රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්නා විට ලේබලය හොඳින් කියවන්න නැතිනම් ඔබ අමාරුවේ වැටේවි

රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්නා විට ලේබලය හොඳින් කියවන්න නැතිනම් ඔබ අමාරුවේ වැටේවි

රූපලාවන්‍යය රැකගැනීම සඳහා ඔබ දරණ වෙහෙස අතිමහත්ය. ඒ සඳහා නොකරන දෙයක් නොමැති බව දන්නා නිසාම රූපලාවන්‍යයන් සුරකින බව පවසමින් වෙළඳපොළෙහි ඇති ආලේප, ක්‍රීම්, සුවඳ විලවු ආදී නිෂ්පාදන, ඔබ අන්දමන්ද කරවන පාඨ - යෙදුම් සිය ඇසුරුම්වල යොදති. මෙම නිෂ්පාදන මිලදී ගන්නා බොහෝ අයට එහි සඳහන් පාඨවල තේරුම අවබෝධ කර ගැනීමත් අපහසුය.

මෙවැනි ඇසුරුම්වල සුලබව යොදන නම් කිහිපයක අදහස මෙසේය. මන්ද ආසාත්මිකතාවෙන් යුතුය. (හයිපොඇලර්ජනික් Hypoallergenic)

මෙහි අදහස නම් සුලබව අසාත්මිකතා ඇති කරවන සුරක්ෂිත ද්‍රව්‍ය හා සුවඳ විලවුන් වර්ග එක්කර නොමැති බවයි. එහෙයින් භාවිතා කරන අය හට අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට පවත්නා හැකියාව බොහෝ අඩුය. එහෙත් එවැනි තත්ත්වයක් ඇති නොවන බවට සහතිකයක් ද නොමැතිය. ඒ මෙවැනි නිෂ්පාදන තුළ ඇති රසායනික මිශ්‍රණ පවා සමහර අයට අසාත්මිකතා නැතිනම් ඇලර්ජි තත්ත්වයන් ඇති කළ හැකි බැවිණි.

අසාත්මිකතා සඳහා පරීක්ෂා කර ඇත (ඇලර්ජි ටෙස්ටඩ් Allergy Tested) අදාළ නිෂ්පාදන සමාගම විසින් තම නිෂ්පාදනය සමේ ඇතිවන අසාත්මික තත්ත්වයන් ( සම රතුවීම, කැසීම, ලප හා කුෂ්ඨ මතුවීම ආදී) සඳහා “පැච් ටෙස්ට්” එනම් පරීක්ෂණ සිදුකර ඇතිබව මෙහි අදහසය. එහෙත් මේ පරීක්ෂණ සඳහා සම්මත නියාමන නොමැත. එසේම සමාජයේ සියලුදෙනා නියෝජනය වන පරිදි “පැච් ටෙස්ට්” කළ නොහැකි නිසා, ඔබ ආලේප කරගත් ආලේපය ඔබට ගැලපේද යන්න ගැන නිශ්චිත සහතිකයක් ලද නොහැකිය.

චර්මවේදීයව පරීක්ෂා කර ඇත (ඩර්මටොලොජිකලි ටෙස්ටඩ් Dermatollogically Tested) මෙම පරීක්ෂණය සඳහා ද නිශ්චිත නියම හෝ නියාමන හෝ නොමැති නිසා මෙම යෙදුම සඳහා ද සහතිකයක් දීම අපහසුය. පරීක්ෂණය සිදුකළ චර්ම විිශේෂඥවරිය අදාළ නිෂ්පාදනය තම සිරුරේ ආලේපනය කර පරීක්ෂා කලද, නැතිනම් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන එම පරීක්ෂණය සිදු කළේද යන්න ගැන නොදැනීමද හේතුකොට මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ගැන පූර්ණ විශ්වාසය තැබීම අපහසුය. අඩංගු වන්නේ ස්වභාවික දේ පමණය.

(නැචුරල්ප්‍රඩස්ටික් ඔන්ලි Natural Products Only) මෙම යෙදුමෙන් අදහස් කරන්නේ අදාළ නිෂ්පාදනයේ අඩංගු වන්නේ ස්වභාවික ද්‍රව්‍ය (කෘත්‍රිම ද්‍රව්‍ය නොමැති බව) බව හෝ අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී ද්‍රව්‍ය ස්වභාවික ද්‍රව්‍ය වන බවය. එසේ ප්‍රධාන ද්‍රව්‍ය පමණක් ස්වාභාවික නම් එහි අදහස එම ද්‍රව්‍ය සමඟ යම් කෘත්‍රිම ද්‍රව්‍යද මිශ්‍රව පැවතිය හැකි බවය. ශාකසාර අඩංගුය ( හර්බල් / Herbal)

ස්වභාවික දෙයට වර්තමානයේ පවතින ඉල්ලුම තම වාසියට හරවා ගත් බොහෝ නිෂ්පාදකයන් සිය නිෂ්පාදන තුළ ශාකසාර අඩංගු බවට ප්‍රකාශ කරති. මුළු නිෂ්පාදනයම ශාක නිෂ්පාදනයක් බව මින් අදහස් නොකෙරේ. සමහරවිට ඉතා සුළු ප්‍රමාණයක ශාක යුෂ එක්කර තැනූ නිෂ්පාදනයක් විය හැකිය.

නන් කොමිඩොජනික් Non Comedogenic මෙම රූපලාවන්‍ය නිෂ්පාදන මඟින් සමේ සිහින් සිදුරු අවහිර නොකරන බව සහ කළු ලප හා සුදුලප සම මත ඇති නොකරන බවය. එවැනි ප්‍රකාශයක් කරන්නේ අදාළ නිෂ්පාදනය තුළ සම මෘදුකරන සැර “එමොලියන්ට්” වර්ග ඇතුළත් නොවන විටය. “මිනිරල් ඔයිල්” ලෙස හැඳින්වෙන්නේ එවැනි සැර “එමොලියන්ට්” වර්ගයකි.

කුරුලෑජනක අඩංගු නැත (නන් ඇක්නීජනික් Non Acnegenic) අදාළ නිෂ්පාදනය තුළ සමේ තෙල් නිෂ්පාදනය කරන සපුනිකා උත්කෝපනය සහ ප්‍රදාහය කරන රසායනික අඩංගු නොවන බවය. එවිට කුරුලෑ සහ ඇක්නී තත්ත්වයන් ඇතිවීමට පවත්නා ඉඩ අඩුවෙයි. මේ නිෂ්පාදන තුළද සැර තෙල් වර්ග නොමැතිය. සුගන්ධ හා සුවඳ විලවුන් නොමැත. (ෆ්‍ර්ග්රන්ස් සහ පර්ෆියුම් ෆී‍්‍ර Fragrance and Pertume Free) මෙම යෙදුමෙහි අදහස වන්නේ ස්වභාවික හෝ කෘත්‍රිම හෝ සුවඳ හමන ද්‍රව්‍ය අදාළ නිෂ්පාදනයේ නොමැති බවය. එසේ වුවද අදාළ සංඝටකයන් තුළින් නික්මෙන සුගන්ධයක් එයට තිබිය හැකිය. සුවඳ හමන ද්‍රව්‍ය ඉවත්කර ඇත (අන් සෙන්ටඩ් Unscented) මෙම යෙදුමෙන් අදහස් කරනුයේ අදාළ නිෂ්පාදන තුළ සුවඳ විලවුන් අඩංගු නොවන බවය. එහෙත් යොදාගත් අමුද්‍රව්‍ය සතු සුවඳ හමන ද්‍රව්‍ය ඒ තුළ අඩංගු බැවින් අසාත්මිකතාවක් ඇතිවිමේ හැකියාව සම්පූර්ණයෙන්ම ඉවත්ව නැත.

සුරක්ෂක ද්‍රව්‍ය වලින් නිදහස්ය. (පි‍්‍රසර්වට්වි ෆී‍්‍ර Preservative Free) අදාළ නිෂ්පාදනය තුළ සම්ප්‍රදායික සුරක්ෂිත ද්‍රව්‍ය අඩංගු නොවන බව මින් අදහස් කෙරේ. එහෙයින් සමහර අයගේ සමේ උත්කෝපනය ඇතිකරන ද්‍රව්‍ය මෙහි අඩංගු නොවිය හැකිය. නිෂ්පාදනයේ නැවුම් බව සුරකින යම් ද්‍රව්‍ය මෙහි ඇතුළත්ව තිබිය හැකිය. මෙම නිෂ්පාදන කල්තබා ගැනීම අපහසු බව සටහන් කර ගැනීම සුදුසුය.

තෙල් රහිතය (ඔයිල් ෆී‍්‍ර Oil Free) මෙම නිෂ්පාදන තුළ සැරතෙල් වර්ග අඩංගු නොවේ. එහෙත් සමට සුමට හා ස්වභාවික බව දැන්වීම සඳහා සමේ සිදුරු අවහිර නොකරන ඩයිමිතිකෝන් වැනි සිලිකෝන් ආකලන අඩංගු විය හැකිය. ඔබ මීළඟ රූපලාවන්‍ය නිෂ්පාදනය මිලදී ගන්නා විට ලේබලය හොඳින් කියවා ඉහත යෙදුම් තේරුම් ගෙන සුදුසු නිෂ්පාදන තෝරා ගන්න.