ඔබේ දරුවා අන්තර්ජාලයට ඇබ්බැහිවෙලාද?

ඔබේ දරුවා අන්තර්ජාලයට ඇබ්බැහිවෙලාද?

මෙන්න මුදාගන්නා ක්‍රමය

මා කුඩා අවධිය ලෝකයේ බොහෝ තාක්ෂණික විප්ලවයන් සිදුවෙමින් තිබූ අවධියයි. පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්තයින් වූ ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වැනි මිනිසුන් ලෝකය වෙනස් කරන්නට විස්මිත අත් හදාබැලීම්වල නිරත වෙමින් සිටි සමයයි.

මා, කුඩා දැරියක් ලෙස පුංචි දූපතක සිටියෙමි. මා වඩාත් කැමැති උත්තරධ්‍රැවය තිබුණේ මට බොහෝ ඈතින්ය. හැමවිටම මා උත්තරධ්‍රැවයට පිවිසුණේ රුසියානු සුරංගනා කතාන්දර ඔස්සේ පමණකි. නමුත් එකවරම ලෝකය වෙනස් විය. අදහාගත නොහැකි වුණි. විශාල ලෝකයක් එකවරම කුඩා විය. එක තත්ත්පරයකදී මුළු ලොවම එකම ජාලයක් වී තොරතුරු හුවමාරු කරගන්නට පටන් ගත්හ. ඒ, අන්තර්ජාල තාක්ෂණය බිහිවීමත් සමඟය. අද වනවිට අප හැමකෙනෙකුම මේ විස්මිත තාක්ෂණයට නතු වී සිටිමු. එනමුත් අන්තර්ජාල සේවාව අභියෝගයට ලක් කෙරෙන අදහස් ද වඩ වඩාත් සමාජයේ වර්ධනය වෙමින් පවතියි. ඇත්තටම අන්තර්ජාලය හොඳද - නරකද? මේ ඒ පිළිබඳ විමසා බැලීමකි.

අන්තර්ජාලය හේතුවෙන් දරුවන් දිනෙන් දිනම විනාශ මුඛයට ඇදී යන බවට සමාජයේ ප්‍රබල මතයක් තිබෙනවා නේද?

ඔව්. අන්තර්ජාලය නිසා ප්‍රශ්නවලට මැදි වූ දරුවන් බහුලව දැකගත හැකියි. එහිදී, අන්තර්ජාලය නිසා දරුවන් බහුලව මුහුණ දෙන ගැටලු මෙසේ හඳුනාගත හැකියි. ඒවා නම්

අන්තර්ජාලයට ඇබ්බැහි වීම, අන්තර්ජාල ක්‍රීඩාවන් ඇසුරෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වීම සහ අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වයට යොමු වීම වැනි දේ මෙහිදී දැකගත හැකි බහුල ගැටලුයි.

මේ නිසා දරුවන්ට සිදුවන හානි මොනවාද?

බොහෝවිට අන්තර්ජාලයේ ක්‍රිඩා නැරඹීමට (මල්ලව පොර වැනි) ඇබ්බැහි වූ දරුවන් පාසල් වැඩ කටයුතුවලින් ඈත් වෙනවා. ඊළඟට අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය අනුකරණය කිරීමට යොමු වීමේ ප්‍රවණතාවක් දැකගන්න පුළුවන්. එනම් මෙවැනි ප්‍රචණ්ඩත්වයන් දකින දරුවන් ඒවා අත්හදා බැලීමට පෙළෙඹීමයි. එනම් තම සහෝදර සහෝදරියන්, මිතුරන් අතර මෙම ක්‍රියාකාරකම් අනුකරණය කිරීමක් කළ හැකියි. මෙයින් යම් විටෙක දරුවන් අනතුරුවලට පවා මුහුණපෑ හැකියි. ඊට අමතරව දරුවන් අන්තර්ජාලයේ ලිංගිකත්වයට නිරාවරණය වීම තවත් ගැටලුවක්. දරුවන්ට පහසුවෙන් මෙවැනි දේ දැකගැනීමේ මාර්ග අන්තර්ජාලයට පිවිසි විට හමුවිය හැකියි.

භයානක තත්ත්වය ආරම්භ වන්නේ එතැනින්. මෙවැනි ළමා මනසට කිසිසේත් නොගැලපෙන, දරාගත නොහැකි දසුනක්, ක්‍රියාකාරකමක් දකින දරුවකු යළි යළිත් එය ආවර්ජනය කරනවා. ඒ ගැන පාසලේ මිතුරන් සමඟ කතා කරනවා. එපමණක් නොවෙයි, ඔවුන් ඒවා මිතුරන් සමඟ අත්හදා බැලීමට ද පෙළඹෙනවා. ඒ වගේම තමයි, මෙවැනි දෙයක් ඇස ගැටුණු දරුවකුව ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන්ම එවැනි ක්‍රියාකාරකමක් සඳහා පොළඹවා ගැනීමට ද හැකි විය හැකියි. ඒ ආකාරයට විවිධ අපචාරවලට ලක් වූ දරුවන් වර්තමානයේ හඳුනාගත හැකියි.

මෙහිදී මවුපියන් වශයෙන් කළ යුත්තේ කුමක්ද?

මෙවැනි අනතුරු පිළිබඳ දන්නා සමහර මවුපියන් අන්තර්ජාලය දරුවාගේ සම්පූර්ණයෙන් ඈත් කර තැබීමට උත්සාහ ගන්නවා. නමුත් මෙය ප්‍රායෝගික නැහැ. මොකද නූතන ලෝකයේ අන්තර්ජාලය නිසා අපේ ජීවිතයේ කටයුතු බොහෝ පහසු වෙලා තිබෙනවා. ඒ කියන්නේ එහි හොඳ පැති බොහෝ තිබෙනවා. විශේෂයෙන්ම එය නූතනයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුªවලට විශාල රුකුලක්. ඒ නිසා අන්තර්ජාලයෙන් ඈත් කර තැබීම නිසි පිළිතුර නොවෙයි.

එසේ නම් අන්තර්ජාලයේ අහිතකර පැත්තෙන් ළමයින්ව රැකගන්නේ කොහොමද?

අපි දරුවන්ව දැනුවත් කළ යුතුයි. එසේම අන්තර්ජාලය පරිහරණය කරන විට දරුවාව නිරීක්ෂණය කළ යුතුයි.

දැනුවත් කරන්නේ කොහොමද?

විශේෂයෙන්ම මෙවැනි ක්‍රීඩා නැරඹීමට කාලය යොමු කිරීමේදී දරුවන්ගේ පාඩම් කිරීමේ කාලය බොහෝදුරට අහිමි වී යයි. තවද මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවල දකින දේවල් සත්‍ය දේවල් නොවන අතර ඇත්තටම ඒවා පුහුණු වූ නළුවන් විසින් සිදු කරන ක්‍රියාවන් පමණකි. මේවා අනුකරණ කිරීම සිදු නොකල යුතුයි. ඒ ආකාරයට අන්තර්ජාලයේ තිබෙන හොඳ සහ නරක දේ ගැන දරුවාව දැනුවත් කළ හැකියි. විශේෂයෙන්ම ලිංගිකත්වය පිළිබඳ දරුවාට කියා දිය යුතුයි. නමුත් මේ දැනුවත් කිරීම් දරුවාගේ වයසට ගැලපෙන අයුරින් සිදු කිරීම ඉතාම වැදගත්.

උදාහරණයක් ලෙස කුඩාම දරුවකු ගනිමු. ඒ දරුවාට කියන්නේ කොහොමද? “පුතේ, ඔයා ඉන්ටනෙට් යනකොට ඇඳුම් ඇඳලා නැති අයගේ පින්තූර දැක්කොත් ඒවා බලන්න එපා. ඒවා බලන එක හොඳ නැහැ. ඒ වාගේ පින්තූරයක් දැක්කොත් ඔයා ඉක්මනට ඒකෙන් අයින් වෙන්න” ආදී වශයෙන් දරුවාට කියා දිය හැකියි.

දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත්ද?

නැහැ. දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. මොකද, ළමයින් කියන්නේ කුතුහලය සහිත පිරිසක්. තොරතුරු දැන ගැනීමේ කැමැත්ත ඇති, අත්හදා බැලීමට කැමැත්තක් සහිත පිරිසක්. ඒ නිසා දැනුවත් කළ පමණින් සියල්ල නිවැරදි වේ යැයි නොසිතිය යුතුයි.

එසේ නම් කොහොමද පාලනය කරන්නේ?

දරුවා අන්තර්ජාලයේ සිටින විට අධීක්ෂණය කළ යුතුයි. තවද වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ට ද ආත්මාභිමානයක් ඇති බව අප වටහා ගත යුතුයි. එය ආරක්ෂා වන පරිදි දරුවාව අධීක්ෂණය කිරීම මෙහිදී වැදගත්.

දරුවන්ගේ ආත්මාභිමානය රැකෙන අයුරින් අධීක්ෂණය කරන්නේ කොහොමද?

දෙමාපියන් නිවසේ සිටින විට පමණක් අන්තර්ජාලය භාවිතා කිරීමට ඉඩ ලබා දීම එක් පියවරක්.

පරිගණකය කාටත් පෙනෙන පොදු ස්ථානයක තැබීම තවත් පියවරක්.

සමහරවිට දරුවා තම නිදන කාමරයේ පරිගණකය තබාගෙන කටයුතු කළ හැකියි. එවැනි අවස්ථාවල දරුවා පිවිසෙන වෙබ් අඩවි (එඥඡ ඵඪබඥඵ) මොනවාදැයි සොයා බැලිය හැකියි. මේ සඳහා අද කාලයේ මවුපියන් ද පරිගණක සාක්ෂරතාව පිළිබඳ යම් දැනුමක් ලබා සිටීම වැදගත්.

නිවසින් පිටතට යන දරුවන්ව මේවායින් ආරක්ෂා කර ගන්නේ කොහොමද?

අන්තර්ජාල පහසුකම් සහිත සයිබර් කැෆේ අද ඉතාමත් සුලබයි. කුඩා දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ස්ථානවල ක්‍රියාත්මක විය යුතු නීති රීති නිසිලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න අප බොහෝවිට දන්නේ නැහැ.

ඒ නිසා විශේෂයෙන්ම පිරිමි දරුවන් පාසල් ගිය පසු ඔවුන් පිළිබඳව විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම මවුපියන් විසින් ඔවුන්ට දෙන මුදල් ඔවුන් වියදම් කරන්නේ මොනවාටදැයි සොයා බැලීම වැදගත්. ඒ වෙනුවෙන් මවුපියන්ට කණ්ඩායම් වශයෙන් එක් වී විටින් විට ඒ පිළිබඳ සොයා බැලීමක් කළ හැකියි.

ඇත්තටම මෙහිදී දරුවන් සමඟ සුහදව ගනුදෙනු කිරීම වගේම අවශ්‍ය අවස්ථාවලදී යම් පාලනයක් කිරීමත් කළ යුතුයි. වැදගත්ම දේ දරුවන්ට හොඳ දේ පමණක් උකහා ගැනීමට හුරු පුරුදු කිරීමයි.

එසේම යම් අවස්ථාවක ඔබටත් මේ අයුරින් ඇබ්බැහි වීමකට හෝ වෙනත් එවැනි ගැටලුවකට මුහුණ දුන් දරුවකු ඇත්නම් ඉහත උපක්‍රම භාවිතා කරන්න. එසේත් බැරිනම් ළඟම පිහිටි රජයේ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට යොමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.