බිලිඳු වයසේ අයටත් ගැස්ට්‍රයිටීස්

බිලිඳු වයසේ අයටත් ගැස්ට්‍රයිටීස්

ගැස්ට්‍රායිටීස් රෝගය කුඩා දරුවන්ට වැළඳෙනවා යැයි කීවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. දරුවන්ට වැළඳෙන ගැස්ට්‍රයිටීස් රෝගය හඳුනා ගැනීම තරමක් අපහසුයි.

නමුත් ඔවුන්ට නිවැරදිව රෝග ලක්ෂණ පැවසීමට හැකියාවක් නොමැති වුවත් ඔවුන් පවසන යම් යම් දේ අනුව දරුවාට ඇති රෝග තත්ත්වය පිළිබඳව යම් ඉඟියක් ලබාගත හැකියි.

ආහාර මාර්ගයේ බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් නිසා මේ රෝගී තත්ත්වය ඇතිවිය හැකියි.

කුඩා අන්ත්‍රයේ හා මහා අන්ත්‍රයේ ආසාදනය වීමත් ආමාශයේ ආසාදන තත්ත්වයත් මේ සඳහා ප්‍රබල ලෙස බලපානවා.

මෙහිදී දරුවා උදරයේ වම්පස වේදනාව හා පපුවේ වේදනාව වැනි රෝගී ලක්ෂණවලින් පෙළිය හැකියි.

බඩ බුරුල් කොට මළපහ පිටවීම, වමනය සහ උණ දරුවා කෙරෙන් දැකගත හැකි තවත් රෝග ලක්ෂණයි.

දරුවා ගන්නා කෑම නැවත නැවත උගුරට ඒම, කෑම අරුචිය පපුවේ මැද පෙදෙසේ වේදනාව වැනි රෝගී තත්ත්වයන් ද පෙන්නුම් කරනවා. දරුවාගේ පපුවේ වේදනාව නිසා බොහෝවිට මවුපියන් දරුවාට හෘද රෝගී තත්ත්වයක් යැයි සිතා බියට පත්වන අවස්ථා ද අප දැක තිබෙනවා. නමුත් මේ තත්ත්වය ඇතිවන්නේ හෘදය වස්තුවේ දෝෂයක් නිසා නොවෙයි.

කුඩා කල සිට කිරි උගුරට පැමිණි දරුවන්ට ගැස්ට්‍රයිටීස් වැළඳීමේ ඉඩකඩ වැඩියි.

විශේෂයෙන්ම ගැස්ට්‍රයිටීස් සහිත දරුවන්ට අධික තෙල් හා මිරිස් අධික ආහාර දීම නොකළ යුතුයි. දරුවන්ගේ බර අඩුවීම, මලානික බව මෙන්ම ලේ අඩුකමද ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ඇති වෙනවා. දරුවාට කුඩා කාලයේ සිටම ගැස්ට්‍රයිටීස් රෝගය වැළඳීමේ ඉඩකඩ පවතිනවා.

බොහෝවිට දරුවා නිතරම යම් යම් වේදනාවන් පවතින බව පවසනවා. ගැස්ට්‍රයිටීස් රෝගයේදී ඇසිඩ් ගතිය උගුරට ඒම නිසා ගලනාලයේ විවිධ ආසාදන තත්ත්ව ඇති වෙනවා. මේ ආසාදන නිසා උගුර දැවිල්ල වැනි තත්ත්ව ඇති වෙනවා.

දරුවා නිදාගත් විට කිරි හෝ වෙනත් දෑ උගුරට ඒමේ ඉඩකඩ ගැස්ට්‍රයිටීස් සහිත දරුවන් කෙරෙන් දැකගත හැකියි.

එමෙන්ම පුංචිම දරුවන් කිසිදු හේතුවක් නොමැතිව හඬන්නේ නම් එයද ගැස්ට්‍රයිටීස් නිසා ඇතිවන වේදනාවන් හේතුවෙන් විය හැකියි.