රුධිර පීඩනය වැඩිවීමෙන් මරණීය අවදානම කරා ඔබ ගෙනයනවා

රුධිර පීඩනය වැඩිවීමෙන් මරණීය අවදානම කරා ඔබ ගෙනයනවා

මෙවර වැඩසටහනට සහභාගී වූයේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ත රණවක මහතායි.

අපගේ ශරීරය අවයව හා අවයව පද්ධතීන්ගෙන් නිර්මාණය වී පවතිනවා. මේ සියලුම අවයව මෙන්ම අවයව පද්ධතීන්ගේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා පෝෂණය සහ ඔක්සිජන් අවශ්‍යයි. මේවා එම අවයව වලට ලැබෙන්නේ රුධිරය හරහායි. ඒ සඳහා නිසි රුධිර සැපයුමක් ද අවශ්‍ය වේ. මෙම රුධිරය ශරීරය පුරා සංසරණය වන්නේ රුධිරවාහිනී හරහායි. ඒ වාගේම මෙම රුධිර සංසරණ පද්ධතියේ පොම්පාගාරය වශයෙන් ක්‍රියා කරන්නේ හෘදයයි. කෙසේ වෙතත් අපගේ ශරීරය තුළත් මෙම රුධිර වාහිනි පද්ධතිය හරහා රුධිරය නිසිලෙස සංසරණය වීම සඳහා නිසි රුධිර පීඩනයක් තිබීම ඉතා වැදගත්. එම පීඩනය ලබාදීම නිසි පරිදි සිදු කරන්නේ හෘදය මඟිනි.

රුධිර පීඩනය පිළිබඳ කථා බහ කරන විට අගයන් දෙකක් පිළිබඳ කථාබහට ලක්වන්නේ ඇයි?

මිනිසාගේ හදවත යම් රිද්මයකට අනුව සංකෝචනය සහ ඉහිල් වීම සිදුවේ. හදවත සංකෝචනය වන විට ධමනි පද්ධතියෙන් රුධිරය පිටතට පොම්ප කෙරෙයි. හදවත ඉහිල් වන විට ඊට රුධිරය ලබා ගනු ලැබේ. හදවතින් රුධිරය පිට කරන විට එහි පීඩනය ඉහළ අගයක් දක්වා වැඩි වෙනවා. නමුත් හදවතට රුධිරය ලබා ගන්නා විට එහි පීඩනය අඩු අගයකට පත් වේ. මෙම හේතු නිසා රුධිර පීඩනය පිළිබඳ කථාබහ කරන විට අගයන් දෙකක් පිළිබඳ කථාබහට ලක් වේ. එම අගයන් නිසි මට්ටමේ පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ.

රුධිර පීඩනය වැඩි වීම යනු කුමක්ද?

රුධිර පීඩනය යනු අත්‍යවශ්‍ය දෙයක්. නමුත් එය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වීම යම් යම් සංකූලතාවලට හේතු වේ. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය 120 -80 ත් අතර අගයක පැවතිය යුතු වූ උඩ අගය 140ට වැඩි නම් යට අගය 90ට වඩා වැඩි නම් ඒ තැනැත්තාට අධික රුධිර පීඩනය ඇති බව සොයා ගනු ලැබේ. මෙම අධික රුධිර පීඩනය මඟින් ශරීරයේ යම් යම් පද්ධතිවලට හානි ඇති කරවිය හැකියි. ඒ වගේම මෙම අගය ඉතා වැඩි වීම මරණීය අවදානම් කරා ද පුද්ගලයා ඇද දැමිය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දෙන පරිදි ලෝකයේ සිදුවන මරණ අතුරින් 12%ක්ම අධි රුධිර පීඩනයට හේතු වී තිබේ. ඊට අමතරව අධි රුධිර පීඩනය එක් වරක් පමණක් මැන බලා හඳුනාගත නොහැකි බවත් අවස්ථා කිහිපයකදී එය පරීක්ෂා කර හඳුනා ගැනීමත් ඉතා වැදගත්. ඒ වගේම අප යම් කාර්යක නිරත වන විට රුධිර පීඩනය ස්වභාවිකව ඉහළ යා හැකි බැවින් රුධිර පීඩනය මැන බලන අවස්ථාවේ ඔබ ඉතා විවේකීව සිටිම ඉතා වැදගත් බවත් මතක තබාගන්න.

අධි රුධිර පීඩනයට බලපාන හේතු?

මීට බලපාන හේතු ගණනාවක් ඇත. නමුත් එම රෝගීන්ගෙන් 95%කටත් වඩා වැඩි පිරිසකට රුධිර සංසරණ පද්ධතියේ ඉහළ ප්‍රතිරෝධිතාවය ද ඊට බලපාන ප්‍රාථමික හේතුවක් වශයෙන් සැලකිය හැකියි. මෙය ජානමය හේතුවක් වශයෙන් සැලකිය හැකියි. ඒ වගේම 5%කට පමණ වෙනත් රෝගී තත්ත්ව මෙන්ම වකුගඩුවල නහර හීනි වීම නිසාද අධි රුධිර පීඩනය ඇතිවිය හැකියි. මීට අමතරව හෝර්මෝන ග්‍රන්ථිවල අඩු හෝ අධි ක්‍රියාකාරීත්වය නිසා අධි රුධිර පීඩනය ඇති විය හැකියි. අවිවේකීභාවය, ආතතිය, ජීවන රටාව ආදිය ද අධි රුධිර පීඩනයට හේතු වේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට පෙර අධි රුධිර පීඩනය තිබේ නම් වෙනත් රෝග තත්ත්වයක් නිසා අධි රුධිර පීඩනය ඇති වුණා දැයි විමසා බැලෙයි.

මේ සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ කථාබහ කළොත්?

අධික රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් කරුණු දෙකක් පවතියි. ඒ අතුරින් පළමුවැන්න තමාගේ ජීවන රටාවේ ඇති කරගත යුතු වෙනසයි. මෙය ඖෂධවලටත් වඩා වැදගත් වේ. ලුණු අධික ආහාර, පලතුරු, එළවළු බහුලව ගත යුතුයි.

මෙම එළවළු පලතුරුවල බහුලව පොටෑසියම් අන්තර්ගත වීම හේතුව වුවත් බෙහෙත් පෙති වශයෙන් පොටෑසියම් ලබාගත යුතු බව ඉන් අදහස් නොවේ. ඒ වාගේම නිතිපතා ව්‍යායාමය ද දුම්පානය හා මධ්‍යසාර භාවිතයෙන් ඉවත් වීම ඉතා වැදගත්. තරබාරු නම් බර නිසි අගයකට රැගෙන ඒම හා ආතතියෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.

එමෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වගේම, බෙහෙත් ඔබ කළමනාකරණය නොකළ යුතුයි. මෙය ගණන් නොගෙන සිටිය හොත් වකුගඩු, ආබාධ, හෘද බිත්ති ඝනකම් වීම, ආදී වෙනත් ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකියි.

රුධිර පීඩනය අඩුවීම පිළිබඳ කථාබහ කළොත්?

රුධිර පීඩනය අඩු වීම රෝගී තත්ත්වයක් නොවේ. නමුත් යම් යම් හේතු මත තාවකාලිකව රුධිර පීඩනය අඩුවිය හැකියි. මෙය වෙනත් රෝගී තත්ත්වයක අතුරුඵලයක් ලෙස සැලකිය හැකි වුවත් එහි එතරම් බලපෑමක් නොවේ. අධික රුධිර පීඩනයේ රෝග ලක්ෂණ පෙරදී දැක ගැනීම ඉාතම අපහසු වේ.