මානසික ගැටලු

මානසික ගැටලු

කුණ්ඩසාලේ - පද්මසිරි

මම හරි වියදම් කාරයෙක්. ඒ නිසා බිරිඳ නිතරම බනිනවා.

ගැටලුව

වයස අවුරුදු 58ක් වන මා රජයේ විශ්‍රාමිකයෙකි. දැනට ද මාගේ ආර්ථිකය යහපත්ය. දරුවන් තිදෙනා ද රජයේ සේවකයන් ය. නමුත් මාගේ මාසික වේතනය පාලනය කරගත නොහැකි ලෙස වියදම් සහගත ය. මා මත්ද්‍රව්‍ය ද භාවිතා කරමි. නමුත් එය සතියකට වරක් පමණක් ගනිමි.

මුදල් අතේ ඇතිවිට සුද්දකු මෙන් විය පැහැදම් කිරීමට මා පුරුදුව සිටිමි. මෙය මානසික රෝගයක්ද? මේ නිසා දරුවන්ගෙන් මෙන්ම බිරියගෙන් ද දෝෂාරෝපණ එල්ල වෙනවා. මා කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

අධික ලෙස වියදම් කිරීම විටෙක පෞර්ෂ ලක්ෂණයක් ලෙස දකින්න පුළුවන්. එසේම සතුට වැඩි වී අනෙක් පිරිස් පිනවීමේ අරමුණින් එසේ සිදු වන්නත් පුළුවන්.

කෙසේ වෙතත් මොළයේ ඉදිරිපස කොටසට ලේ ගමනය වෙනස් වීමෙනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා මෙය මානසික රෝගයක එක් ලක්ෂණයක් ලෙස ද දකින්න පුළුවන්. ඒ නිසා පවුලේ තවත් දෙදෙනෙකු සමඟ ගොස් වෛද්‍යවරයෙකු හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි.

ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ

කායික ගැටලු

වැලිගම්පිටිය - සමරතුංග

දියවැඩියාවට සුදුසු ආහාර වකුගඩු රෝගවලට හොඳ නැහැ නේද?

ගැටලුව

වෛද්‍යතුමනි මා අවුරුදු 68ක විවාහක කාන්තාවකි. දැනට අවුරුදු 25ක පමණ කාලයක සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳීමි. දියවැඩියාව නිසා ඇතිවන පසුකාලීන ආබාධවලට පවා මා ලක් වී ඇත. මේ සියලු රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටිමි. නමුත් මා හට ඇති ගැටලුව වන්නේ දියවැඩියා රෝගය සඳහා සුදුසු ආහාර සමහර දෑ වකුගඩු ආබාධවලට නුසුදුසු බවට සඳහන් කරනවා. එසේ නම් මේ රෝග දෙකම ඇති රෝගීන් ලබාගත යුත්තේ මොනවා ද?

පිළිතුර

සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් සීනි හා සීනි අඩංගු නිෂ්පාදන ආහාරයට ගැනීම වැළැක්විය යුතුයි. එසේම හකුරු වැනි දෑ ගැනීම ද නවතා දැමිය යුතුයි. ඔබ සඳහන් කළ ආකාරයට වකුගඩු අක්‍රිය වී නොමැති නම් පලතුරු ආහාරයට ගත හැකියි. නමුත් වකුගඩු අක්‍රීය වී ඇත්නම් පලතුරු ගැනීම ද නැවතිය යුතුයි. එයට හේතුව පලතුරුවල පොටෑසියම් අඩංගු වීමයි. පොටෑසියම් වැඩිපුර ලැබීම වකුගඩුවලට එතරම් යහපත් වන්නේ නෑ. ඔබට රතුහාල් සහ එළවළු ඕනෑම ප්‍රමාණයක් ආහාරයට ගන්න පුළුවන්. එහෙත් වකුගඩු රෝගය ද තිබෙනවා නම් මස්, බිත්තර ආහාරයට නොගත යුතුයි.

මොරටුව - ශ්‍රී නුවන්

රුධිරය කැටි ගැසීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන්

ගැටලුව

වෛද්‍යතුමනි මාගේ වයස අවුරුදු 27යි. මෑතකදී මාගේ දතක් ගැලවීය. එය ගැලවූ අවස්ථාවේ අධික ලෙස රුධිරය පිටවිය.

මේ තත්ත්වය දුටු වෛද්‍යවරයා පැවසුවේ රුධිරය පරීක්ෂා කරගත යුතු බවයි.

රුධිරයෙහි ඇති ගැටලුවක් නිසා මේ තත්ත්වය ඇති වී ද? එසේත් නොමැති නම් දත ගැලවීමේදී ඇති වූ දෝෂයක් ද? පිළිතුරු බලාපොරොත්තු වෙමි.

පිළිතුර

රුධිර කැටිගැසීමේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. එසේම තැනින් තැන සමේ ලේ පැල්ලම් තිබෙනවා නම් හන්දි ඉදිමෙනවා නම් රුධිර කැටිගැසීමේ ප්‍රශ්නයක් තිබෙන බව පවසන්න පුළුවන්. කෙසේ වෙතත් ජ්ඕඛ් පරීක්ෂණය මඟින් රුධිර පට්ටිකා අඩු වී තිබෙනවා ද? යන්නත් ධ්ව්අ පරික්ෂණයෙන් කැටිගැසීමේ පරීක්ෂාවක් කර බලන්න පුළුවන්. ඉහත රෝග ලක්ෂණ තිබෙනවා නම් රුධිර කැටිගැසීමේ පිළිබඳ සියලු පරීක්ෂණ කළ යුතුයි.
 

කොළඹ ජාතික රෝහලේ

කායික රෝග විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

ප්‍රසව නාරි ගැටලු

වැල්ලවත්ත - කෞෂල්‍යා

මගේ පුතාට අවු. 1 1/2 යි. නැවත ගැබ් ගත්තා පුතාට මව්කිරි දෙන්න එපා ද?

ගැටලුව

මා හට අවුරුදු 1 1/2ක පුතෙකු සිටී. නැවතත් මා ගැබිනියක වී මාස 02ක් පමණ වෙනවා. එහෙත් පුතාට මව්කිරි දීම නවතා නැහැ. කිරි දීම නැවතිය යුතු ද? නොනැවැත්වීමෙන් කුමක් සිදු වේ ද? කිරි දීමෙන් පුතාට හා කුසේ වැඩෙන දරුවාට හානියක් වේ ද? රාති‍්‍රය පුරාවට පුතා කිරි බීමට පුරුදුව සිටී. උපදෙසක් ලබා දෙන්න.

පිළිතුර

දරුවාට කිරි දීම එකවරම නවත්වන්න එපා. එය ක්‍රමානුකූලව මාස 3 - 4ක් ගතවීමේ දී නැවැත්වීමට උත්සාහ කරන්න. කිරි දීම එතරම් ගැටලුවක් නැහැ. නමුත් මවගේ ශරීරය දුර්වලවීමට මෙය හේතුවක් විය හැකියි. ඒ නිසා නිතරම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න. පසුව ක්‍රමයෙන් කිරි දීම නවත්වන්න. දරුවාටත් පෝෂ්‍යදායී ආහාර වේල් ලබාදීමට කටයුතු කරන්න.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ගංගේ

අක්ෂි රෝග ගැටලු

නිට්ටඹුව - චමිලා

රාත්‍රියේ පාඩම් කරද්දී අකුරු අපැහැදිලියි

ගැටලුව

වෛද්‍යතුමනි, මා වයස අවුරුදු 18ක තරුණියක්මි. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිමි. රාත්‍රී 12, 1 වනතුරු පාඩම් කරමි.

පාඩම් කිරීමේදී අකුරු අපැහැදිලි වී යයි. ආයාසයෙන් බලා සිටියදී හිසරදය පවා මතු වෙයි. මෙය ඇස්වල ඇති රෝගයක ලක්ෂණයක් ද?

පිළිතුර

ඇස්වල පෙනීමේ දෝෂයක් නොවන්න පුළුවන්. ඔබ වෙහෙස වන නිසා සුළු දෙයක් වුවත් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇස් පරීක්ෂාවකට ලක් කළ යුතුයි.

රාත්‍රීයට පාඩම් කිරීමේදී පැය භාගයකට වරක් විනාඩියක පමණ කාලයක් ඈත තිබෙන වස්තුවක් දෙස බලා සිටින්න. නමුත් ඇස් වසා සිටීම මේ සඳහා සුදුසු වන්නේ නැහැ.

කෙසේ වෙතත් අක්ෂි රෝග වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.

අක්ෂි රෝග

විශේෂඥ වෛද්‍ය

එච්. පලිහක්කාර

ප්‍රසව නාරි ගැටලු

ගාල්ල- නදීෂාණි

විවාහ වෙලා අවුරුද්දයි, තාම දරුවෝ නැහැ

ගැටලුව

වෛද්‍යතුමනි මා අවුරුදු 28ක යුවතියක්මි. විවාහ වී දැනට වසර 02 ක් පමණ ගත විණි. එහෙත් අපට තවම දරුවන් නොමැත.

අප දෙදෙනා සම්බන්ධ වූ පසු ශූක්‍ර තරල පිටතට ගලා යෑමක් සිදුවෙයි. අවුරුදු 02ක් පමණ ගත වුවත් ගැබ් නොගැනීමට හේතුව මෙය ද? කරුණු පහදා දෙන්න.

පිළිතුර

විවාහ වී වසර 02ක් ගතවුයේ නම් දරුවන් නොමැති නම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු හමුවන්න. ඒ උපදෙස් අනුව ප්‍රතිකාර වෙත යොමු වන්න. ඔබගේ ආර්තවය හා පැලෝපීය නාල පරීක්ෂාවට ලක්කළ යුතුයි. එසේම ස්වාමියාගේ ශූක්‍ර තරල ද පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඔබගේ මූලික ප්‍රශ්නය අද රටේ සිටින කාන්තාවන් බොහොමයකට ඇති ගැටලුවක්. එය එතරම් බියවිය යුතු හෝ අනවශ්‍ය කලබල ඇති කරගත යුතු දෙයක් නොවේ. එය දරුවකු පිළිසිඳ ගැනීමට බාධාවක් වන්නේ ද නැත.

ද සොයිසා කාන්තා රෝහලේ

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හේමන්ත දොඩම්පහල

ඔබේ ගැටලු අප වෙත එවන්න

ආරෝග්‍යා පාඨක ඔබ දහසකුත් බාධක මැද ජීවිතය ජය ගන්නට උත්සාහ දරන පිරිසක් විය හැකියි. එවන් වූ බාධක අතර සිර වූ ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු සොයා යාමට මංපෙත් විවර නොවූ කල එම ගැටලුවලට සාර්ථකව සරල බසින් පිළිතුරු සැපයීමට ආරෝග්‍යා අප සූදානම්. ශාරීරික, මානසික මෙන්ම ඕනෑම ආකාරයේ සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් යොමුකරන්න අප වෙත. එය සරල බසින් ලියා නිවැරැදි රෝග ලක්ෂණ ද සඳහන් කරන්න. අප එම ගැටලු විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා දෙන්නෙමු. ඔබ ගැටලු යොමු කළ යුතු ලිපිනය වෛද්‍ය ගැටලු,
 

ආරෝග්‍යා ලේක්හවුස් කොළඹ 10