සර්වාංගයම ලෙඩ කළ හැකි ආමාශය පරිස්සම් කර ගන්නට මෙන්න වටිනා උපදෙස් ටිකක්

සර්වාංගයම ලෙඩ කළ හැකි ආමාශය පරිස්සම් කර ගන්නට මෙන්න වටිනා උපදෙස් ටිකක්

ආහාර අඩු ප්‍රමාණයකින් ගන්න

අධික ආහාර ප්‍රමාණයක් ගැනීමේ අයහපත් පුරුද්ද ඔබටත් ඇත්නම් කුඩා පිඟානකට ඔබේ දැන් පිඟාන මාරු කරන්න. පිඟාන ප්‍රමාණයෙන් කුඩා වූ විට බෙදාගත හැකි ආහාර ප්‍රමාණය සීමා සහිත වේ.

කඩිමුඩියේ කන්න එපා!

උදෑසන මහා මාර්ගයේ යන වාහන දෙස බැලුවොත් ආහාර ගනිමින් යන අය කෙතරම් මුණ ගැසෙනවාද? මෙසේ කඩිමුඩියේ ආහාර ගැනීම කොහෙත්ම සුදුසු නැත. ගැස්ට්‍රයිටීස් ඇති වීමට පමණක් නොව උග්‍රවීමටත් මේ කලබලකාරී පුරුද්ද හේතුවෙයි. උදේ ආහාරය මඟ හැරීම කොහෙත්ම කළ යුත්තක් නොවෙයි. ඒ වගේම ඉක්මනින් ආහාර ගැනීම ද නුසුදුසුයි. සෙමෙන් ආහාර ගැනීම මඟින් ආමාශ දාහයේ අසහනකාරී ලකුණු අවම කරගත හැකියි.

මේද ආහාර නරක හේතුවක්

අධික මේද ඇති ආහාර ඔබේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය දෙගුණ තෙගුණ කරයි. එයට එක් හේතුවක් වන්නේ මෙවැනි ආහාර දිගු කලක් ආමාශයේ පැවැතීමයි. අධික මේදමය ආහාර වැඩි වැඩියෙන් ගැනීමෙන් තත්ත්වය බරපතළවේ. බැදගත් ආහාරවලට වඩා බේක් කළ රෝස්ට් කළ, තැම්බූ, ගි‍්‍රල් කළ ආහාර ආමාශ දාහයෙන් පීඩා විඳින්නට කදිමයි.

ආම්ලික ආහාර සීමා කරන්න

තක්කාලි, ලෙමන්, දෙහි වැනි පැඟිරි කුලයේ පලතුරු, විනාකිරි ආමාශයේ අම්ලගතිය වැඩි කරන්නේ දැවෙන ගින්නට පිදුරු දැමුවිට වාගෙයි. විශේෂයෙන් මේ ආහාර කුස හිස්ව ඇතිවිට නම් නොගත යුතුයි. පෝෂ්‍ය ගුණයෙන් පිරි මෙවැනි ආහාර වේලෙන් ඉවත් කිරීම ද සුදුසු නැත. ඒ නිසා වෙනත් ආහාර සමඟ මිශ්‍ර කර එබඳු ආහාර ගන්න.

පාන වර්ගත් හේතුවේ

ඇතැම් ආහාර වගේම සමහර පාන වර්ගත් ආමාශ දාහයට හේතුවකි. ඒ නිසා කෝපි කැෆේන් අඩංගු පාන, කාබනිකෘත පාන (කාබෝහයිඩ්‍රේට්) සීමා කළ යුතුය. මධ්‍යසාර ද වෙනත් බොහෝ ලෙඩ රෝගවල වාගේම ආමාශ දාහයේත් මිතුරෙකි. ජලය වැඩිපුර පානය කිරීම මීට ඇති හොඳම විසඳුමකි.

කැෆේන් අඩංගු චොකලට් ද තත්ත්වය බරපතළ කරයි. ඒ නිසා කෑමට ගන්නා චොකලට් පෙත්තේ ප්‍රමාණය අඩු කරන්න.

කුළුබඩු අධික ලෙස යෙදූ ආහාරපාන ද සුදුසු නැත. මිරිස් , ගම්මිරිස් වාගේ කුළුබඩු මෙන්ම සුදුළූණු, ලුනු වැනි ආහාර ද ආමාශ දාහය වැඩිකරයි. හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙයි. එක් අයෙකුට අසාත්මික වන දෙයක් තවත් අයෙකුට අසාත්මික නොවන්නාක් සේ කෙනෙකුගේ ගැස්ට්‍රයිටීස් උග්‍ර කරන ආහාර තවත් කෙනෙකුගේ ගැස්ට්‍රයිටීස් තත්ත්වයට ගැටලුවක් නොවිය හැකියි. ඒ නිසා එදිනෙදා ගන්නා ආහාර ගැන විමසිල්ලෙන් සිටින්න. රෝග තත්ත්වය වැඩිකරන ආහාර ගැන දැනුවත් වී ඒවා අඩුවෙන් ගැනීමට එවිට හැකිවෙයි.

චුයින්ගම් රසවත් පිළිතුරකි. චුයින්ගම් මුඛයේ ඛේඨ නිෂ්පාදනය වැඩි කරයි. ඛේඨයට ආම්ලික ගතිය අඩු කිරීමේ හැකියාවක් තිබේ. එහෙත් රස බැලීමට තෝරාගත යුත්තේ සීනි අඩු චුයින්ගම්ය.

ආහාර ගත් සැනින් නින්දට නොයන්න

රාත්‍රී ආහාරය නින්දට යාමට පැය තුනකටවත් පෙර ගන්න. ගැස්ට්‍රයිටීස් තත්ත්වය දුම්පානය හා තරබාරු බවද වැඩිකරයි.

අමාශ දාහය සුවදායක නින්දට බාධාවකි. සමහර අය බඩ දැවිල්ලයි කියමින් මැදියම් රැයේ මැසිවිලි නඟන බව ඔබ දන්නවා නේද? නිදා ගැනීමේදී උරහිස් යටට හෝ හිස යටට අමතර කොට්ටයක් තබන්න. එවිට ගලනාලය තෙක් අම්ල ගලා ඒම අවම කළ හැකියි. වම් ඇලයට නිදා ගැනීමෙන්ද ආහාර දිරවීම ඉක්මන් කරගත හැකියි.

රාත්‍රී ආහාරය බිළින්දකු සේ ගැනීමේ යන පුරුද්ද ගැස්ට්‍රයිටීස් තත්ත්වයෙන් පීඩා විඳින්නට ඉතා යහපත් ලෙසින් බලපායි. රාත්‍රී ආහාරයට ගත යුත්තේ ඉතා අඩු ආහාර ප්‍රමාණයකි.

නින්දට පෙර දැඩිලෙස ගත වෙහෙසා කරන ව්‍යායාමවලින් ඈත්විය යුතුයි. රාත්‍රී ආහාරයට පසු සෙමෙන් සක්මන් කිරීමෙන් ආමාශ දාහයේ කරදරකාරී ලකුණු අඩුකර ගත හැකියි.

ඔබ සතියකට දෙවරකට වඩා ආමාශ දාහයෙන් පීඩා විඳිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර කරන්න.

සමහරු ගැස්ට්‍රයිටීස් තත්ත්වය හෘදයාබාධයක් කියාද, හෘදායාබාධය ගැස්ට්‍රයිටීස් කියාද වරදවා වටහා ගනී. මේ ගැටලුව නිරාකරණය කළ හැක්කේ වෛද්‍යවරයාටමයි.

පෙපර්මින්ට් රෝගය වැඩි කරයි. පෙපර්මින්ට් සිත සිසිල් කරන වචනයක් වුවත් ආමාශ දාහයට නම් හිතකර නැත. පෙපර්මින්ට් චුයින්ගම් පවා කෑමට නොගන්න.