ඔබ වතුර බොන ළිඳේ ජලය පිරිසිදුද?

ඔබ වතුර බොන ළිඳේ ජලය පිරිසිදුද?

අපිරිසිදු ජලය පානය කිරීමෙන් අපට ඇතිවිය හැකි රෝග බොහොමයකි.

අප නොදැනුවත්වම අපේ ළිං වල ජලය සතෙක් වැටීම, සතුන්ගේ අසූචි වැටීම, කුරුල්ලන් ලේනුන් විසින් මස්කටු, පළතුරු වර්ග, ළිඳ තුළට දැමීම, විෂ ඇති ශාඛ වර්ග වල පත්‍ර ළිඳට වැටීම ආදියෙන් ජලය අපිරිසිදු වේ. එබැවින් ළිඳ දැලකින් උසට ආවරණය කිරීම නිසා ළිඳ ආරක්ෂා වේ. උසට ආවරණය කිරීමේ වාසිය වන්නේ ළිඳ වටා ඇති පුස් වර්ග සියල්ල සූර්යා ලෝකයෙන් විනාශ වී යාමයි මතුපිටට ඝන වීදුරුවක් දැමීම ද වඩාත් යෝග්‍යයි. හේතුව හිරු එළිය ළිඳ ඇතුළට ගමන් කරන බැවින් හිරුගේ කිරණ වලින් ජලයේ විෂබීජ විනාශ වන බැවිණි.

ළිඳක් තැනීමේදී දැනගත යුතු කරුණු

ඔබ ජලය ලබා ගන්නා ළිඳට ආසන්නම අපද්‍රව්‍ය දමන/ වැසිකිලි වලක් නොතිබිය යුතුය. ළිඳක් කැපිය යුත්තේ වැසිකිළි වලට අඩි 60 ක් ඈතිනි.

විශේෂයෙන් වැලි සහිත පොළවක් නම් වැසිකිලිය සහ ළිඳ අතර පරතරය අඩි 100 ක් කබොක් පසක් නම් අඩි 60 ක ඈතින් විය යුතුය.

ජලය සහිත ළිදක් කපන ලද ස්ථානයේ අසල කර්මාන්තශාලා, වගාබිම් තිබීම කොහෙත්ම සුදුසු නැත. හේතුව කර්මාන්තශාලාවලින් බැහැර වන රසායනික ද්‍රව්‍ය ළිඳට ගලා ඒමක් සිදුවිය හැකි බැවිණි.

එසේම වගා බිම්වලට ඉසින වල් නාශක කෘමි නාශක මෙන්ම රසායනික පොහොර පසට උරා ජලයේ දියවී ඒවා ළිං ජලය හා එකතු වේ.

විශේෂයෙන් පොහොර වර්ග වල ඇති බැර ලෝහ වර්ග ජලය සමඟ දියවී ළිං ජලයට එක්වීම වැළැක්විය නොහැක. එවිට ජලයේ නයිට්ට්‍රයිට් නයිට්ට්‍රේට් ප්‍රමාණය ඉහළ යාමක් සිදුවේ. විශේෂයෙන් ළිඳ වටා බැඳ තිබීම අත්‍යවශ්‍යය වන්නේ ඒ නිසාය.

එවිට අපද්‍රව්‍ය ළිඳ තුළට ගලා ඒම බොහෝවිට වැළකේ.

ළිදේ බිම් ප්‍රමාණයද අඩි 2,3 පමණ සිමෙන්තියෙන් බැඳ තිබිය යුතුය. හේතුව මීයන් විසින් පස් හාරා උන්ගේ අසූචි මුත්‍රා ළිං ජලයට එක්වන බැවිණි.

යම්කිසි දුගන්ධයක් රසයක් හෝ වර්ණයක් පානීය ජලයේ ඇත්නම් ඔබ වහාම කළ යුත්තේ එම ජලය පරීක්ෂාවට ලක්කිරීමයි. ලංකාවේ ජලය පරීක්ෂාවට ලක් කරන විශ්ලේෂණය කරන රජයේ සහ පෞද්ගලික රසායනාගාර ඇත. විශේෂයෙන්ම පෞද්ගලික රසායනාගාරවල නීතිඥානූකූල තත්වය සොයා බලා ජල සාම්පලයක් ඔවුන්ට ලබාදී ඒවායේ අපිරිසිදු, පිරිසිදු භාවය සහ ඔබේ පානීය ජලයේ කොතරම් බැර ලෝහ අඩංගුද එසේ නැතිනම් අසූචි මිශ්‍රවී ඇත්ද සතුන්ගේ මළකුණු හා මිශ්‍ර වී ඇත්ද විෂ ශාඛ වල පත්‍ර හෝ නාරටි මිශ්‍ර වී ඇත්ද යන්න හොඳින් සොයා බලා දැනගන්න. ඔබේ පහසුව තකා රජයේ රස පරීක්ෂක ආයතන, කාර්මික තාක්ෂණ ආයතනය විශ්ව විද්‍යාලයීය රසායනාගාර, සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර (කුරුණෑගල, කළුතර, අනුරාධපුර ආදියෙන් යම්කිසි මුදලක් ගෙවා ඔබගේ පානීය ජලයේ ඇති පිරිසිදු භාවය ඔබටම තහවුරු කරගත හැකිය. එය ඔබගේ ජීවිතයට වඩාත් යහපත් වන්නේ අපිරිසිදු ජල බිඳුවකින් පානය කිරීමෙන් පවා ඔබ මාරාන්තික රෝගියෙකු විය හැකි බැවිණි.