බයිපාස් සැත්කමට පසුවත් හදවත ගැන අවදියෙන් ඉන්න

බයිපාස් සැත්කමට පසුවත් හදවත ගැන අවදියෙන් ඉන්න

බයිපාස් සැත්කම් පිළිබඳ ඉතිහාසය 1962 වැනි කාලසීමාවක් දක්වා දිවෙයි. එකල ඇන්ජයිනාව සඳහා වර්තමානයේදී මෙන් සාර්ථක ඖෂධ නොතිබුණු අතර, ඊට හේතු වූයේ, ශල්‍යකර්මයේ සාර්ථකත්වය පිළිබඳ යම් ගැටලු මතුවීමයි. මේ සඳහා කරන ලද පරීක්ෂණ කිහිපයකින්ම හෙළිවූයේ බයිපාස් සැත්කම සියලු ඇන්ජයිනා රෝගීන්ට හෝ හෘදයාබාධයක් වැළඳුණු ඕනෑම රෝගියකුට වාසි සහගත නොවන බවයි.

තවද ඒ පරීක්ෂණයේ දත්ත අනුව බයිපාස් සැත්කමක් ආයු කාලය අතින් වාසි සහගත වන්නේ පහත සඳහන් අවස්ථාවන් යටතේදීය. ඒ අනුව කිරීටක ධමනි තුනම අවහිරවීම, ඒ සඳහා උපරිම ඖෂධ ප්‍රමාණයක් ලබා ගන්නා මෙන්ම ඇන්ජයිනාව මතුවන තරමට උග්‍ර රෝග තත්ත්වයෙන් පෙළෙන අය, මෙහි පළමු වර්ගය ලෙස දැක්විය හැකියි. දෙවනි වර්ගය ලෙස ප්‍රධාන වම් කිරීටක ධමනියේ 50% කට වැඩි අවහිරතාවක් තිබෙන අයද, තෙවනි වනි වර්ගය ලෙස කිරීටක ධමනි තුනේම අවහිරතා ඇතිව වම් කෝෂිකාවේ ක්‍රියාකාරීත්වය යම් පමණකට අඩාල වී තිබෙන අයද හඳුන්වා දිය හැකියි. සිව්වැනි කොටසට කිරීටක ධමනි තුනේම අවහිරතා ඇතිව දියවැඩියාව තිබෙන අයද පස්වැනි කාණ්ඩය ලෙස හෘදායාබාධයකට පසු නිතර ඇන්ජයිනාව මතුවන අයද දැක්විය හැකියි.

ශල්‍යකර්මයෙන් පසු රෝග ලක්ෂණ වැඩිවේද?

සාමාන්‍යයෙන් බයිපාස් සැත්කමක් කළ පසු ඇතැම් රෝගීහු බොහෝ රෝග ලක්ෂණ කියාපායි. මේ අතර, පපුවේ, වේදනාවද හතිය ද ප්‍රධාන තැනක් ගනී. මීට බලපාන හේතු පහත ආකාරයට විස්තර කළ හැකියි.

ඒ අනුව බයිපාස් ශල්‍යකර්මයක් කිරිම සඳහා උරස් කුහරය විවෘත කරන අතර පපු ඇටයද මැදින් පළනු ලැබේ. පසුව මෙවා යළිත් එකට සවිකරනුයේ ලෝහමය තන්තු මඟිනි. මෙසේ උරස් ඇටසැකිල්ලට ඇතිවන තුවාල, තැල්ම ආදිය නිසා සැත්කමක් කොට සිහි කීපයක් යනතුරු වේදනාවක් ඇතිවීම සාමාන්‍යයි. ඊට අමතරව පපුව මැද පවතින තුවාල කැළලෙහි රෝම කූප සිරවීම නිසා පසුව ඒවා නැවත වර්ධනය වන විටද වේදනාවක් හට ගැනීම සුලබ තත්ත්වයකි.

කෙසේවෙතත්, බයිපාස් සැත්කමක් කළ පමණින්ම ඇන්ජයිනාව මුළුමනින්ම අවසන් නොවුණද ඒ තත්ත්වය තරමක් දුරට අඩුකළ හැකිවේ. ඊට හේතු වන්නේ, සැත්කමේදී යොදනු ලබන බයිපාස් නාලිකා ඉක්මනින් වැසී යන නිසාත් ඇතැම් සියුම් ධමනිවලට බයිපාස් නාලිකා සවිකළ නොහැකි නිසාත්ය. එසේම ඉතාම කලාතුරකින් බයිපාස් සැත්කමට පසු ඇන්ජයිනා තත්ත්වය වැඩවිමටද හැකියි. ඊට හේතුව යොදනු ලබන බයිපාස් නාලිකා ක්ෂණිකව වැසීයාම නිසා සැත්කම කරන අනතුරුව හෘදායාබාධ වැළඳිය හැකි වීමයි.

බයිපාස් සැත්කමේ දීර්ඝකාලීන ප්‍රතිඵල මොනවාද?

බයිපාස් සැත්කමක් කොට අවුරුදු පහක කාලසීමාවක් පිළිබඳ සලකා බැලීමේදී එම රෝගීන්ගෙන් 90%ක් පමණ ජීවත්ව සිටින අතර අවුරුදු පහළොවකදී මේ තත්ත්වය 55% දක්වා අඩුවිය හැකියි. හෘදරෝග සඳහා ඖෂධ පමණක් ලබාගන්නා රෝගීන් හා සසදා බැලීමේදී ඉහත මරණය සංඛ්‍යාව යම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුබව පැහැදිලි වේ. නමුත් ඉන් අදහස් වන්නේ, ඖෂධ පමණක් ලබාගන්න රෝගීන් සියලුදෙනා මැරෙන බව හෝ ශල්‍යකර්මය සිදු කොටගත් සියලුදෙනා නොමැරෙන බවයි. සාමාන්‍යයෙන් ඖෂධ ලබාගන්නා රෝගීන්ට හෘදයාබාධයක් වැළඳීමේ ප්‍රතිශතය වසරකට 5% ත් 10% ත් අතර වේ. ඒ වගේම මෙය මරණ ප්‍රතිශතය ලෙසද වටහා නොගත යුතුය.

ඒ අනුව එවැනි අයගේ එම ප්‍රතිශතය තුළ මරණ වාර්තා වන්නේ 11% ක් පමණි. බයිපාස් ශල්‍යකර්මයක් සඳහා ශිරා යොදා ගැනීම සම්බන්ධයෙන් විශේෂිත කරුණු කිහිපයක් පිළිබඳ සිහිතබා ගත යුතුයි. ඒ අනුව පළමු සති කිහිපය ඇතුළත 10% ක් පමණ ප්‍රතිශතයකින් රුධිරනාල අවහිර වී යා හැකි අතර අවුරුද්දක් පමණ ගත වූ විට එය 15% ත් 30% අතර ප්‍රමාණයකට පත්වේ. ඒ වගේම එසේ නාල අවහිර වූ පමණින් හෘදයාබාධයක් වැළඳ රෝගියා මිය යන බව වටහා නොගත යුතුය. එහිදී ශිරා නාලය අවහිර වූ විට යළිත් ඇන්ජයිනාව ඇතිවන නමුත් හැමවිටම මරණයක් සිදුනොවේ. එබැවින් මරණ ප්‍රතිශතය හා ඇන්ජයිනාව නැවත ඇතිවන ප්‍රතිශතය වෙනස්වන බව අවබෝධ කරගත යුතුය.