ශ්‍රවණ ආශ්‍රිත ගැටලුවකදී ශරීරයේ සමබරතාවය ගිලිහී යා හැකියි

ශ්‍රවණ ආශ්‍රිත ගැටලුවකදී ශරීරයේ සමබරතාවය ගිලිහී යා හැකියි

ජීවිතය තුළ අපට අත් විඳින්නට ලැබෙන සෑම දෙයක්ම සමබරව දරා ගන්නට පුරුදු වීම කෙතරම් හොඳ ගුණාංගයක්ද? අවම වශයෙන් අපගේ ශරීරය පවා අපට ඝෘජුව පවත්වාගෙන යාමේ හැකියාව පවා ලැබී තිබෙන්නේ එහි සමබරතාවට පිං සිදු වන්නටය. එසේ වුවත් අපි එක් අන්තයකට තල්ලු වී යාම අප ගත කරන ජීවිත කාලය පුරාවටම මුහුණ දීමට සිදුවන පොදු න්‍යායක්. නමුත් කෙසේ හෝ දැඩි උත්සාහය මත අප විසින් එය සමබර කර ගැනීමට වෙර දරන්නෙමු. එසේ වුවත් ශරීරයේ සමබරතාවය ගිලිහුණොත් එය අප කෙසේ නම් සමබර කරගන්නද? ඊට අනිවාර්යෙන්ම අපට ප්‍රතිකාර ගැනීමට සිදු වේවි. නමුත් එහි සමබරතාව බිඳ දමන නිසි හේතුව හඳුනාගත හැකි නම්.... එය කෙතරම් වටිනවාද? මේ ඒ පිළිබඳ ආරෝග්‍යා කළ විමසීමක්.

සාමාන්‍යයෙන් ඔබ බසයක, දුම්රියක ගමන් කරන විට හිස කරකැවිල්ල වැනි ස්වභාවයක් ඇති වී තිබෙනවාද? එය ඇතැම්විට හදිසි රෝගී තත්ත්වයක් හෝ ශරීරයේ සමබරතාව සම්බන්ධ ගැටලුවක් ලෙසින් සැලකිය හැකියි. ඔබ දන්නවාද මෙසේ ඔබගේ සමබරතාව ගිලිහීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස ශ්‍රවණ චිකිත්සකවරු පෙන්වා දෙන්නේ කන තුළ ඇතිවන යම් හේතුවක් නිසා සිරුරේ සමබරතාව ගිලිහී යන බවයි. ඒ හේතුව වන්නේ කන තුළ පිහිටා ඇති තරලයේ සමබරතාව ගිලිහී යාමයි. ඇත්තෙන්ම මීට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ කන තුළ පිහිටි එම තරලයේ සමබරතාව ගිලිහී යාම වුවත් ඊට මොළයේද සබඳතාවක් තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

නමුත් මෙම ගැටලුකාරී තත්ත්වය මේ වනවිට භෞතචිකිත්සක ක්‍රමවේද භාවිතා කොට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාවක් තිබේ. කෙසේ වෙතත් රෝගයට පිළියම් යෙදීමට පෙර එය නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් දෙයක් වන අතර ඉහත පැහැදිලි කළ තත්ත්වය සම්බන්ධයෙන් ද ඒ නියමය ඒ අයුරින්ම අදාළ කරගත හැකිය. මේ වනවිටත් ලොව පුරා ඇති රටවල් නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් දිනෙන් දින ඉදිරියෙන් ඉදිරියටම යනවා හා සමානවම ශ්‍රී ලංකාව තුළ ද එම ක්‍රමවලට බහුලව අනුගත වීමත් දැකගත හැකියි.

ඒ අනුව කන තුළ හටගන්නා මෙම ගැටලුකාරී තත්ත්වය පෙරදී ලංකාව තුළ හඳුනා ගැනීමට ක්‍රමවේද නොමැති වුණත් මේ වනවිට එම පරික්ෂණ ක්‍රමවේද භාවිතා වන බව ඇසීමට ලැබීමත් සතුටට කරුණක්. මෙම පරීක්ෂණ ක්‍රමය ලංකාව තුළ ස්ථාපිත කිරීමට ප්‍රථම රෝගී තත්ත්වය සාමාන්‍ය වශයෙන් හෝ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නොතිබුණු අතර මෙම ක්‍රමය ස්ථාපිත කිරීම හරහා එම ගැටලු බොහෝදුරට පහව ගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම ශාරීරික සමබරතාව ගිලිහී යාම එසේත් නැතිනම් කරකැවිල්ල හඳුනා ගැනීමට හා ඊට අදාළ පරීක්ෂා කිරීම් සිදු කිරීම මෙම නවීනතම උපකරණ හරහා සිදු කිරීමට හැකියාවක් තිබේ. පෙර පැහැදිලි කළ ආකාරයට අපගේ සිරුර නිසි සමබරතාවයකින් පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් උපකාරි වන්නේ අපගේ කන නැමැති ඉන්ද්‍රියයයි. නමුත් යම් ලෙසකින් ඇසීමේ අඩුවක් හෝ වෙනත් ශ්‍රවණය ආශි‍්‍රත ගැටලුවක් ඇති වූවොත් එය ඝෘජුවම ශාරීරික සමබරතාවට ගැටලු ඇති කරවිය හැකියි. නමුත් මේ වනවිට හඳුන්වා දී ඇති නවීන තාක්ෂණික පර්යේෂණ ක්‍රමයක් හරහා මේ සෑම තත්ත්වයක්ම හොඳින් පරික්ෂා කරගත හැකියි.