අවු.23යි. හිසකෙස් ගැලවී යාමට පටන් අරන්

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

චර්ම රෝග ගැටලු

අවු.23යි. හිසකෙස් ගැලවී යාමට පටන් අරන්

ගම්පහ - චාමර

ගැටලුව

වෛද්‍යතුමියනි, මා වයස අවු. 23ක් වයසැති උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙක්මි. මා හට ඇති ගැටලුව වන්නේ මීට වසරකට පමණ පෙර සිට හිස කෙස් ක්‍රමයෙන් ගැල වී යාමට පටන් ගැනීමයි. අද වන විට හිසකෙස් බොහෝ සේ ගැල වී ගොස් ඇත.

මේ තත්ත්වය මාගේ මානසිකත්වය බිඳ වැටීමට ප්‍රබල ලෙස බලපා තිබෙනවා. අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට පවා බාධාවක් වී තිබෙන්නේ හිස කෙස් ගැල වී යාමේ තත්ත්වයයි. මෙය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රමවේදය කුමක් ද යන්න පහදා දෙන්න.

පිළිතුර

ඔබ යොමුකර තිබෙන ගැටලුව අනුව පළමුවෙන් සඳහන් කළ යුත්තේ, චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතු බවයි. ඔබගෙන් තවදුරටත් විස්තර දැන ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

ඔබ දැනට hair gel , hair dye භාවිතා කරනවා නම්, එය භාවිතයෙන් ඉවත් කළ යුතුයි. එසේම තද අව්වේ ගමන් බිමන් යාමෙන් වැළකිය යුතුයි.

කෙසේ වෙතත් ඔබ පවසන ආකාරයට හිස කෙස් ගැල වී යන්නේ කුමන හේතුවක් නිසා ද යන්න සොයා බලා ප්‍රතිකාර කළ යුතුයි.

එනිසා වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කර ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.

මහනුවර ශික්ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

චාන්දනී උඩගෙදර

ප්‍රසව හා නාරි ගැටලු

සිසේරියන් සැත්කම කළ ස්ථානයේ ලොකු ගෙඩියක්

පිළියන්දල - මධු

ගැටලුව

වෛද්‍යතුමනි මා විවාහ වී දැනට වසර 2 1/2ක් පමණ වෙනවා. සිසේරියන් සැත්කමකින් එක් දරුවකු බිහි කළා.

නමුත් මා හට ඇති ගැටලුව වන්නේ අවුරුද්දක පමණ කාලයක සිට සිසේරියන් සැත්කම සිදුකළ ස්ථානයට ආසන්නයෙන් තරමක් ලොකු ගෙඩි මතුවීමයි. එය මතු වෙමින් නැවත මැකී යමින් පවතී. එම තත්ත්වය නිසා මා ඉමහත් අපහසුතාවයකට ලක් වී ඇත.

වෛද්‍යතුමනි, මේ තත්ත්වය කුමක් ද? පිළිකාමය තත්ත්වයක් ඇති වේද? මේ තත්ත්වය සුව කළ හැකි ද? ගත හැකි පියවර කුමක් ද?

පිළිතුර

ඔබ හට සීසර් සැත්කම කළ ස්ථානයට ආසන්නයේ මෙවැනි ගැටලුවක් මතු වෙනවා නම් එය සැත්කමේ දී දැමූ මැහුමක් (නයිලෝන් ට්‍රෙඩ්) නිසා එය මතු වී පැසවීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි අවස්ථාවක සැත්කමක් ආධාරයෙන් එය ඉවත් කළ යුතුයි.

කෙසේ වෙතත් ඔබව පරීක්ෂා නොකර ස්ථිර වශයෙන් කුමන තත්ත්වයක් ද යන්න පැවැසිය නොහැකියි.

එනිසා සුදුසුම දේ වන්නේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගැනීමයි.

තංගල්ල මූලික රෝහලේ

ප්‍රසව හා නාරිවේද පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මනෝජ් එල්. පෙරේරා

චර්ම රෝග ගැටලු

ආලේපන භාවිතයේදී ඇස් සහ මුහුණ කැසීමකට ලක් වුණා

ජයසේකර - අතුරුගිරිය

ගැටලුව

වෛද්‍යතුමියනි, මා වයස අවු. 45ක කාන්තාවක්මි. මාගේ සම වියළි ස්වභාවයක් ගනී. එය පාලනය සඳහා ඇති Dry Cream  එකක් භාවිතා කළෙමි. එය ටික දිනක් භාවිතා කිරීමේ දී ඇස්, මුහුණ කැසීමකට ලක් විය.

අනතුරුව ආලේපනය නවතා දැමූ විට තත්ත්වය මඟ හැරිණි.

ටික කලක් ගත වූ පසු නැවත එම ආලේපනය භාවිතයට ගත් අතර පෙර පරිදිම කැසීමකට ලක් විය. එවිට ද ආලේපනය නතර කළ මුත් ඇස්වල කැසීම සුව වූයේ නැත. මේ තත්ත්වය ඇති වූයේ භාවිතා කළ ආලේපනය නිසා ද? කළ යුත්තේ කුමක් ද?

පිළිතුර

ඔබ භාවිතා කළ ආලේපන නිසා පවසා තිබෙන ආකාරයේ අසාත්මිකතා මතු වෙන්න පුළුවන්. බොහෝ විට ආලේපන නිසා මෙය සිදු වූ බවට අනුමාන කළ හැක්කේ එය භාවිතයෙන් ඉවත් කළ පසු ඇති වූ තත්ත්වය මඟහැරී යාම නිසයි. නමුත් දෙවැනිවර ආලේපනයේ දී එය පෙර පරිදිම ලක්ෂණ පහළ කළ නමුත් ආලේපනය නවතා දැමූ විට එම ලක්ෂණ ඉවත් නොවීම පළමුවර ආලේපනය මතක සෛල මඟින් රඳවා තබා ගැනීම නිසා සිදුවූවක් විය හැකියි. කෙසේ වෙතත් තෙවන වතාවටත් මෙකී ආලේපනය භාවිතා කළ හොත් තත්ත්වය දරුණු විය හැකියි. එනිසා මේ සඳහා සුදුසුම දේ වන්නේ චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමු වූ උපදෙස් ලබා ගැනීමයි.

චර්ම රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ජනුකා ගලහිටියාව

ප්‍රජා සෞඛ්‍ය ගැටලු

ලිංගික ජීවිතයට එතරම් පි‍්‍රයත්වයක් නෑ

මොල්කාව - චතුරිකා

ගැටලුව

වෛද්‍යතුමනි, මා එක්දරු මවකි. රාජ්‍ය ආයතනයක සේවය කරමි.

මාගේ ස්වාමි පුරුෂයා ද රාජ්‍ය ආයතනයක සේවකයෙකි. මාගේ ලිංගික ජීවිතය එතරම් ප්‍රියතාවක් සහිත වූවක් නොවේ.

එයට හේතුව වී තිබෙන්නේ සැමියා මා පිළිබඳ එතරම් තැකීමක් නොදැක්වීමයි.

ඔහු ඔහුගේ ලෝකයේ ජීවත් වෙයි. එය අපගේ පවුලේ සමගියට ද බාධාවකි. නිතර ගැටුම්කාරී තත්ත්ව ඇති වේ. මා මාගේ කටයුතු සියල්ල තනිව කර ගන්නා අතර ඒ කිසිවකට සැමියාගේ සහයෝගයක් නොමැත.

මෙසේ වන්නේ ඇයි. සැමියාගේ සිතුම් පැතුම් නිසා මාගේ ජීවිතය නීරස වී තිබේ. මා කළ යුත්තේ කුමක් ද?

පිළිතුර

සාමාන්‍යයෙන් යුවළක් විවාහ වූ මුල් කාලයේ ආකර්ශනීය වුවත් ඉන් පසු ක්‍රමයෙන් එය මඟහැරී යන්න පුළුවන්. ආදරයත් සමඟ ලිංගික ආකර්ශනය ද ඒ ආකාරයටම කාලයක් ගත වීමේ දී අඩු වෙන්න පුළුවන්. ඇතැම් විට දරුවන් බිහි වූ පසු කාන්තාව දරුවාට දැඩි ආදරයක් දැක්වීමත් ස්වාමියාට ආදරය නොලැබීමත් යන කාරණා ගැටලුවලට මුල පිරීමක්. මෙය ලිංගික ගැටලුවකටත් වඩා දෙදෙනා අතර ඇති විවෘතභාවයේ මදකමක් නිසා සිදුවූවක් විය හැකියි. එසේම පවුලේ කටයුතුවලට මූලිකත්වය නොදීම හා රැකියා ස්ථානයට ප්‍රමුඛස්ථානය ලබා දීම මෙවැනි ගැටලුවලට ප්‍රධාන හේතුවක්. එනිසා මෙය පවුල් ජීවිතයට ගැටලුකාරී තත්ත්ව ගෙන දෙන නිසා පවුලේ වෛද්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම වැදගත්. එසේත් නොමැති නම් මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ. ගමගේ