දූෂිත පිත සමනයට සිදුකෙරෙන විරේක ක්‍රම

දූෂිත පිත සමනයට සිදුකෙරෙන විරේක ක්‍රම

රෝගාබාධ සුව කිරීමට ඖෂධ ප්‍රතිකාර වගේම වෙනත් විවිධ ක්‍රමයන් ද ප්‍රතිකාර වශයෙන් සිදු කරනු ලබයි. එවැනි ක්‍රමවේදයක් වන විරේක කිරීම හෙවත් විරේචනය කිරීම ආයුර්වේදයේ බොහෝ ප්‍රචලිත ප්‍රතිකාර ක්‍රමයක් වේ. සමහර රෝගාබාධ විරේකය මඟින් ම සුව අතට පත් වේ.

කල් නොයවාම මෙම ප්‍රතිකාරය සොයා යන පිරිස් අද බොහෝ වැඩි වී ඇත. ඒ එහි වැදගත්කම හා ප්‍රයෝජනය දන්නා නිසාය. මෙවැනි කරුණු හේතු කොටගෙන, විරේකය පිළිබඳව විමසා බැලීම ඉතා වටිනා බැවින් ඒ පිළිබඳව අපට කරුණු කියා දුන්නේ නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍යචාරිනී රුචිනි පි‍්‍රතිකා මෙන්ඩිස් විසිනි.

විරේකය යනු කුමක්ද?

සාමාන්‍යයෙන් අධෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීම විරේකය හෙවත් විරේචනය වේ. එසේ දෝෂ බැහැර කිරීම මුඛ මාර්ගයෙන් හෝ ගුද මාර්ගයෙන් ද සිදු කළ හැකියි. නමුත් බොහෝවිට විරේකය යන්නට දැනට භාවිතා වන්නේ අධෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීමයි.

විරේකය සිදු කරන්නේ ඇයි?

ආයුර්වේදයේ කෝස්ට ශුද්ධිය හෙවත් බඩ සුද්ධ කිරීමට විරේකය සිදු කරයි. බඩ පුරවාදෙන (ආත්මානය) අවස්ථාවලට මෙම විරේකය භාවිතා කරයි. මෙහිදී පිත් රෝග සඳහා විශේෂ වේ. යම්කිසි රෝගාබාධයකට ප්‍රතිකාර කිරීමේදී ශෝධන ක්‍රියාවලිය සඳහා මෙම විරේකය යොදා ගනී. රක්තය (ලේ) පිළිබඳ පීඩාවලදී උදරයේ දූෂිත පිත සමනය සඳහාත් දූෂිත රක්තය සමනය හා ශෝධනය සඳහාත් විරේකය සිදු වේ.

විරේකය නිතරම සුදුසුද?

දූෂිත පිත සමනය කිරීම, විරේකය මඟින් සිදු කළත් ආයුර්වේදයේ සඳහන් කරන්නේ විරේචනය නිතරම සිදු කිරීම සුදුසු නොවන බවයි. ඒ සඳහා සුදුසු වන්නේ සරත් හා වසන්ත ඍතුවයි. එනම් නොවැම්බර්, දෙසැම්බර් හා මාර්තු හා අපේ‍්‍රල් මාසයි. නමුත් ඒ සඳහා සුදුසු වුවත් වර්ෂා කාලයේදී පවා රෝග අවස්ථා අනුව මෙම විරේචන කර්ම සිදු කෙරේ.

විරේචනයට පෙර

ආයුර්වේදයේදී විරේචනය කිරීමට පෙර පූර්ව කර්ම 2ක් සිදු කරනු ලබයි. ඒවා නම් 1. ස්නේහන විධි (තෛල අභ්‍යංග හෙවත් ආලේපනය)

2. සේදන විධියි. මේ කර්ම දෙක සිදු කළායින් පසුව විරේචනය කරනු ලබයි.

විරේකයට සුදුසු පුද්ගලයන් කවුද?

ගර විෂ (කාලයක් තිස්සේ පවතින විෂ) මල බද්ධය ඇති අය වාත රක්ත, භගන්දර, අර්ශස්, ගුද රෝග, කුෂ්ට රෝග, තුවාල (වුණ) බිබිලි ඝනව සිටින අයයි.

විරේකය සඳහා අයෝග්‍ය පුද්ගලයන් කවුද?

ගර්භනී අයට විරේකය සුදුසු නැත. කිරි දෙන මව්වරු (සූතිකාවන්) හා බියෙන් පීඩාවෙන් පෙළෙන්නන් විරේකය කිරීම නුසුදුසුයි. මහළු අය හා නිතරම දුකින් ඉන්න අය, අතීසාරය නම් රෝගය ඇති අය අභිගාත (වැටී තුවාල වූ අය) කුඩා දරුවන් හා දුර්වල රෝගීන්ට යෝග්‍ය වේ.

විරේකයේදී ආහාර වැදගත් වේද?

සාමාන්‍යයෙන් මෘදු විරේක සඳහා ප්‍රතිකාරවලදී ඖෂධ හා ආහාර වැදගත් තැනක් ගනී. ඒ අනුව පැපොල්, බෙලි, අමු නෙල්ලි, විවිධ පලා වර්ග, ඇහැල දළු, සෙනෙහෙ කොළ, එරබදු දළු, බටකිරිල්ල දළු, කුප්පමේනිය, ඇත්තෝර, කරපිංචා මේවා ආහාර වගේම විරේකයට හොඳ ඖෂධ වේ.

මෘදු විරේකයට කදිමයි

නිවුණු උණු වතුර පානය මෘදු විරේකයක් ලෙස ගත හැකියි. ඖෂධ ලෙස අරළු ගෙඩි කිහිපයක් තලා තම්බා ගැනීමෙන් එය පානය කර මෘදු විරේකය කළ හැකියි.

අනිසි විපාක

විරේකය අනිසි ලෙස සිදු කිරීමෙන් උපද්‍රව ඇති වේ. ඒවා නම් මස් සේදූ ජලය මෙන් රක්තය පිටවිම, කලු පාටට ලේ පිටවීම හා ඇඟ පත වේදනාව ඇති වීමයි.