කුඩා දරුවන්ට ඇතිවන සන්ධි ආබාධවලට ප්‍රතිකාර නොකළොත් අනාගතයේදී ඔවුන් අන්ධ බවට පත්විය හැකියි

කුඩා දරුවන්ට ඇතිවන සන්ධි ආබාධවලට ප්‍රතිකාර නොකළොත් අනාගතයේදී ඔවුන් අන්ධ බවට පත්විය හැකියි

මෙවර  Meet Your Doctor  වැඩසටහනට සහභාගී වූයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සන්ධි හා සන්ධි ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොනිකා ද සිල්වා මහත්මියයි.

සන්ධි ප්‍රදාහය යනු රෝගයක් නොව රෝග ලක්ෂණයි. එතැනින් වෛද්‍ය සාකච්ඡාව ආරම්භ කළොත්

මෙහිදී විශේෂයෙන් ජානමය පසුබිමක් තිබෙන පුද්ලයෙකු අප නොදන්නා යම් හේතුවක් නිසා සන්ධි වල ප්‍රදාහය ඇතිවීමට පුළුවන්. ඊට මුල් වන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන වෙනස්වීමක් නිසා ඊට ප්‍රතිචායක් ලෙස ශරීරය මඟින් ශ්‍රාවය කරන විවිධ රසායන ද්‍රව්‍ය නිසා ඒ අවට තිබෙන පටක හානියට පත්වීමයි.

මෙහි රෝග ලක්ෂණ තව දුරටත් විස්තර කළහොත්

මෙහි රෝග ලක්ෂණ පිළිබඳව සඳහන් කරනවානම් සන්ධි ඉදිමීම හා ඒ සමඟම ඇතිවන නිරන්තර වේදනාව මෙහිදී දැකගත හැකි විශේෂිතම රෝග ලක්ෂණය. ඉහත රෝග ලකෂණ වලට අමතරව උදෑසන සන්ධිවල ඇතිවන තද ගතිය හා එම සන්ධි දිග හැර ගැනීමේ අපහසුව ද රෝගියෙකුට ඇතිවිය හැකියි.

නමුත් මෙම වේදනාව දිගින් දිගටම සන්ධිවල පවතිනවා හා මේ තත්ත්වය උදෑසන අවදිවූ පසු පැය 1/2 ක පමණ කාලයක් නොකඩවා පැවතිය හැකියි. එය සන්ධි ප්‍රදාහය නිසා ඇතිවන බව පැහැදිලි වේ. යම් අයෙකුගේ සන්ධි ඉතා තදබල ලෙස ප්‍රදාහයට ලක් වී ඇතිනම් දවස පුරාම දිගින් දිගටම සන්ධි වේදනාව ඇති විය හැකියි.

මීට අමතරව වැඩිහිටියන්ට දණිස් ආශි‍්‍රතව බහුලව වැළඳෙන ඔස්ටියෝ ආතරයිටීස් රෝගය පිළිබඳව විශේෂයෙන් කතාබහ කළ යුතුයි. මෙම රෝගයයේදී වේදනාවක් ඇති වූවද එය ඇතිවන්නේ සන්ධිවල ක්‍රියාකාරීත්වයක් සිදුවීමෙන් පසුවය.

නමුත් මෙම ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය දිගුකාලීනව පැවතීමෙන් සන්ධිවල වේදනාවද දිගුකාලීනව ඇතිවිය හැකියි. කෙසේ වෙතත් සන්ධි ආශි‍්‍රත ඇතිවන රෝග ලක්ෂණ ඇරුණු විට උණගතිය, කෑම අරුචිය, ශරීරයට දැනෙන වෙහෙස ආදියද මෙවැනි සන්ධි ප්‍රදාහයකදී දැකගත හැකියි.

මෙම ඔස්ටියෝ ඇතරයිටීස් තත්ත්වයේදීත් අනෙක් සන්ධි රෝගවලදීත් දැකගත හැකි පොදු රෝග ලක්ෂණ වන්නේ වේදනාව, ඉදිමීම සහ චලනයේ අපහසුව, තදබව ආදියි. තවද මෙම සන්ධිවල තදබව පැය 1/2 ක් පමණ වේයැයි පැවසුවද ඒ තත්ත්වය ඇතැම් අවස්ථාවලදී වෙනස් වීමටද හැකියි.

සන්ධිවල තද ස්වභාය බහුලව ඇතිවන්නේ කුමන ස්ථාන වලද?

මේවා ඕනෑම සන්ධියක ඇතිවිය හැකියි. දෑත්වල සහ පාදවල කුඩා සන්ධිවල බෙල්ල ශරීරයේ ඕනෑම තැනක මේ තත්ත්වය ඇතිවිය හැකියි.

සන්ධිවලින් පරිබාහිරව මෙවන් ආසාදන ඇතිවිය හැකි තැන් මොනවාද?

ඇස්වලට මේ තත්ත්වය බලපෑ හැකියි. විශේෂයෙන් දරුවන්ගේ ඇස්වල කිසිදු වෙනසකින් තොරව මේවා ඇතිවේ. මේ නිසා අවශ්‍ය ප්‍රතිකාර නොකළොත් අන්ධභාවයට පවා දරුවන් පත්විය හැකියි. රුමටොයිඩ් ආතරයිටීස් තත්ත්වයේදී වැඩිහිටියන්ගේ දැකගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණ ඇස්වල වියළි ගතියයි.

මීට අමතරව සමේ ගැටිතිද ඇතිවිය හැකියි. තවද පොතු කබර සමඟ ඇතිවන ආතරයිටීස් රෝගයේදී මූලිකව සමේ රෝග ලක්ෂණ දැකගත හැකියි. මීට අමතරව රුමටොයිඩ් ආතරයිටීස් තත්ත්වයේදී පෙනහලුවල ද මෙහි රෝග ලක්ෂණ දැක ගත හැකියි.

මෙම පෙනහලුවල ඇතිවන තත්ත්වයේ වියළි කැස්සක් ඇති වූවොත් එය ඉතාම බරපතල තත්ත්වයක් වන අතර එය 05% ක් පමණ අඩු ප්‍රතිශතයක පවතිනවා.

කුඩා දරුවන්ට ඇතිවන සන්ධිරෝගවල ස්භාවය පිළිබඳ පැවසුවොත්

කුඩා ළමුන් ලෙස අපි සලකන්නේ වයස අවුරුදු 16 ට වඩා අඩු ළමුන්ය. මෙහිදී බොහෝ දුරට යම් සන්ධියක් ඉදිමෙන බව දැකගත හැකි අතර මේ වෙනස දෙමාපියන්ට පැහැදිලිව දරුවාගේ හැසිරීම් නිරීක්ෂණ මඟින් හඳුනාගත හැකියි.

තවද දරුවන්ට වැළඳෙන සන්ධි රෝග අස්ථි සංඛ්‍යාව සහ රෝග ලක්ෂණ අනුව වර්ග කළ හැකියි. මෙහිදී ඇතැම් රුධිර පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ මඟින් මේ බව තහවුරු කරගත හැකියි. ඊට අමතරව අනෙකුත් සන්ධි ආශි‍්‍රතවද බහුලව මේ රෝගය ඇතිවිය හැකියි. තවද අධික උණ සමඟ ද ඇතැම් සන්ධි රෝග ඇතිවිය හැකියි.

කුඩා දරුවන්ට වැළඳෙන රෝග තත්ත්වය දෙමාපියන්ට හඳුනා නොගැනීමට නොහැකි වූවොත් ඉන් පසු මුහුණදෙන අවදානම

ඇත්තෙන්ම මුලදී රෝගය නිවැරදිව හඳුනා ගැනීමෙන් සන්ධිය විනාශ වීම වළක්වාගත හැකියි. මේ නිසා ඇස් වලට සිදුවන බලපෑම වැඩිවිය හැකි බැවින් දරුවන්ගේ ඇස් පරීක්ෂාකර ගැනීමද ඉතා වැදගත්. සමහර තැන්වල අස්ථිය විනාශ වීම ඉතා වේගවත්ව සිදුවිය හැකියි. (උදා. මැණික් කටුව සංධිය දැක්විය හැකියි) මෙම සන්ධිවල ක්‍රියාකාරිත්වය සීමාසහිත විය හැකියි. ඒ නිසා අදාළ රෝගය හඳුනා නොගැනීමෙන් සන්ධිය විරෑපී වීමට, විකෘති වීමටද ඉඩ ඇත.

උණත් සමඟ ඇතිවන ආතරයිටීස් රෝගය පිළිබඳව හැඳින්වුවහොත්

උණ සමඟ ඇතිවන මෙම රෝගයේදී සති 2කට වඩා අස්ථි වේදනාවත් සමඟ උණ ඇතිවිය හැකියි. මෙහිදී උණ ක්‍රමයෙන් වැඩි වෙමින් අඩුවේ. ඒ වගේම උණ පවතින අවස්ථාවේ සමේ වෙනස්කම් ඇතිවිය හැකියි.

(උදා - තාවකාලිකව මතුවන රතු පැල්ලම්) ඊට අමතරව අක්මාව හා ප්ලීහාව ඉදිමීමක්ද දක්නට ලැබේ. ඊට අමතරව සමහර දරුවන්ගේ වසා ගැටිති ඉදිමීමක්ද බොහෝවිට දැකගත හැකියි. මෙහිදී සංන්ධි වේදනාව උණ සමඟද උණ වැළඳී ඉන් පසුවද දැකගත හැකියි. සමහර අවස්ථාවල ඉදිමීම හැරුණු විට සංන්ධිවල වේදනාවක්ද පැවතිය හැකියි.

මේ රෝග තත්ත්ව හඳුනා ගැනීමට කරන පරීක්ෂණ මොනවාද?

ඕනෑම අයෙකුගේ මේ රෝගය හඳුනා ගැනීමට කළ යුතු පොදු පර්යේෂණ ගණනාවක් පවතිනවා. ඒ අතර ESR, FBC,CRP සහ මුත්‍රා පරීක්ෂණත් ඉතා වැදගත්.

ඒ හැරුණු විට ANA වැනි පරීක්ණත් සිදුකළ යුතුයි. සමහර විට උණ සහ සන්ධි වේදනාව සමඟ දරුවා පැමිණෙන විට ඒ සඳහා වෙනත් පරීක්ෂණද නියම කරයි. අවසාන වශයෙන් ඇට මිදුළු පරීක්ෂණයක් පවා මීට අවශ්‍ය විය හැකියි. කෙසේ වෙතත් මේ සියලු පරික්ෂණ තත්ත්වයේ බරපතලකම අනුව වෛද්‍යවරයෙක් විසින් නියම කරන ආකාරය අනුව සිදු කරන බවද විශේෂයෙන් සිහි තබා ගත යුතුයි.

කුඩා දරුවන්ට වැළඳෙන ආතරයිටීස් රෝගයේදී සිදුකරන ප්‍රතිකාර කුමන ආකාරද?

මෙය රෝග විනිශ්චය අනුව වෙනස් වෙනවා.

මේ සඳහා ඖෂධ නියම කරන අතර ඒවායේ අතුරු ආබාධද නැත්තේම නැහැ. ඒ නිසා ප්‍රතිකාර කරා යොමුවන විට අපි අනිවාර්යෙන් දරුවන්ටත් වැඩිහිටියන්ටත් අවවාද කරන්නේ උණත් සමඟ කැස්සක් ඇතිවුවහොත් ඖෂධ නවත්වන ලෙසටයි. මීට පසුව ඊට අදාළ රෝග පරීක්ෂණ නිසි පරිදි සිදු කරනවා.

ඇතැම් ඖෂධ වර්ග නිසා ඔස්ටියෝ පොරෝසිස්, ඇසේ සුද මතුවීම, දරුවාගේ මුණ මහත් වීම ආදී අතුරු ආබාධ ඇතිවිය හැකියි. ඒ වගේම ඇතැම් විට නික්ෂේපන මඟින්ද දරුවාට ප්‍රතිකාර ලබාදීමට පවා සිදුවේවි.

ස්වාධීන රූපවාහිනියේ Meet your doctor වැඩසටහන ඇසුරෙනි

විශේෂ ස්තූතිය - වෛද්‍ය සුදම් දම්සිංහට සහ ස්වාධීන රූපවාහිනියේ විධායක නිෂ්පාදක සුමිත්ත කුරුප්පු මහතාට