ආබාධිත දරුවන් යථා තත්ත්වයට පත්කර ගත හැකි වෘත්තීය චිකිත්සාව

ආබාධිත දරුවන් යථා තත්ත්වයට පත්කර ගත හැකි වෘත්තීය චිකිත්සාව

විවිධ ආබාධ සහිත දරුවන් ඔබ දැක ඇති මේ දරුවන් උපතේදීම හෝ පසුකාලීනව ආබාධවලින් පෙළෙන අයවිය හැකියි. මේ කුමන ආකාරයකින් ආබාධිත වුවත් ඔවුන්ව යථා තත්ත්වයට පත්කර ගැනීම වෘත්තීය චිකිත්සාව මඟින් කළ හැකි වෙනවා.

වෘත්තීය චිකිත්සාව යනු කුමක්ද යන්න පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන වෘත්තීය චිකිත්සක නිලධාරිනී සුජාතා ගුණවර්ධන මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.

ක්‍රීඩාව දරුවන්ගේ ප්‍රධානම ක්‍රියාකාරමයි. මේ ප්‍රතිකාර ක්‍රමයේදී අපි ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගන්නේ දරුවන් ඉතා පි‍්‍රය කරන ක්‍රියාකාරකමක් වන ක්‍රීඩාවයි.

ක්‍රීඩාවට අමතරව තවත් විවිධාකාර ක්‍රියාකරකම්ද අපි ප්‍රයෝජනයට ගන්නවා. දිවීම, පැනීම, ආහාර ගැනීම, අධ්‍යාපනය, ලිවීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් මේ අතරින් ප්‍රධානයි. මේ ප්‍රතිකාරයේදී මෙම ක්‍රියාකාරකම් වලට අදාල භාණ්ඩ අපි ප්‍රයෝජනයට ගන්නවා. මේ ප්‍රතිකාර සඳහා යොමුවන දරුවන්ගේ කායික මෙන්ම මානසික දුර්වලතාද පවතිනවා.

කායික මෙන්ම මානසික වර්ධනයක් දරුවන්ගේ ඇතිකරලීම සඳහා ක්‍රීඩා සහ දරුවන්ගේ අනෙක් ක්‍රියාකාරකම් සිදුකරමින් දරුවාගේ වර්ධන පියවරවල් ඉහළට ගැනීම සිදුකෙරෙනවා.

සමහර දරුවන්ගේ ක්‍රියාකාරකම්වල අඩුවක් අපි දකින්නේ නැහැ. නමුත් දෙමවුපියන් දරුවාගේ අධි ක්‍රියාකාරකම් දකිනවා. මෙය දරුවාගේ හැසිරීමේ අධි ක්‍රියාකාරකමක් දැයි ළමා මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවා සොයා බැලිය යුතුවෙනවා.

මේ තත්ත්වය දරුවාගේ හැසිරීමේ චර්යාවේ වෙනසක් ලෙස අපි දකිනවා. මෙවැනි දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩුකරලිය යුත්තේ ඉතාම ක්‍රමානුකූලවයි. එක්වරම එය සිදු කිරීමට යාම සුදුසු වන්නේ නැහැ.

මෙවැනි දරුවන් අවශ්‍ය දෙයට අවධානය යොමු නොකිරීම ප්‍රධාන කරුණක් වෙනවා. මෙය අවධානය අඩුකමක් අධික්‍රියාකාරීත්වයත් එකට එන තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. ඒ වගේම ඔටිසම් තත්ත්වයේ දරුවන් තම සන්ධි ක්‍රියාකාරිත්වය වැඩිකර ගැනීමට උත්සාහ ගන්නවා. මේ අය වැඩි වශයෙන් දඟලන්නට කැමැත්තක් දක්වනවා.

මෙවැනි දරුවන් වැඩිපුර දිවීම පැනීම, එකතැන උඩ පැනීම, එක තැන කැරකැවීම ඉහළ ස්ථානවලට නැඟීම, එක් තැනක සිට වැඩක් කිරීමට ඇති අකමැත්ත වැනි තත්ත්ව දැකිය හැකිය.

වෘත්තීය චිකිත්සාවේදී දරුවන්ගේ වැඩි ක්‍රියාකාරකම් වලටත් අඩුක්‍රියාකාරකම් වලටත් අපි ක්‍රමානුකූලව ප්‍රතිකාර කරනවා. වෘත්තීය චිකිත්සාව සඳහා දරුවන් යොමුකිරිමේදී වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමට නම් රෝගී තත්ත්වය කඩිනමින් නිර්ණය කරගත යුතු වෙනවා.

ප්‍රතිකාර සිදුකරන ප්‍රධාන ආකාර

* දරුවා නිසියාකාරව හැසිරවීම සහ ඉරියව් ගත කිරීම

* වටපිටාව සංවේදී කරවීම

* දෑත් හුරුකරවීම

* මානසික සහ කායික ක්‍රියාකාරකම් දියුණු කිරීම

* වයසට අනුකූල වර්ධන පියවර සඳහා දිරිමත් කිරීම

* එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා හුරුකරවීම

* ඉගෙනීමේ පහසුක්‍රම උපයෝගී කරගනිමින් දරුවා පාසල් වැඩ සඳහා දිරිමත් කිරීම

* හැසිරීමේ චර්යා දියුණු කිරීම

සමහර දරුවන් ඉගෙනීමේ දුර්වලතා නිසාත් අපවෙත යොමුකරනවා. මෙවැනි දරුවන්ගේ අත්වල ක්‍රියාකාරීත්වය ඉතාම අඩුයි. විශේෂයෙන් සියුම් චාලක ක්‍රියාකාරීත්වය අඩුයි. ඔවුන්ට නිසියාකාරව පෑන, පැන්සල ඇල්ලීමේ අපහසුතාද පවතිනවා.

වැඩිපුරම ළමාරෝහලේදී අපවෙත යොමුවන්නේ මස්තිෂ්ක ආඝාත රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන්වීම විශේෂයක් කොට සැලකෙනවා.

මේ දරුවන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා හෝ පෙර ළමාවිය මැදිහත්වීමේ සායන හරහා අපට යොමු කෙරෙනවා. රක්තවාතවේද සායනය හරහා සහ ස්නායු රෝග සායන හරහාද දරුවන් අප වෙත යොමු කෙරෙනවා.

මෙවැනි දරුවන්ගේ උපතේදීම විවිධ අඩුපාඩු ඇතිවෙනවා. ඔවුන් හඳුනාගැනීමේදී මූලිකව පෙන්වන ලක්ෂණ වන්නේ අංග චලනයේ වෙනස්කම් සහ පරිසරයට ප්‍රතිචාර නොදැක්වීමයි. දරුවා මව දිහා බලා සිනා නොවිම, බොහෝවිට මවුකිරි ලබාදීමේදී මවගේ මුහුණ දෙස බලා දරුවා මව සමඟ සිනා නොවීම ප්‍රධාන වශයෙන් දැකිය හැකියි. මෙවැනි තත්ත්ව මව විසින්ම හඳුනා ගැනීම දැකිය හැකිවෙනවා. මාසයක් මාස එකහමාරක් යත්දී මේ දරුවන්ගේ මාංශපේශී තද ගතිය, අතපය එක පැත්තකටත් හිස තවත් පැත්තකටත් හැරීම සිදුවෙනවා. වයසට අනුරූපව ක්‍රියාකාරකම් අඩුවෙනවා. හිස සහ කඳ ඍජුව තබාගැනීමේ අපහසුතාද දැකිය හැකියි.

මේ දරුවන්ව නිවැරදිව ඉරියව් ගත කිරීමත්, නිවැරදිව හැසිරවීමත් වැදගත් වෙනවා. දරුවා වඩා ගැනීම, ගමනක් බිමනක් රැගෙන යාමේදී දරුවා රැගෙන යා යුතු අකාරය දරුවා ඇඳේ තැබීම, නිවැරදිව නිදි කරවීම, අත්පාවල චලනය වැඩිකිරීමට අවශ්‍ය තත්ත්ව දරුවාට ලබාදීමත් සිදුකළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කරන විශේෂිත කොට්ට සකසා ගතයුතුයි. මේවා වෙළඳපොලේද මිලදී ගැනීමට තිබෙනවා.

දරුවා ඉරියව්ගත කිරීමේදී විශේෂයෙන් සැලකිය යුතුවන්නේ දරුවාගේ හිස, බෙල්ල සහ කදේ ඉහළ කොටස ඍජුව තබාගැනීමට පහසුවන පරිදි දරුවාට පහසුකම් සැලසීමයි.

මෙහිදී ක්‍රීඩාභාණ්ඩ වැනි දෑ වෙත දරුවා හුරුකරවීම මූලිකව කළ යුතු වන්නේ දරුවාගේ දෑත්වල සහ ශරීරයේ ක්‍රීඩාභාණ්ඩ ගැටීමට සැලැස්වීමයි. මෙහිදී දරුවා අතින්, හා කකුල්වලින් මේ ක්‍රීඩා භාණ්ඩ වලට පහර දීමට උත්සාහ ගන්නවා.

එවිට දරුවාගේ චලනයන් සිදුවීමෙන් ආබාධිත දරුවන් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවෙනවා.

මස්තිෂ්ක ආඝාත දරුවෙකුට සිදුකරන ප්‍රතිකාර ලබන සතියේ