දෙසවන් නොඇසුණු පමණින් ඔවුන්ට පාසැල් අධ්‍යාපනය අහිමිද?

දෙසවන් නොඇසුණු පමණින් ඔවුන්ට පාසැල් අධ්‍යාපනය අහිමිද?

දෙමව්පියන් තමන්ගේ දරුවන්ව, පාසලකට යොමු කරන්නේ ඔහුගේ හෝ ඇයගේ අනාගතය දීප්තිමත් කිරීමට සිතායි. මුලින්ම දරුවෙකු පාසලට යවන විට, රැගෙන යා යුතු පොත් පත් පැන්සල් ආදී නොයෙකුත් අංගෝපාංග තිබේ. නමුත් ඒ දරුවා යම් ආබාධිත තත්ත්වයක පසු වනවානම්, එම දරුවාට, පාසලට යාමට පෙර සහ පාසලට ගිය පසු ඉගෙන ගත යුතු තවත්, බොහෝ දේ පවතී.

මෙය දෙමව්පියන්ගේ මූලික වගකීමක් වන අතරම පාසලේ අධ්‍යාපනය ලබන විටදී එය ගුරුවරුන්ගේ ද වගකීමක් බවට පත්වේ. ඒ අනුව ආචාර්ය, මිහිර වික්‍රම ආරච්චි මහතා සමඟ ගෙන එන මෙවර සාකච්ඡාව ගුරුවරයාත්, දෙමාපියන් මෙන්ම ආබාධිත දරුවා අතර තිබිය යුතු සම්බන්ධතාව කුමන ආකාර විය යුතුද යන්න පිළිබඳවයි.

යම් ගුරුවරයෙකු තමන්ගේ පංති කාමරය තුළ කුමන හෝ ආබාධිත තත්ත්වයකින් පසුවන දරුවකු වේ නම් ඒ දරුවා කෙරෙහි දැඩි අවධානයක් ලබාදිය යුතුයි. එමෙන්ම ස්වභාවික පැහැදිලි හඬකින් මෙන්ම සාමාන්‍ය වේගයකින් කතා කිරීම මඟින් එවැනි දරුවෙකුට භාෂාව තේරුම් ගැනීම පහසු කරවයි.

එපමණක් නොව, දැඩි ආයාචනයක් ගෙන වචන උච්ඡාරණය කිරීම කිසිවිටෙකත් නොකළ යුතුයි. සාමාන්‍යයෙන් ශ්‍රවණාභාධිත දරුවකු නම්, තොල් කියවීම මඟින් වචන තේරුම් ගන්නා අතර අදාළ ගුරුවරයා ජනේලයක් වැනි ආලෝකය වැටෙන ස්ථානයක සිට ගැනීම නොකළ යුතුයි. ඊට හේතුව එමඟින් දරුවාට ගුරුවරයාගේ තොල් කියැවීම නිවැරදිව දැකගත නොහැකි වීමයි. තවද, යම් උපදේශයක් ලබා දෙන්නේ නම් ඒ සඳහා කෙටි සහ සරල වාක්‍ය භාවිතා කිරීම මඟින් දරුවාට එය අවබෝධ කර ගැනීමට පහසුවක් වේ. තවද තනි වචන ශ්‍රවණය කිරිමටද ශ්‍රවණාබාධිත දරුවකුට අපහසු බැවින් තනි වචන භාවිතා කිරිමද නොකළ යුතුයි.

සාමාන්‍යයෙන් පාසලක් තුළ ගෝෂාකාරී බව වැඩි නිසා එවැනි දරුවකුට ගුරුවරයා ලබාදෙන උපදෙස් ශ්‍රවණය කිරීම අපහසුය. විශේෂයෙන් පාඩමක් අවසන් වන අවස්ථාවකදී මේ තත්ත්වය සුලබව දැකගත හැකියි. ඒ නිසා නිවසේදී කිරීමට නියමිත වැඩකටයුතු ආදිය පිළිබඳ උපදෙස් ලබා දෙන්නේ නම් ඒවාද කළුලෑල්ලේ සටහන් කළ යුතුයි. විශේෂයෙන්ම කළුලෑල්ල මත යමක් ලියන විටදී කතා කිරීමෙන් වැළකිය යුතුයි. ඊට හේතුව එසේ කරනවිට ඔබ සිටින්නේ පංතිය දෙසට පිටුපා බැවිණි. ඒ නිසා කිසිම විටෙකදී පංති කාමරය දෙසට පිටුපා කිසිවක් කතා නොකළ යුතුයි. යම් අවස්ථාවකදී ගුරුවරයා පළමුවරට ලබාදෙන උපදෙස් දරුවාට නොතේරුණේ නම් දෙවැනිවර නැවතත් එම උපදෙස් ලබා දීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම දෙවැනිවර උපදෙස් ලබා දෙන විටදී ඒවා සාරංශයක් ලෙස ලබා දීමටද කටයුතු කළ යුතුයි.

තවද පංති කාමරය තුළ දරුවන් විසින් යොමුකරන ප්‍රශ්න (පාඩම් ආශි‍්‍රතව) හා ඒ ආශි‍්‍රතව ලබාදෙන පිළිතුරු නැවතත් හඬගා ප්‍රකාශ කළ යුතුයි. එය ශ්‍රවණාබාධිත දරුවාට පාඩම හොඳින් තේරුම් ගැනීමට උපකාරයක් වේ. පංති කාමරයේදී හැරුණුවිට විවේක කාලය තුළදී ක්‍රීඩා කරන අවස්ථාවලදී මෙන්ම රැස්වීම් පවත්වන අතරතුරකදී එවැනි දරුවකුට හුරු කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පවතියි. ඒ වගේම

පාසලේ නම, ලිපිනය, පමණක් නොව එහි පිහිටි විවිධ ස්ථාන, ඒවායේ සිදුවන ක්‍රියාකරකම් මෙන්ම විවිධ උපාංගවල නම් ආදියද දරුවාට හුරුකරවීමට කටයුතු කළ යුතුයි. ශ්‍රවණාබාධිත දරුවන් පිළිබඳ වගකීම දරුවන්ට පමණක් නොව දෙමව්පියන්ටද නිතැනින්ම හිමියි. තමාගේ දරුවා ශ්‍රවණාබාධිතයෙක් බව හඳුනාගත් මොහොතේ පටන් ඔහු නිසි මාර්ගයක් කරා ගමන් කරන තෙක් දැඩි වගකීමක් ඔවුන් සතුවේ. ඒ නිසා දරුවා පිළිබඳව නිසඟ අවබෝධයක් දෙමව්පියන්ට තිබෙන බැවින්, ගුරුවරු ඔවුන් සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත යුතුයි.

ඒ වගේම දරුවාගේ පාසලේ වැඩ සහ එහි ප්‍රගතිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ගුරුවරයා විසින් දෙමාපියන්ට ලබාදිය යුතුයි. විශේෂ ක්‍රියාකාරකම් වලට, සාමාන්‍යයෙන් සතියකට පමණ පෙර සිටවත්, දරුවා සූදානම් කරන ලෙසට දෙමව්පියන්ට දැන්වීමද වැදගත්. එසේම ගුරුදෙගුරු සබඳතා පිළිබඳව වාර්තා පොතක් තබා ගැනීමද අනිවාර්යෙන්ම කළ යුතුයි. මෙම සබඳතා ගුරුදෙගුරු සම්බන්ධතා පොතට සහ රැස්වීම් සඳහා පමණක් සීමා නොකර ගත යුතුයි. ඒ අනුව දරුවා පිළිබඳව ගැටලුවක් ඇති වන ඕනෑම අවස්ථාවකදී දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ගුරුවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පසුබට නොවිය යුතුයි.