සැප නින්දකට සුදුසුම කොට්ටය තෝරාගන්න

සැප නින්දකට සුදුසුම කොට්ටය තෝරාගන්න

හිසරදය /බෙල්ලේ වේදනාව/උරහිස් වේදනාව/අත් හිරිවැටීමට ඔබ නිදා ගන්නා කොට්ටය බලපාන බව ඔබ දන්නවාද? එපමණක් නොවෙයි අපවිත්‍ර කොට්ටය නිසා,කිවිසුම් යාම, හතිය වැනි ස්වසන ගැටලු ද මතුවිය හැකියි.

කල් ඉකුත් වුණු කොට්ටයක, සිරුරේ මියගිය සෛල/ දිලීර/දූවිලි මැක්කන් අපූරු නිජබිමක් කරගෙන සිටියි. කොට්ටයක් කල් ඉකුත් වන්නේ එහි ඝනත්වය හරි අඩකින් අඩු වූ විටයි. කොට්ටයේ පිම්බෙන ස්වභාවය අඩු වූවා කියන්නේ එහි ඝනත්වය අඩු වූවා කියන එකයි. සාමාන්‍යයෙන් කොට්ටයක ආයු කාලය මාස 12 -18ක් පමණ වේ. දෙවසරකට වරක් අප නිදා ගන්නා කොට්ටය මාරු කළ යුතුමයි.

* උඩු අතට නිදා ගන්නා අයෙකුට අවශ්‍ය තුනී කොට්ටයකි.

* පැත්තට නිදා ගන්නවා නම් හොඳින් පිරුණු ස්වභාවයක් ඇති කොට්ටයක් තෝරා ගත යුතුයි. කන්, උරහිස් අතර මනා ලෙස පුළුන් පිරී ඇති කොට්ටයක් තෝරා ගන්න.

* උඩුබැලි අතට නිදා ගන්නා කෙනෙකුට අවශ්‍ය තුනී, පැතැලි කොට්ටයකි. මුනින් අතට නිදා ගන්නා කෙනෙකුට කොට්ටයක් අවශ්‍ය නැත.

කුමන කොට්ටයක් තෝරා ගත්තත් හිසට කොට්ටයක් තබන්නේ හිස, කොන්ද කෙළින් තබා ගැනීමටයි. පුළුන්, පිහාටු, ෆෝම්, පොලියෙස්ටර් කෙඳි, මෙමරිෆෝම්, ලේටෙක්ස් කොට්ටවලින් කැමැති කොට්ටයක් මිළදී ගැනීමට දැන් පහසුකම් ඇත.

දැන් ඖෂධීය කොට්ට ද තිබේ. හිසරදයට, අධික ලෙස උණුසුම දැනෙනවාට, ගෙලෙහි වේදනාවට ආදී විශේෂ අවශ්‍යතා වෙනුවෙන්ම පිළියෙල කළ කොට්ට ද ඇත.

මෙමරිෆෝම් කොට්ට සිරුරට අනුව සැකසෙන නිසා ඉතා ජනපි‍්‍රයය. ලේටෙක්ස් කොට්ට, ගෙලට හොඳ ආධාරකයකි. ඩවුන්/ ෆෙදර් කොට්ට විවේකී නින්දකට මඟ පාදයි. එහෙත් ඇදුම රෝගීන්ට අසාත්මිකතා ඇති අයට, පුළුන්, පිහාටු කොට්ටවල නිදා ගැනීමේදී තත්ත්වය බරපතළ වෙයි. මොවුන්ට ඇති හොඳම විකල්පය, සින්තටික් ඩවුන් කොට්ටයි.

නින්දෙන් ගෙරවීම අඩු කරන කොට්ට, ගොරවන පුද්ගලයකු සමඟ නිදාගන්නා කෙනකුට සුබ ආරංචියකි. ඇන්ටි ස්නෝ පිලෝ ලෙසින් ඒවා හඳුන්වයි. පෝසිලේන් කොට්ට කොන්දට, උදරයට, පැත්තට සුව සහනයක් සලසා දෙයි. ගැබිනි මවුවරුන්ට විශේෂයෙන්ම නිර්මාණය කළ කොට්ට තිබේ. නිදාගැනීමේ ගැටලු ඇති මවුවරුන්ට එවැනි කොට්ට අපූරුය. සුව නින්දක් යහපත් සෞඛ්‍යයකට අත්‍යවශ්‍යය. කොට්ටය එවැනි නින්දක නියමුවෙකි.