පිරිමින්ට බයයි

පිරිමින්ට බයයි

මලක් මෙන් පියකරු හා ලස්සන නිසාම ඇයව අපි “මලී” කියලා හඳුන්වමු. ඇයට ගැහැනියක් නිතිපතා පතනා ලස්සන සිරුරක් උරුම වී තිබුණා. ඇය විවාහකයි. ඇගේ ස්වාමිපුරුෂයා වූයේ “ගිහාන්” ඔහුත් ඇයට නොදෙවෙනි කඩවසම් රූ සපුවකින් යුක්ත වූවා. මා වසනා ප්‍රදේශයට ළඟකදී පදිංචියට පැමිණි මේ යුවළට නිතර නිතර මා හමුවීමට පැමිණීම ඉතා සුලබ අත්දැකීමක් වූණා.

ඒ ඒ හැම වාරයකදීම විවිධ වූ ශාරීරික ගැටලු හා රෝග ලක්ෂණ “මලී” විසින් රැගෙන ආවා. දින කිහිපයකදී මා හට වැටහුණේ “මලී” සතු රෝග ලක්ෂණ කායික රෝගයකට වඩා කිසියම් “මානසික” තත්ත්වයක ඇති ගැටලුවලට සමීප බවක් දක්වන බවයි. විටෙක හිස කැක්කුමකට ප්‍රතිකාර ගන්නා ඇය, විටෙක පිටේ වේදනාවකටත්, තවත් වරෙක පාදයේ ආබාධයකටත්, බඩේ වේදනාවකටත් ආදී ලෙස රෝගී පරීක්ෂාවේදී හෝ රුධිර මුත්‍රා පරීක්ෂාවේදී හසු නොවෙනා විවිධ පැමිණිලි ඇය විසින් රැගෙන එනු ලැබුවා. අවසානයේදී ඔවුන් හා උපදේශන සැසියක් සූදානම් කරනු ලැබුවා.

“මලී” හා “ගිහාන්”යුවළ විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වූවා. දරුවකු පිළිසිඳ නොගැනීමත්, “මලී” ට සෑදෙන විවිධ රෝගත්, ඔවුන්ගේ සහ සම්බන්ධ වූ පවුල්වල අයට ද තරමක ප්‍රශ්නයක් පේ‍්‍රහේලිකාවක් ගෙන දුන්නා. මේ නිසාම නෑදෑයන්ට මුහුණ දීමට ද, ඔවුනට පිළිතුරු දීමට ද සිදුවීම අප ජීවත් වන සංස්කෘතික රාමුව තුළ නොවැළැක්විය හැක්කක්ම නිසා ඒවාද ඔවුනට කරදරයක් වී තිබුණා. කුමන රෝග තත්ත්වයක් හා රෝග ලක්ෂණයක් “මලී” ට තිබුණත්, ගිහාන් තුළ ඇය කෙරෙහි ඇති ඉමහත් ආදරය ඔවුන්ගේ පවුල් ජීවිතය අඬ දඹරයන්ගෙන් තොර “සාමය” රජ යන එකක් වීමට උපකාරී වී තිබුණා.

වැඩිපුර සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූයේ “මලීගේ” පවුල් ජීවිතය හා අතිශය පෞද්ගලික ජීවිතය තුළ ගිහාන්ට තිබූ “බිය”යි. ඔවුන් කොයිතරම් ආදරයෙන් බැඳී එකට ජීවත් වුවත් පවුල් ජීවිතය ගත කිරීමේදීත්, දරුවන් සෑදීමට යෑමේදීත් ගිහාන් කෙරෙහි වූ බිය ඉස්මතු වූවා. මේ නිසාම පවුල් ජීවිතය තුළ “මලීට” තිබුණේ ඉතා අසහනකාරී තත්ත්වයක්. ගිහාන් ඉතා විශිෂ්ට ලෙස මේ තත්ත්වය ඉවසා ගනිමින් ආදරයෙන් ඇයට සැලකූවා. “මලී” මතුපිට සිතෙන් ගිහාන් සමඟ සිටියත් යටි සිතෙන් “ගිහාන්ට” බිය වූවා. පසුව තේරුම් ගියේ මෙය “ගිහාන්ට” ඇති බියකට වඩා “පිරිමින්ට” ඇති බියක් බවයි. “මලීගේ යටිසිත පිරිමින්ට බිය වූයේ ඇයි? මෙයට ඇය සතුව සංකීර්ණ වූ පිළතුරක් තිබුණා.

කලින් සඳහන් කළා සේ “මලී” ඉතා ලස්සන යුවතියක්. ඇයට උපතින්ම ලස්සන සිරුරක් හිමි වී තිබුණා. මේ නිසාම කුඩා කල සිටම ඇය කාගේත් අවධානයට ලක් වී තිබුණා. තරමක් වයසින් මුහුකුරා යද්දී, පාරේ තොටේ ගමන් කරනා විටදී අන් අයගෙන් විශේෂයෙන් තරුණයන්ගේ අවධානයට හා ආදරයට පත්වීම සම වයසේ වෙනත් තරුණියකට වඩා අඩු වයසකදීම මෙවැනි දේට මුහුණ දීමට සිදුවීම ඇයටත් වඩා ඇයගේ අම්මාට, තාත්තාට හා සොහොයුරන්ට ප්‍රශ්නයක් වූවා. ප්‍රතිඵලය වූයේ පාසැල් යාම, ඇරුණු කොට දවසේ වැඩි කාලයක් නිවස තුළ, කාමරයක් තුළ සිර ජීවිතයක් ගත කිරීමට සිදු වීමයි. සාමාන්‍යයෙන් තරුණියකට මෙවැනි ජීවිතයක් උරුම වීම අප ජීවත්වන සමාජය තුළ කිසියම් විශේෂත්වයක් නොගත්තත්, පවුලේ අයගේ බලපෑම මත, අනිකුත් “පිරිමි” අය නිසා එසේ ජීවත් වීමට සිදුවීම කුඩා “මලී” දියණියට මානසික වදයක් වූවා. සම වයසේ යහලුවන් නිවසින් පිටතට යන අවස්ථා එකක් හෝ “මලීට” හිමිවූයේ නැහැ. වයස මුහුකුරා යත්ම ඇයගේ පියකරු බව ක්‍රම ක්‍රමයෙන් වැඩිවීම මේ ප්‍රශ්නය තවත් උග්‍ර කළා කිව්වොත් නිවැරදියි.

ඒ වාගේම මේ ආකාරයට ප්‍රශ්නය උග්‍ර කිරීමට ඇයගේ දෙමව්පියන් හා සොහොයුරන් කෙළින්ම වගකිය යුතු බැව් දැනට ඇයගේ විශ්වාසය වී තිබෙනවා. මේ ආකාරයට “පිරිමි” තහනම් වචනයක් ලෙසට යටිසිත බිය වී “මලීගේ” සිතට වදයක් ගෙන දුන්නා. ගෙදර අනිකුත් අයට සාපේක්ෂව “මලි ඉතා රූමත් නිසා නිවසට පැමිණෙන අමුත්තන් හා අනිකුත් නෑදෑයන්, මලීගේ සැබෑ දෙමව්පියන් මේ ගෙදර අය නොවන බවත් රෝහලෙන් අහුලාගෙන ගෙදර ආ බවත් පවසා උසළු විසළු සිදු කරනු ලැබුවා. අදටත් කිසියම් දරුවකුගේ සමේ පැහැය අන් අයට වඩා “කලු” වූ විට හා සමේ පැහැය අන් අයට වඩා “සුදු” වූ විට එම දරුවා ඔවුන්ගේ නොවන බවත් රෝහලෙන් අහුලාගෙන ආ බවත් පවසා උසුළු විසුළු කිරීම බොහෝවිට අත් දකිනා දෙයක් බව පාඨක ඔබට මතක ඇති මේ ආකාරයට සිදුවන උසුලු විසුළුවල දරුවෙකුගේ යටි සිතට ඇති කරනා බලපෑම නම් සුළු පටු එකක් නොවන බව මතක තබාගත යුතු වෙනවා.

ඉතිං මේ ආකාරයේ සිද්ධීන් ද “පිරිමි” බැල්ම නිසා හේතු තුළට කොටු කළ “පුංචි මලී” ට ඉමහත් බලපෑමක් එල්ල කරනු ලැබුවා. වැඩිහිටි වූ කලෙක පවුලේ හා සමාජයේ හා මිතුරන්ගේ බලපෑම මත පේ‍්‍රම සම්බන්ධතා හා අවාහ විවාහ කටයුතු සිදු වුවත් “පිරිමියකු” සමඟ යුග ජීවිතය ගත කරන කල මලීගේ “යටිසිත” ක්‍රියාත්මක වීම ඇයව ඒ ආකාරයේ “රෝගී තරුණියක්” කර තිබුණා. ඇත්තටම මලීට තිබුණ ලස්සන “අවලස්සන ලස්සනක්” බවට පවුලේ අයත් සමාජයත් පත් කර තිබුණා. ඇයට තමන්ගේ මානසික තත්ත්වය හා එයට අදාළ හේතු පිළිබඳව හොඳ දැක්මක් තිබීම ඉතා ප්‍රයෝජනවත් එකක් වූවා. උපදේශනය හා අදාළ ප්‍රතිකාර මඟින් ඇය කිසියම් “මානසික සුවයක්” දැන් අත්පත් කර ගනිමින් සිටිනවා.

මලීගේ “අවලස්සන ලස්සන” පවුලේ වෛද්‍යවරයෙකුගේ තවත් සොඳුරු අත්දැකීමක්.