රත්තරං පැයේ රෝගියාගේ ජීවිතය බේරා ගන්නේ කොහොමද?

රත්තරං පැයේ රෝගියාගේ ජීවිතය බේරා ගන්නේ කොහොමද?

යම් රෝග හා හදිසි අනතුරු සම්බන්ධයෙන් ගත් කල කාලයට දිය හැකි වටිනාකම "රන්" හා සමාන බව පසුගිය සතියේදී අප හඳුනා ගතිමු. එනිසා "රන්" හා සම කළ පැයක කාලයක් තුළ (Golden Hour) ක්ෂණිකව ක්‍රියාත්මක වීමෙන් හා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබ ා දීමෙන් බොහෝදුරට නැවත යථා තත්ත්වයට පත් කරගත හැකි හා මරණයෙන් මුදවා ගත හැකි හදිසි රෝග තත්ත්ව කීපයක් හඳුනා ගැනුණු අතර අද පළවන්නේ එම ලිපියේ ඉතිරි කොටසයි.

හුස්ම හිරවීම

හදිසි හුස්ම හිරවීමක්, ඇදුම හෝ වෙනත් පෙනහලු රෝග සහිත රෝගීන්ට විය හැකිය. තවද ළදරුවන් සහ මහලු අයටත් විශේෂයෙන් බාහිර ද්‍රව්‍යයක් මුඛයේ සිරවීමෙන් හුස්ම හිරවීම සිදු විය හැක. ඊට අමතරව ආහාර ගැනීමේදී කෙනෙකුට හුස්ම හිරවිය හැක. එසේම දියේ ගිලීමෙන් ද හුස්ම හිරවීමක් සිදුවිය හැක.

මෙසේ ක්ෂණිකව ඇතිවන හුස්ම හිරවීමකදී රෝගියා අත්දෙක බෙල්ල වටා තද කර ගැනිම ද දැකිය හැක. මෙවැනි හදිසි අවස්ථාවකදී ගිලී ඇති ආගන්තුක ද්‍රව්‍යය පිටතට ගැනීම රෝගියාගේ උදරය තද කිරීමෙන් කළ හැක. නමුත් එම අවස්ථාව මඟහැරී යාමක් සිදු වුවහොත් විනාඩි හතරක පමණ කාලයකින් රෝගියාගේ හුස්ම නැවතිය හැක. එබැවින් මෙයද ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු අවස්ථාවකි.

හදිසි හුස්ම හිරවීමකට හේතුවන මෙවැනි ආගන්තුක ද්‍රව්‍යයක් ඉවත් කරන නිවැරදි ක්‍රමවේද පිළිබඳ දැනුමක් වෛද්‍යවරුන්, හෙදියන් හා හදිසි ප්‍රතිකාර පිළිබඳ පුහුණුව ලද පිරිස් සතුය.

එලෙසම මෙවැනි අවස්ථාවක ඇදුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා දීම ද ඉක්මනින් කළ යුතුය. එවිට පෙනහලුවල වාත නාල විවෘත වී නැවත හුස්ම ගැනීම පහසු වෙයි. එසේ අවශ්‍ය ප්‍රතිකාර නොලැබී ගියහොත් වාත නාල වැසී ගොස් ජීවිතය අනතුරකට ලක්විය හැකි අතර මෙයද වළක්වා ගත හැක්කේ එම හදිසි රෝගී තත්ත්වය ඇති වී ගෙවෙන පළමු පැය ඇතුළතය.

ඒ සඳහා රෝගියා හැකි ඉක්මනින් ඒ සඳහා පහසුකම් සහිත ස්ථානයකට ගෙන යෑම ඉතා වැදගත්ය. දියේ ගිලීමකදීත් එසේමය. පළපුරුදු අයෙකු වෙතින් රෝගියාට කඩිනමින් කෘත්‍රිම ස්වසනය ලබා දීම අත්‍යවශ්‍යය.

අධික රුධිර වහනය

මෙහිදී ධමනි මඟින් සිදුවන රුධිර වහනය වඩාත් බරපතළය. මෙවැනි අවස්ථාවක ගෝස් හෝ පිරිසුදු රෙදි කැබැල්ලක් තබා රුධිර වහනය නතර කරගත යුතුය. තවද ඉතා වැදගත් කරුණක් නම් එම රෙදි කැබැල්ල සම්පූර්ණයෙන් රුධිරයෙන් පෙඟුණත් එය ඉවත් කොට අලුත් රෙදි කැබැල්ලක් තැබීම සුදුසු නැති බවය. කළ යුතු වන්නේ එම රෙදි කැබැල්ලටම උඩින් තවත් ගෝස් හෝ රෙදි කැබැල්ලක් තැබීමයි. හේතුව රුධිර වහනය වළකාලීමට යෙදූ මුල් රෙදි කැබැල්ල ඉවත් කිරීමේදී, රුධිර වහනය නතර කිරීමට නිපදවෙන රුධිර කැටිය එම රෙදි කැබැල්ල සමඟ ගැලවී යා හැකි වීමය. එවිට යළි රුධිර ගැලීමක් විය හැක.

තවද මෙවන් අවස්ථාවක හැකිතාක් ඉක්මනින් රෝගියා රෝහලට ගෙන යෑම වැදගත් වේ. මෙහිදී රෝගියාගෙන් රුධිරය ලීටර් 2කට ආසන්න ප්‍රමාණයක් පිටවී ඇත්නම් එය මාරාන්තික තත්ත්වයක් ලෙස සලකන අතර එහිදී රෝහලට ගෙන යෑමට ප්‍රථම වුවද රෝගියාට සේලයින් දීමට ද සිදුවිය හැක.

දියවැඩියාව නිසා ඇතිවන සිහිනැති වීම

දියවැඩියා රෝගියකු සිහි නැති වීමට පෙර අධික ලෙස දහදිය දමමින් පිපාසයෙන් කුසගිනි දැනෙන බව පැවසිය හැක. ඊට අමතරව රෝගියා සිහිමද ගතියක් පෙන්විය හැක. මෙවන් අවස්ථාවක රෝගියාට සීනි වැඩිපුර දැමූ තේ කෝප්පයක් හෝ වෙනත් පානයක්, පානය කිරීමට සැලැස්විය යුතුය. මෙය ඉතා සුළු ප්‍රතිකාරයක් සේ පෙනී ගියත් එය බොහෝ වැදගත් ප්‍රතිකාරයකි. මන්ද සිහිමද ගතිය ඇති වී විනාඩි කීපයක් ඇතුළත අදාළ පියවර නොගතහොත් රුධිරයේ සීනි අවම වී රෝගියා සිහි නැති වී යා හැක. එවිට රෝගියාට මුඛයෙන් ආහාර පාන ලබාගත නොහැකි වන අතර රෝගියා එමඟින් මාරාන්තික තත්ත්වයකට ගමන් කළ හැක. එවැනි විටෙක එන්නත් මාර්ගයෙන් රුධිරයට සීනි ලබා දීමට අවශ්‍ය වන අතර ඉතා සුළු කාලයක් ඇතුළත එය සිදු කිරීම ද ඉතා වැදගත්ය. එසේ නැති වූ විට රෝගියාගේ හෘද ස්පන්දනය නතර වීමට ද ඉඩ ඇත.