හිරට අඳින යට ඇඳුම් නිසා පිරිමින් වඳවිය හැකියි

හිරට අඳින යට ඇඳුම් නිසා පිරිමින් වඳවිය හැකියි

ඇස්, කන්, නාස් හා අත් පා ආදී ඉන්ද්‍රියයන් ආරක්ෂා කර ගැනීම මෙන්ම ඒවා පවිත්‍රව තබා ගැනීමට උත්සාහ ගන්නා තරමටම ශරීරයේ වැදගත් ඉන්ද්‍රියයන් ලෙස සැලකෙන ලිංගික අවයවයන්හි ආරක්ෂාව හා පිරිසිදුකම ගැනත් අපගේ අවධානය යොමුවිය යුතුය.

ඔබට සුදුසු යට ඇඳුම් වන්නේ කපු වලින් තැනූ මෘදු සහ වාතය ගමන් කිරීමට සමත් සිදුරු සහිත රෙදිවලින් මැසූ ඇඳුම්ය. ඒවායින් දහඩිය උරා ගැනීම සිදු කරමින් සහ අවශ්‍ය වාතාශ්‍රය සපයා දෙයි. නමුත් නයිලෝන් නිෂ්පාදන, ස්‍රාවය වන දහඩිය ඇතුළු චර්ම ස්‍රාවයන් රඳවා ගනියි. ඒ නිසාම ඇඳුමෙන් මෙන්ම ඒ ප්‍රදේශයෙන්ද දුඟදක් හැමිය හැකිය.

යට ඇඳුම් තෙත්වීම සහ ඒවායේ රැඳෙන තෙත හේතුකොට දිලීර ආසාදන ඇතිවීමට පුළුවන. මේ නිසා හැමවිටම පිරිසිදු (හොඳින් සෝදා වියළා ගත්) යට ඇඳුම් ඇඳීමටත් ඒවා පැය 8 කට වඩා එක දිගට ඇඳ නොසිටීමටත් වගබලාගත යුතුය. මෙය විශේෂයෙන්ම වැදගත්වන්නේ ඉකිළි ප්‍රදේශවල වැඩියෙන් දහඩිය දැමීම නිසාත් අපිරිසිදු හා රළු යට ඇඳුම් ඇඳීම නිසාත් රිංවර්ම් ලෙස හැඳින්වෙන දිලීර ආසාදනය ඇතිවීමට සහ සීරීම්, සැරව ගෙඩි සහ තුවාල ඇතිවීමට ඉඩකඩ තිබෙන බැවිණි.

පිරිමි යට ඇඳුම් තෝරා ගැනීමේදී ඉඟ ප්‍රදේශයේ වට මිම්මට ගැලපෙන, දෙපා කලවා වලට තද නොවන, තට්ටම් පෙදෙසින් ඇඟට හිර නොවන තරමක් ඉහිල් යට ඇඳුම් තෝරා ගැනීම අවශ්‍යය. එයට හේතුව නම් තද යට ඇඳුම් ඇඟට අපහසුවක් ගෙන ඒම පමණක්ම නොවේ. වෘෂණමල්ල යටිබඩ පෙදෙසට තද කරන, හිර යට ඇඳුම් නිසා කෙනෙකු “වඳ” (දරුවන් ලැබීමේ හැකියාව අහිමි වී ගිය) පිරිමියෙකු එසේ නැතිනම් ශුක්‍ර මෝචනයකදී බැහැර වන ශුක්‍රාණු (පුරුෂ ජනක සෛල) ප්‍රමාණය අඩු පිරිමියකු විය හැකි බැවිණි. (පිරිමි වෘෂණ කෝෂ උදර කුහරයෙන් පිටත පිහිටි මල්ලක, ස්වභාවය විසින් රඳවා ඇත්තේ ඒවායේ ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.8 ක අඩු උෂ්ණත්වයකදී වීමය. තද යට ඇඳුම් ඇඳීමෙන් ඔබ වෘෂණකෝෂ ශරීර උෂ්ණත්වයට ලක්කර, උණුසුම් කිරීමෙන් ශුක්‍රාණු අක්‍රිය කරවීමට ක්‍රියා කරයි.)

උදර වේදනා (බඩේ කැක්කුම සහ තෙරපීම්) පපුව කැක්කුම, බඩ පපුව දැවිල්ල, හර්නියා සහ අර්ශස් වැනි රෝග තත්ත්වයන් සඳහා දායකවීමටද මෙසේ තද යට ඇඳුම් ඇඳීම සමත්වෙයි.

කාන්තා යට ඇඳුම් ගැන සලකා බැලුවද ලිංගික ඉන්ද්‍රියයන්ගේ බාහිර කොටස්වලට ද ආරක්ෂාව සැලසේ. එහෙත් යෝනි මාර්ගයෙන් ස්‍රාවය වන දියර වර්ග බාහිර ඇඳුම තෙත් කිරීමට ඉඩ නොදී රඳවා ගැනීම, ගන්ධය පිටවීම වැළැක්වීම සහ මුත්‍ර මාර්ගීය ආසාදන වලින් ආරක්ෂාව සැලසීම යනාදිය අත්‍යවශ්‍යය. පැය 8 කට වැඩිකාලයක් එකම යට ඇඳුම ඇඳ සිටීම සෞඛ්‍යට අහිතකරය.

කාන්තාවන්ද කපු වාතාශ්‍රය සපයන හිල් සහිත යට ඇඳුම් තෝරාගත යුතුය. එහෙත් කෘත්‍රිම රෙද්දෙන් නිමකළ හෝ කපු රෙදිවලින් නිමකොට ඇති යට ඇඳුම්වලට යොදා ඇති කෘත්‍රිම රෙදි මෝස්තර, තදවන පටි, ඉඟටියට හිරවන මැස්ම ආදිය නිසා අසාත්මිකතා ඇතිවිය හැකිය.

විශේෂයෙන්ම ඉකිලි සහ ලිංගික ප්‍රදේශයෙන් ස්‍රාවය වන දියර මත බැක්ටීරියා බෝවීම නිසා දුඟදක් ඇතිවිය හැකිය. යෝනි මාර්ගයෙන් නික්මෙන ස්‍රාව “මිදුනු කිරි” වැනි අපවිත්‍ර දේ යට ඇඳුමෙහි තැන්පත් කර ඇත්නම් එය දිලීර ආසාදනයක් හඟවයි.

පිරිමින් මෙන්ම කාන්තාවන්ද සිය යට ඇඳුම් තෝරා ගැනීමේදී ඉඟවට ප්‍රමාණයට ගැලපෙන, කලවා සහ තට්ටම් පෙදෙස්වලට ඉතා තද නොවන යට ඇඳුම් තෝරාගත යුතුය. දවසක් ඇන්ද යට ඇඳුමක් දෙවන දවසේ ඇඳීම කාන්තා - පිරිමි දෙපාර්ශවයම නොකළ යුතුය. සැර නැති රෙදි සෝදන කුඩු හෝ සබන් හෝ දමා පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා ඉතා හොඳින් වියැලෙන තුරු හිරු එළියෙන් වියළා ගත යුතු බව මතක තබා ගන්න.