීමට පෙළඹීමට කදිම හේතුවක් වනු ඇත.

ඉඳහිට කෑම ටිකක් ගෙදරට පිටින් ගෙනත් කන්න

මෙය කඩචෝරු කෑමට පෙළඹවීමට කරන යෝජනාවක් නොවේ. නමුත් පවුලේ පී‍්‍රතිය සමගිය වර්ධනය කරගැනීමට කදිම අදහසකි. ඉඳහිට මෙවන් අවස්ථා දරුවන්ද සමඟ සාකච්ඡා කර උදාකර ගන්න. දෙමාපියන් හා දරුවන් ළං කරන මෙවැනි අවස්ථා බහුල වන තරමට දරුවන්ට ගැටලු ඇතිවීමේ ඉඩකඩ අඩුවන අතර යම් ආකාරයක ගැටලුවක් වෙතොත් එය දෙමාපියන්ට පැවසීමටද දරුවන් නොපැකිලෙනු ඇත.

දරුවන්ට ආදරේ බව පෙන්වන්න

දෙමාපියන් දරුවන්ට ආදරේ වුණත් හුඟක් දෙමාපියන් ආදරය නොපෙන්වන අවස්ථා ද ඇත .විශේෂයෙන් පියවරුන්.

ඒත් හැමවිටම නොවුණත් දරුවන්ට ආදරය පෙන්වීම හොඳ දෙයක්. ආදරය පෙන්වන විටයි දරුවන් දැනගන්නේ ඒ අය තමන්ට ආදරය කරන බව.

ඒ වගේ අවස්ථා නිතර ඇතිවෙනවා නම් දරුවන්ට තමන්ගේ ගැටලු පැවසීමට වෙනත් බාහිර පුද්ගලයින්ගේ සහාය කුමටද?

දරුවන්ට ළංවී ඔවුන්ගේ ගැටලු ගැන සොයා බලන්න. ඒවා විසඳා ගැනීමට උදව් කරන්න

මෙයද අතිශය වැදගත් අවස්ථාවකි. දරුවන්ට ආදරය කිරීම මෙන්ම දරුවන්ගේ ගැටලු සොයාබැලීමද දෙමාපියන්ගේ වගකීමකි. බොහෝ දෙමාපියන් සිතන්නේ දරුවන්ට ගැටලු ඇතිවන්නේ නැති බවයි. නමුත් එසේ නොවෙයි. දරුවන්ටත් ඔවුන්ගේ පරිසරයේ ඕනෑතරම් ගැටලු ඇතිබව අවබෝධකර ගැනීම වැදගත්. නිවසින් බැහැරව සමහරවිට පාසල තුළ, මිතුරන් අතරේ ඔවුන්ට විවිධ ගැටලු තිබිය හැකියි.

මේ ගැටලු හොඳින්ම හඳුනාගන්නේ දෙමාපියන්, ගුරුවරුන් නම් දරුවකුට එය කෙතරම් භාග්‍යක්ද? ඉතින් ඔබට ඒ දෙය කළ නොහැකිද? ඔවුන්ට ළං වී ඔවුන්ව හඳුනාගෙන ආදරණීය මවක් පියෙක් ලෙස ගුරුවරයෙකු ලෙස ඔවුන්ගේ ගැටලුව විසඳා දෙන්නට සූදානම් බව පැවසුවහොත් එය ඔබේ දරුවා ලබන හොඳම උණුසුමයි. රැකවරණයයි.

එවිටද ඔබේ දරුවාට වෙනත් බාහිර පුද්ගලයෙකුගේ ආධාර හෝ ඇසුර සොයා යනු ඇතැයි ඔබ සිතනවාද?

දරුවන්ට හරි දේ තෝරා ගන්න පුරුදු කරන්න

මෙය, අද සමාජයීය වශයෙන් අප අත්දකින අපහසුම දෙයකි. එනම් හරි දේ තෝරා ගැනීම. නමුත් දෙමාපියන් හැටියට ඔබ ඒ දෙය හරියට තේරුම් ගෙන තිබෙනවානම් එය දරුවන්ට පුහුණු කරවීම ඔබට කිසිසේත් අසීරු වන්නේ නැහැ. පාලනයෙන් තොර ජනමාධ්‍ය හරහා තත්ත්පරයෙන් තත්ත්පරයට මුදා හැරෙන විවිධ තොරතුරු සියල්ල නිවැරදි තොරතුරුම නොවෙයි.

අද අප සිටිනුයේ මායාව සහ සැබෑව අතර මං මුලාවූ ලොවකයි. ඒ නිසා ඔබ ඔබේ දරුවාව තදින් අල්ලා ගන්න. පවුලක් ලෙස හැමවිටම එකට සිටින්න. ආදරය කරන්න. මතුපිටින් නොව විශ්වාසයෙන් ආගම දහමට නැඹුරු වීමට දරුවාට හුරු කරවන්න. ඇත්තටම මේවා තමයි, ඔබේ දරුවන් විනාශයෙන් මුදවා ගතහැකි හොඳම සාධක.

විශේෂ ස්තූතිය නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයට

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම හා ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබන සතියේ