කොලෙස්ටරෝල් වැඩි නම් හෘදයාබාධ අවදානම වැඩියි

කොලෙස්ටරෝල් වැඩි නම් හෘදයාබාධ අවදානම වැඩියි

අවු. 35ට වැඩි පිරිමින් අවු. 45ට වැඩි කාන්තාවන් වසරකට වරක්වත් කොලෙස්ටරෝල් පරික්ෂාව කරගත යුතුයි

බලන්නකෝ වෙන අසනීපයකට ලේ චෙක් කරද්දි මට කොලෙස්ටරෝල් තියනවා කියලා ඩොක්ටර් කිව්වා. කොලෙස්ටරෝල් 250 ත් පැනලා. එක්තරා කාන්තාවක් මා සමඟ පැවසු ඒ වදන් පෙළින්ම ලිපිය ඇරඹිමට යෝග්‍ය යැයි මාගේ අදහසයි.

කොලෙස්ටරෝල් සාමාන්‍යයෙන් සුපිරි පන්තියේ උදවියට ඇතිවන තත්ත්වයක් ලෙස ප්‍රකට වුවද වර්තමානයේ සාමාන්‍ය පන්තියේ උදවියත් කොලෙස්ටරෝල් වලින් පෙළෙන බව නම් අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. Hot dogs හොට් ඩෝග්ස්, පේ‍්‍රස්ට්‍රි, කොත්තු, චයිනිස් කෑම, චිස්, බටර්, ඌරු මස් හරක් මස් මේ සියල්ලම අවසානයේ අපට ඉතිරි කරන්නේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රතිශතය වර්ධනය කිිරිමයි. එසේම පැය අටම වාඩිවි ව්‍යායාම් නොකරන ඔබටත් අත්වන්නේ මේ ඉරණමයි.

කොලෙස්ටරෝල් මිනිස් සිරුරේ සැම සෛලයක් තුළම තිබෙන මිනිසාට අත්‍යවශ්‍ය දෙයකි. සිරුරේ සෛල, අස්ථි, මාංශ පේශි, හෝර්මොන, මොළයේ ක්‍රියාකාරිත්වය, මතකය, ස්නායුවල ක්‍රියාකාරිත්වය, ආහාර දිරවීම, ප්‍රජනන පද්ධතිය හා බැඳුණු හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය, හිරු එළිය සමඟ එකවී සිරුර තුළ විටමින් ච් නිපදවීම මේ සෑම ක්‍රියාවකටම කොලෙස්ටරෝල් අත්‍යවශයම සාධකයකි.

කොලෙස්ටරෝල් ජලයේ දිය නොවන එහෙත් තෙල්වල දියවන මේදය හෝ ඉටි වැනි ඇලෙන සුළු සංයෝගයක් වේ. ජිව විද්‍යාත්මකව පැවසීමේදි තෙල්, මේද, කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් ආදිය පොදුවේ හඳුන්වන්නේ ලිපිඩ Lipids යනුවෙනි.

අපේ සිරුරට අවශ්‍ය කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ අපේ සිරුර තුළමය. අපේ අක්මාවේ කොලෙස්ටරෝල් 75-80% අතර නිපදවෙන අතර අප ගන්නා ආහාර තුළින්ද කොලෙස්ටරෝල් නිපදවේ. නමුත් අපේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අතවශ්‍ය කොලෙස්ටරෝල් නිපදවන ප්‍රමාණය වැඩි වුවොත් එය අතිශයින්ම හානිකර තත්ත්වයකි.

අද ලෝකයේ ප්‍රධානතම මරණ අනුපාතයක් බවට පත්වී ඇති හෘදයාබාධ තත්ත්වයට මේ කොලෙස්ටරෝල් සෘජු ලෙසම බලපෑම් සිදු කෙරෙන බව පවසන්නේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ මහතාය.

කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි වීම හෘදයාබාධයකට ප්‍රධානතම හේතුවකි. හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ හදවත් පේශියට රුධිරය සපයන ධමනි ඇතුළත අවහිර විමයි.

එවිට හදවතේ ක්‍රියාකිරිමට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය රුධිරය මඟින් හදවතට සැපයිම අවහිර වී හදවතේ ක්‍රියාකාරිත්වය නතර විය හැක. අපේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි විම නිසා වැඩිමනත් කෙලෙස්ටරෝල් ධමනි බිත්තිවල ඇතුල් පැත්තේ තැන්පත් වී රුධිර ගමනය අවහිර කරයි. කොලෙස්ටරෝල් වර්ග දෙකක් ඇත. ඒ HDL (හොඳ කොලෙස්ටරෝල්) සහ HDL (නරක කොලෙස්ටරෝල්)යනුවෙන් HDL අපගේ රුධිරය පුරා ගමන් කරමින් රුධිර නාලවල ඇති නරක කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයකින් බැහැර කෙරේ. එබැවින් HDL කොලෙස්ටරෝල්වලින් ඔබේ සිරුරට වන්නේ යහපතකි.

අවාසනාවකට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමේදි කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත. එය අතිශයින් භයානක තත්ත්වයකි. ඇතැම් තරුණ වයසේ උදවිය හදිසියේ හෘදයාබාධවලින් මිය යාමට අධික කොලෙස්ටරොල් ප්‍රධානතම හේතුවක් වී ඇත.

එබැවින් වයස අවු 35 ට වැඩි පිරිමි පක්ෂයත් වයස අවු45 ට වැඩි කාන්තාවනුත් වසරකට වරක්වක් කොලෙස්ටරෝල් පරික්ෂාව කරගත යුතුමයි. මෙය වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වන්නේ Lipid Profile  නමිනි. මෙම පරික්ෂාව කර ගැනිමට පැය 12 - සිට 14 අතර කාලයක් නිරාහාරව සිටිය යුතු අතර ජලය පමණක් සුළු වශයෙන් පානය කළ හැක. නමුත් ඔබේ පවුලේ යම්කිසි පුද්ගලයකු හෘදයාබාධයකින් අඩු වයසින් මිය ගියේ නම් එසේත් නැතිනම් පවුලේ අනිත් අයට කොලෙස්ටරෝල් වැඩි ප්‍රතිශතයක් තිබේ නම් දරුවන් තරබාරු නම් වයස අවු 8 - 10 පමණ සිට කොලෙස්ටරෝල් පරික්ෂාව කර ගැනීම නුවණට හුරුයි.

ටෝට්ල් කොලෙස්ටරෝල් ප්‍රතිශතය තිබිය යුත්තේ 200 - 239 mg/dL  අතර අගයකි. එම අගයට වැඩි නම් ඔබට කොලෙස්ටරෝල් වැඩි ප්‍රතිශතයක් තිබේ යැයි වෛද්‍යවරයා පවසයි. ඔහු ලබා දෙන ඖෂධ නිතිපතා ලබා ගත යුතු අතර වෛද්‍යවරයාගේ අනුදැනුමින් තොරව කිසිම විටක ඖෂධ නතර නොකළ යුතුය.

රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීමට හේතු

පිෂ්ඨ, සීනි, සංතෘතප්ත මේදය, ට්‍රාන්ස් මේද අම්ල, චිස්, බටර්, බිත්තර කහමද, මස් වර්ග ආහාරයට ගැනීම ව්‍යායාම් මද වීම සිරුර නොවෙහෙසා සිටිම, අනවශ්‍ය ලෙස සිරුර මහත්විම, දැඩි මානසික ආතතිය, අවශ්‍ය ප්‍රමාණයට නින්ද නොලැබිම, අයඩින් විටමින් D සහ B3 නිසි පමණ සිරුරට නොලැබිම.

පරම්පරාවෙන් ජානමය හේතුන් මත කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි විය හැක.

මෙවැනි උදවියට ආහාර පාලනයන් කොලෙස්ටරොල් ප්‍රතිශතය අවම කරගත නොහැකි අතර එකම විසඳුම ඖෂධ ලබා ගැනිම පමණි. පිරිමි ගැහැනු දෙපක්ෂයකටම වයසින් වැඩිවත්ම කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩිවීම සමාන්‍ය සිද්ධාන්තයකි. ආර්තවහරණයට පසු රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යා හැක. ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය දැනටමත් වැඩි නම් වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගත යුතු අතර ව්‍යායාම්වල නිරත වෙමින්. මේද රහිත ආහාර අවම කරමින් ජිවන රටාව හරියාකරව සකසා ගත යුතුයි. එවිට ඔබ හෘදයාබාධයකට ගොදුරුවීමේ අවාසනාවෙන් මිදෙනු ඇත.