ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී කළ යුතු සහ නොකළ යුතු දේ

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී කළ යුතු සහ නොකළ යුතු දේ

බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවීම විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අවධියක ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇතිකර මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවිය. ක්ෂය රෝගය වැනි භයානක බැක්ටීරියාවන් නිසා වැළඳෙන රෝග සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් ප්‍රතිජීවක ඖෂධ නිසා ලැබිණි. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යාමත් ආයු කාලය වැඩිවීමත් ඒ මඟින් සිදුවිණ.

එහෙත් අවාසනාවකට බොහෝ දෙනා අනවශ්‍ය ලෙස, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයට පෙළඹීම නිසා රෝග කාරක බැක්ටීරියාවන් ඖෂධ වලට විරුද්ධව නැඟීසිටීමේ ප්‍රතිරෝධයක් ගොඩනගා ගෙන එම රෝගකාරක ප්‍රතිජීවක ඖෂධ වලින් මර්දනය කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත.

මෙසේ දැනට භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ බොහෝමයක් සඳහා දැනටමත් බැක්ටීරියාවන් ප්‍රතිරෝධයක් ඇති කරගෙන සිටී. මෙය දිගින් දිගටම සිදුවුණහොත් නුදුරු අනාගතයේදී විෂබීජ මර්දනය සඳහා දැනට සොයාගෙන ඇති ප්‍රතිජීවක ඖෂධ වලින් ඵලක් නොවනු ඇත. අතීතයේ ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර තිබූ අදුරු යුගයට අප ආයෙත් ඇද වැටෙනු ඇත.

මොනවාද මේ ප්‍රතිජීවක ඖෂධ?

බැක්ටීරියා රෝග කාරක විනාශ කර දමා රෝගය සුවපත් කිරීමට ප්‍රතිජීවක ඖෂධවලට හැකියාවක් ඇත. වෛරස විනාශ කිරීමක් සිදු නොවේ. ඒ නිසා නිතර සහ බොහෝවිට වෛරස මඟින් වැළඳෙන උණ, කැස්ස, උගුරේ අමාරු කණේ ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධවලින් ඵලක් නොවේ. බොහෝ අය කිවිසුමක් ගිය පමණින් උගුර, කණ කැසූ පමණින්, ඇඟපත රුදාවක්, මඳ උණක් දැනුණ පමණින් හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට පෙළඹී ඇත. නොඑසේ නම් ඇන්ටිබයොටික් ලබාදෙන මෙන් වෛද්‍යවරයාට දැඩි බලපෑම් එල්ල කරන අවස්ථා ඇත.

ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන දැනුවත් වීමේ වැරදි ක්‍රියාකලාපවලින් ඉවත්වීමට අප සියලුදෙනා කටයුතු කළ යුතුයි.

මන්දයත් ඉහත ක්‍රියාවල ප්‍රතිඵලය අපට දරාගත නොහැකි භයානක ඉරණමක පෙර නිමිති පහළ වීමක් බැවිණි.

ප්‍රතිජීවක ඖෂධ නිකරුනේ භාවිතයෙන් හා වැරදියට භාවිතයෙන් සිදුවිය හැකි විපාක මොනවාද?

මුදල් නාස්තිවේ.

රෝගය සුව නොවේ.

ශරීරයට හිතකර බැක්ටීරියා විනාශ වී රෝගකාරක තවත් ප්‍රාණවත්ව හිස ඔසවා රෝගය උත්සන්න කරයි.

මාත්‍රාව හා වාරගණන හිතුමතේ අඩුවෙන් පාවිච්චි කිරීමෙන් දවසේ වැඩි කාලයක් ඖෂධයෙන් ආවරණය නොවන නිසා රෝගකාරක බැක්ටීරියාව යළි පණගසා නැගිටියි. ගුණයක් ලැබු විගසම ඖෂධ අතහැර දැමීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් දුරු නොවී ඉතිරි වූ රෝග කාරක බැක්ටීරියා නැවත හිස ඔසවයි. පෙරටත් වඩා භයානක ලෙස ඖෂධවලටත් ප්‍රතිරෝධයක් ඇති කර ගෙන හිස ඔසවයි.

ඉතිරි වී ඇති පරණ ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් (පෙර රෝගී තත්ත්වයකට වෛද්‍යවරයා නියම කළ ඖෂධ) ආසාදන තත්ත්වයන් හා අනිසි ඵල ලැබියි හැක.

ඔබේ ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව අන් අයට ලබාදීමෙන් ඔහුට අසාත්මිකතා, අනිසි අතුරුඵල ඇතිවීමට ඉඩ ඇත. එය නිර්දේශ කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි.

(කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි, කායික රෝග විශේෂඥ වෛද්‍ය චමරී වීරරත්න මහත්මියගේ ඖෂධ භාවිතයට අත්වැලක් කෘතිය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් සකස් කරන ලදී)

වෛද්‍ය ටී. ටී. සොන්නාදර

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය,