කුඩා බඩවැලේ රෝගී තත්ත්ව නිසි ආකාරව හඳුනාගත හැකි නවතම පරික්ෂණය

කුඩා බඩවැලේ රෝගී තත්ත්ව නිසි ආකාරව හඳුනාගත හැකි නවතම පරික්ෂණය Capsule Endoscopy

ලොව විද්‍යාත්මකව දියුණුවන්නට පටන් ගත් දා සිටම මිනිසාගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමට, අදාළ මෙවලම් නිෂ්පාදනය සඳහා වැඩි නැඹුරුවක් ඇතිව තිබෙනවා. මේ නිසා ශාරීරික යහපැවැත්ම සඳහා විද්‍යාත්මක, නවීනතම සොයා ගැනීම් බෙහෙවින් ඉවහල් වී ඇති බව නොරහසක්.

ශරීර සෞඛ්‍ය ගැන කථා කිරීමේදී මහා අන්ත්‍රය සහ කුඩා අන්ත්‍රයට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මේ ආශි‍්‍රතව ඇතිවන රෝගී තත්ත්ව වර්තමානයේ බහුල බවක් පෙනෙන්නට තිබෙනවා.

විශේෂයෙන්ම මහා බඩවැල ආශි‍්‍රතව ඇතිවන රෝගී තත්ත්ව පරීක්ෂා කිරීමට කොලොනස්කොපි හා එන්ඩොස්කොපි පරීක්ෂාව කළත් කුඩා අන්ත්‍රයේ ඇතිවන රෝගී තත්ත්ව බලා ගැනීම සඳහා සාර්ථක ක්‍රමයක් තිබුණේ නැහැ. බැලූන් එන්ටරස්කොපි (Balloon Enteroscopy) පරීක්ෂාවෙන් ද කුඩා අන්ත්‍රයේ රෝගී තත්ත්ව සම්පූර්ණයෙන් බලා ගැනීමේ හැකියාව පැවතුණේ නැහැ.

මේ නිසා වෛද්‍ය පර්යේෂණ මඟින් බොහෝ කාලයක සිට කුඩා අන්ත්‍රයේ සමීප රූප ලබා ගැනීම සඳහා සුදුසු ක්‍රම වේදයක් සොයා බැලීම කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස කැප්සියුල් එන්ඩොස්කොපි හඳුන්වාදීම කළා.

මෙම කැප්සියුල් එන්ඩොස්කොපි පරීක්ෂාව මේ වනවිට ලංකාවේ ද ක්‍රියාත්මක වෙනවා. මේ මඟින් සාර්ථකව කුඩා අන්ත්‍රයේ රෝග සොයා ගැනීමේ හැකියාව පවතිනවා. කැප්සියුල් එන්ඩොස්කොපි (Capsule Endoscopy) පරීක්ෂාවක් සිදු කරන ආකාරය පිළිබඳව කායික රෝග විශේෂඥ හා අන්ත්‍ර ආශි‍්‍රත රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

බඩවැල් ආශි‍්‍රත රෝග හඳුනා ගැනීමේදී කුඩා බඩවැල් ආශි‍්‍රත රෝග හඳුනා ගැනීම ගැටලු සහගත තත්ත්වයක් උදා වී තිබුණා. කුඩා බඩවැල ආශි‍්‍රත රෝග හඳුනා ගැනීම සඳහා මෙතෙක් පැවති සාර්ථකම පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැක්කේ බැලූන් එන්ටරස් කොපි (Balloon Enteroscopy) පරීක්ෂාවයි. මේ මඟින් කුඩා අන්ත්‍රය හකුලුවා රෝගී තත්ත්ව ඇති ස්ථානය සොයා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් කුඩා අන්ත්‍රයේ ඉතා සියුම් රුධිර ගලනයන් හෝ සංකීර්ණ රෝගී තත්ත්ව නිවැරදිව නිරීක්ෂණය සඳහා මේ පරීක්ෂණ ක්‍රමය ද එතරම් සාර්ථක බවක් පෙන්වන්නේ නැහැ.

ඉතා සියුම් ලෙස කුඩා අන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා නවතම පරික්ෂණයක් ලෙස රජයේ රෝහල් කීපයකම පවා මේ වනවිට ක්‍රියාත්මක වෙන කැප්සියුල් එන්ඩොස්කොපි (Capsule Endoscopy) ක්‍රමය වැදගත් වෙනවා.

මහා අන්ත්‍රය හා කුඩා අන්ත්‍රයේ රෝග හඳුනා ගැනීමට මෙතෙක් ක්‍රියාත්මක වූ එන්ඩොස්කොපි, කොලොනස්කොපි හා එන්ටරස්කොපි පරීක්ෂණ රෝගියාට යම් යම් අපහසුතා ඇති කළා. සමහර රෝගීන් මේ පරීක්ෂණ සඳහා නිර්වින්දනයට පවා ලක් කළ යුතුයි.

කුඩා අන්ත්‍රයේ රෝග හඳුනා ගැනීම සඳහා මෙතෙක් සාර්ථක ක්‍රමයක්ව පැවති බැලූන් එන්ටරස්කොපි පරීක්ෂාවේදී රෝගියා සම්පූර්ණ නිර්වින්දනයකට ලක් කළ යුතු වෙනවා මෙන්ම පරීක්ෂණය සඳහා වැඩි කාලයක් ද ගත වෙනවා. එමෙන්ම කුඩා අන්ත්‍රය සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කිරිම සඳහා රෝගියාගේ මුඛයෙන් මෙන්ම ගුද මාර්ගය හරහා ද එන්ටරස් කොපි බටය ඇතුල් කළ යුතු වෙනවා.

කෙසේ වුවත් මේ ක්‍රමයේ වාසි හැටියට කුඩා අන්ත්‍රයේ රෝගී තත්ත්වලදී අවශ්‍ය පටක ලබා ගැනීමට හැකි වීමත් රුධිර වහනයක් ඇත්නම් ඒවා නැවැත්වීම සඳහා ඩයතමී මඟින් රුධිර නාල සීල් කිරීමත් කළ හැකියි. මේ කාල වකවානුව වනවිට කුඩා අන්ත්‍රය ආශි‍්‍රතව විවිධ රෝග හඳුනා ගැනීම කෙරෙනවා. එමෙන්ම කුඩා අන්ත්‍රය ආශි‍්‍රත රෝගවල වැඩි වීමක් ද දක්නට ලැබෙනවා.

කුඩා අන්ත්‍රය ආශි‍්‍රත රෝග තත්ත්ව ඉතා සියුම් ලෙස පරීක්ෂා කිරීමට නවතම පරීක්ෂණ ක්‍රමයක් ලෙස කැප්සියූල් එන්ටරස්කොපි ක්‍රමය හඳුන්වා දිය හැකියි. මෙය ඉතාම පහසු ක්‍රමයක් මෙන්ම රෝගියාට ද කිසිදු අපහසුතාවක් ඇති කරන්නේ නැහැ.

මෙහිදී මූලිකවම රෝගියා පෙර සූදානමකට ලක් කරනවා.

උදෑසන 9.00 ට යම් රෝගියෙකු කැප්සියුල් එන්ඩොස්කොපි පරීක්ෂණයට යොමු කරන්නේ නම් එම රෝගියා පෙරදා සවස 6.00 පමණ වනවිට අවසන් ඝණ ආහාරය ලබාගෙන අවසාන විය යුතුයි. ඉන් පසු රාත්‍රී බඩ සුද්ද වීම සඳහා පොලිඑතිලීන් ග්ලයිකෝල් නැමැති ඖෂධය ලබාදීම කරනවා. මෙම ඖෂධ පැකට් 2ක් රාත්‍රී බීමට දී උදෑසන පැකට් 2ක් නැවත බීමට දීම රෝගියාට පහසුවක් වෙනවා. පොලිඑතිලීන් පැකට් එකක් වතුර ලීටරයක දියකර පැය 1 1/2ක් තුළ එය පානය කළ යුතුයි.

රෝගියා විජලනය වීමෙන් වළක්වා ගැනීම සඳහා වරින් වර රෝගියාට දියර වර්ග පානයට දීම ද වැදගත් වෙනවා. පරීක්ෂණය සිදු කරන තුරු රෝගියාට ඝණ ආහාර දීමෙන් වැළකීම ද වැදගත් වෙනවා.

පොලිඑතිලීන් ලබා ගැනීමෙන් පසු රෝගියාගේ මහා අන්ත්‍රය හා කුඩා අන්ත්‍රය හොඳින් පිරිසුදුවීම නිසා එය හොඳින් නිරීක්ෂණය කළ හැකියි. රෝගියාගේ ඉන ප්‍රදේශයේ කුඩා මැෂිමක් සවි කොට කැමරාවක් සහිත කුඩා පෙත්තක් ගිලීමට සළස්වා කැප්සියුල් එන්ඩොස්කොපි (Capsule Endoscopy) පරීක්ෂාව කරනවා.

මෙම පෙත්ත කුඩා අන්ත්‍රයට ගමන් කිරීමෙන් පසු කුඩා අන්ත්‍රය සම්පූර්ණ ඡායාරූප ගත කිරීමකට ලක් වෙනවා. එසේ ගන්නා ඡායා රූප ඉනේ සවිකොට ඇති කුඩා මැෂිමේ තැන්පත් වීමත් සමඟම දර්ශන තිරයකට ලබා ගන්නවා. මේ හරහා කුඩා අන්ත්‍රය පියවි ඇසින් දකින්නා සේ නිරීක්ෂණය කළ හැකියි. ඉතා කුඩා සියුම් තුවාල වුවද මේ හරහා දැකබලා ගත හැකියි. එය කුඩා අන්ත්‍රයේ රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීමට බෙහෙවින් ඉවහල් වෙනවා.

මෙහි ඇති එකම අවාසිය වන්නේ කුඩා අන්ත්‍රයේ පටක ලබා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට නොහැකි වීමයි. නමුත් මෙහි ඇති ප්‍රධානතම වාසිය වන්නේ එන්ටරස්කොපි පරීක්ෂාවකින් ද හඳුනාගත නොහැකි කුඩා බඩවැලේ රෝගී තත්ත්ව ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ඇති හැකියාවයි.

මෙම පෙත්ත මළ සමඟ ශරීරයෙන් බැහැර වීමට පැය 12 ක පමණ කාලයක් ගත වෙනවා. මෙම පරීක්ෂණයේදී රෝගියා නිර්වින්දනයට ලක් කළ යුතු වන්නේ ද නැහැ.

කුඩා අන්ත්‍රයේ රෝගී තත්ත්ව හඳුනා ගැනීමට නොහැකිම අවස්ථාවලදී මෙම පරීක්ෂණය හරහා රෝග හඳුනා ගැනීමට හැකියාව පවතිනවා.